Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 119

දීසි ඇන්ටනාවකින් සිදු වන්නේ ඊට සමාන්තරව රේඛීයව වැටෙන විකිරණ (තල තරංග – plane waves) නාභිගත කිරීමනෙ. මෙතෙක් අප සලකා බැලුවේ එම ගති ගුණයයි. එනම් මෙතෙක් අප සලකා බැලුවේ ආදායක ඇන්ටනාවක් ලෙස එය භාවිතා කරන අන්දමයි. මෙහි විලෝම ක්‍රියාවත් ඉතා වැදගත්ය. එනම් යම් ඇන්ටනාවකින් වටේටම විහිදෙන විකිරණය (ගෝලීය තරංග – spherical waves) යම් නිශ්චිත එක දිශාවකට පමණක් යොමු කිරීමටත් ඊට හැකියි. මෙවිට දීසි ඇන්ටනාව සම්ප්‍රේෂක ඇන්ටනාවක් ලෙස භාවිතා වේ.


සම්ප්‍රේෂක ඇන්ටනාවක් ලෙස දීසි ඇන්ටනාවේ වැදගත්කම කියා නිම කළ නොහැකිය. සාමාන්‍ය ඇන්ටනාවකින් නිකුත් වන විකිරණය ඈතට යන්නට යන්නට අවකාශය පුරා පැතිරෙනවානෙ. එනිසා ඉතා සීඝ්‍රයෙන් සංඥා ප්‍රබලතාව දුරත් සමඟ හීන වේ. වටේටම සංඥා පැතිරවීමට අවශ්‍ය විට සාමාන්‍ය ඇන්ටනාව ඉතාම යෝග්‍ය වේ. එහෙත් රේඩියෝ තරංග යැවිය යුත්තේ නිශ්චිත ස්ථානයකට පමණක් නම්, සාමාන්‍ය ඇන්ටනාව ඉතාම අකාර්යක්ෂම වේ. එය හරියට යමෙකුට පෞද්ගලික පනිවුඩයක් කනට කොඳුරා කිය යුතු වුවත් පත්තරේ දමා එය කියන්නා සේය.

එහෙත් පෙර පැවසූ ලෙස දීසි ඇන්ටනාවකින් විකිරණ පිට වන්නේ සිහින් කදම්භයක් සේය. එනිසා එම කදම්භය නිශ්චිත දිශාවට පමණක් එල්ල කළ විට අදාල ස්ථානයට පමණක් විකිරණය ගමන් කරනවා. ඉන් වාසි කිහිපයක් අත් වෙනවා. එකක් නම්, අනවශ්‍ය ස්ථානවලට විකිරණය ගමන් කරන්නේ නැත; එනිසා ජවය/ශක්තිය බොහෝසේ ඉතිරි වේ. තවද, සන්නිවේදනයේ ආරක්ෂාවද වැඩි වේ මොකද අවශ්‍ය ස්ථානයෙන් පිටතට පනිවුඩය රැගත් රේඩියෝ සංඥා ගමන් නොකරන නිසා. චන්ද්‍රිකා සමඟ සන්නිවේදනයේදී දීසි ඇන්ටනා යොදා ගැනීමට අවශ්‍ය තවත් හේතුවක් එය වේ.

දීසි ඇන්ටනාවක් තල තරංග ගෝලීය තරංග බවට හෝ එහි විලෝමයනෙ සිදු කරන්නේ. ඊට එම හැකියාව ලැබී තිබෙන්නේ පහත රූපයේ මැනවින් පෙන්වා දෙන කදිම ගතිලක්ෂණය නිසාය. එනිසා, L ලෙස පෙන්වා තිබෙන මට්ටමේදී තල තරංග පවතින හෝ සෑදෙන අතර, F ස්ථානයේදී ගෝලීය තරංග පැවතීම හෝ සෑදීම සිදු වේ. පැරබෝලා එකකදී නාභියේ සිට දීසියේ ඕනෑම තැනකට කිරණයක් වැදුණු විට (FP1 සලකමු), එම කිරණය රූපයේ පෙන්වා ඇති ලෙස දීසියේ කටින් නික්මෙන්නේ දීසියේ අක්ෂයට සමාන්තරවයි (P1Q1). එලෙසම නාභියේ සිට නික්මෙන අනෙක් කිරණ ගැනත් සිතිය යුතුය. මෙවිට දීසි කටින් නික්මෙන සියලු කිරණ එකිනෙකට සමාන්තර වේ. දීසි කටට උඩින් දීසියේ අක්ෂයට ලම්භකව L ලෙස යම් රේඛාවක් ඇන්ද විට කදිම සම්බන්දතාවක් ඇති වේ. එනම්, නාභියේ සිට පිටවන ඕනෑම කිරණයක් දීසියේ වැදී පරාවර්තනය වී L තලය/රේඛාවට ළඟාවන විට එම සියලු කිරණවල දිගවල් සමාන වේ - එනම්, FP1Q1=FP2Q2=FP3Q3 ආදි ලෙස.


විකිරණය ඉතාම කුඩා කදම්භයක් (ප්‍රදේශයක්) ලෙස පවතින නිසා දීසි ඇන්ටනාවල ගේන් එක අන් කිසිදු ඇන්ටනාවකට වඩා වැඩිය. දීසියේ විශාලත්වය හා සංඥා තරංග ආයාමය අතර සම්බන්දතාවක් ඇත. එනම්, තරංග ආයාමයට සාපේක්ෂව දීසිය විශාල වන විට, ඇන්ටනාවේ ගේන් එක වැඩි වේ; විකිරණ කදම්භය තව තවත් සිහින් වේ. පහත සූත්‍රයෙන් බීම්විත් එක සෙවිය හැකිය. D යනු දීසියේ විශ්කම්භය වේ.

BeamWidth = 70λ/D

දීසි ඇන්ටනාවක ගේන් එක පහත ආකාරයට ගණනය කළ හැකිය. d යනු දීසියේ විශ්කම්භය වේ (වක්‍රතාව අමතක කර). මෙහි eA යනු aperture efficiency යන සාධකය වන අතර එහි අගය දළ වශයෙන් 0.55ත් 0.77 අතර වේ. මෙම සාධකයෙන් කරන්නේ ගේන් එක තරමක් අඩු අගයක් ලෙස පෙන්වීමයි. ඊට හේතුව, ගේන් එක ගණනය කරන විට නොසලකා හැරපු තවත් කරුණු කිහිපයක් තිබෙන අතර, ඒ සෑම කරුණකින්ම ගේන් එක අඩු වේ. තරංග ආයාමයට සාපේක්ෂව දීසිය විශාල වන විට ගේන් එක වැඩි වන සූත්‍රයෙන්ද පැහැදිලි වේ.


දීසිය තනි ඝන තහඩුවකින්ම සෑදීම අත්‍යවශ්‍ය නොවේ. එය සන්නායක දැලකින් (mesh) පවා සෑදිය හැකිය. එහිදී දැලේ සිඳුරක විශ්කම්භය ඇන්ටනාව භාවිතා කරන්නට බලාපොරොත්තු වන කුඩාම තරංග ආයාමයෙන් 1/10 පංගුවකට වඩා කුඩා විය යුතුය. ඇත්තටම, මෙලෙස දැලකින් ඇන්ටනාව සෑදු විට වාසිද තිබේ. ඇන්ටනාව සැහැල්ලු වේ (එවිට සවි කිරීම පහසු වේ). වියදම අඩු වේ. ඇන්ටනාව සෑදීම පහසු වේ. දැඩි සුළඟට ඔරොත්තු දේ (මොකද දැල හරහා සුළං යන නිසා). හිරු රශ්මිය නාභිගත වීම අවම වේ.


සමහර දීසීවල දැලක් වෙනුවට ලෝහ දඬු (bars) දක්නට ලැබේ. එහිදීද දඬු දෙකක් අතර පරතරය කුඩාම තරංග ආයාමයෙන් 1/10 පංගුවකට වඩා කුඩා විය යුතුය. ඉහත කී සියලු වාසි මෙහි ඇති අතර අමතර වාසියක්ද ඇත. එනම්, දීසිය පරාවර්තක රාජකාරියට අමතරව පොලරයිසර් එකක රාජකාරියද සිදු කරනවා. එනම්, ඉන් පරාවර්තනය වී ෆීඩ්හෝන් එකට එන්නේ එක්කෝ සිරස් නැතිනම් තිරස් ධ්‍රැවීයකරණය වූ කිරණ පමණි. කූරු තිබෙන්නේ සිරස්ව නම් (පහත රූපයේ ආකාරයට), ෆීඩ්හෝන් එකට එන්නේ සිරස්ව ධ්‍රැවීකරණය වූ රේඩියෝ තරංග වන අතර, කූරු තිරස්ව තිබේ නම් ෆීඩ්හෝන් එකට එන්නේ තිරස්ව ධ්‍රැවීකරණය වූ රේඩියෝ තරංග වේ.


තවද, දීසිය ඉතා හොඳන් දිලිසෙන ආකාරයෙන් නොතිබිය යුතුය. ඊට හේතුව එවිට හිරු රස්නයද එය විසින් නාභිගත කිරීමයි. එවිට නාභියේදී අධික රස්නයක් ජනනය වී (සූර්ය උදුනක් බවටද එය පත් වෙමින්) එහි තිබෙන ෆීඩ්හෝන් හා අනෙක් පරිපථ කොටස් පිලිස්සී යාවි. එනිසා, දැල් හෝ දඬු සහිත දීසිය මීට තරමක් හොඳින් ඔරොත්තු දේ. තනි තහඩු ආකාරයේ දීසියක් යොදා ගත්තත්, ඊට matte (දිස්න නොගහන) වර්ණයක් ආලේප කළ යුතුය (දිලිසෙන්නේ නැති වෙන්න).

පැරබොලික් පරාවර්තකයේ නාභියේ තමයි කුඩා ඇන්ටනාව තිබෙන්නේ. ඉහත feedhorn හෝ feed horn හෝ නිකංම feed ලෙස දක්වා ඇති කොටස තුලයි ඇන්ටනාව පිහිටා තිබෙන්නේ. සංඥා සංඛ්‍යාතය වෙනස් වන විට ෆීඩ්හෝන් එකද වෙනස් කිරීමට සිදු වේ. ෆීඩ්හෝර්න් එක තුල තිබෙන කුඩා ඇන්ටනාව සරල ඩයිපෝල් ඇන්ටනාවක් වීමම අවශ්‍ය නැත; horn antenna වැනි වෙනත් ආකාරයක ඇන්ටනාවක්ද විය හැකිය (ඩීෂ් සඳහා බහුලවම භාවිතා වන ඇන්ටනාව මෙයයි). උදාහරණයක් ලෙස පහත රූපයේ දැක්වෙන්නේ හේලිකල් ඇන්ටනාව් නාභියේ රඳවා තිබෙන ආකාරයයි.


එම ඇන්ටනාව සිරස් හෝ තිරස් ලීනියර් පොලරයිසේෂන් විය හැකිය. එහෙත් චන්ද්‍රිකාවලින් බොහෝවිට වාමාවර්ථ හෝ දක්ෂිණාවර්ථ සර්ක්‍යුලර්ලි පොලරයිස්ඩ් සංඥායි එවන්නේ සිරස් හෝ තිරස් ලීනියර්ලි පොලරයිස්ඩ් සංඥා වෙනුවට; එනිසා ෆීඩ්හෝන් එක තුල තිබෙන ඇන්ටනාව හැමවිටම අදාල සම්ප්‍රේෂකයේ පොලරයිසේෂන් එකට ගැලපෙන සේ තිබිය යුතුය. මීට පෙර පොලරයිසේෂන් ගැන කළ විස්තර මෙහිදී අදාල වේ.


හැමවිටම වාගේ දීසි ඇන්ටනාවක LNB (Low Noise Block) downcoverter නම් උපාංගයක් ෆීඩ්හෝන් එකට පසුව ඇත. මෙය අධිසංඛ්‍යාත (මයික්‍රොවේව්) සංඥා වර්ධකයකි. එනිසා මීට අමතර විදුලි බලයද සැපයිය යුතුය. එම විදුලිය ඇත්ත වශයෙන්ම ඇන්ටනා කේබලයෙන්ම සැපයේ සැටලයිට් රිසීවරය මඟින්. තවද, එහි නමෙහිම වැදගත් කාරණා දෙකක් කියැවේ.

එකක් නම්, එම උපාංගයේ නොයිස් එක අඩු බවයි. ඒ කියන්නේ ඇන්ටනාවෙන් ග්‍රහණය කරගත් ඉතා දුර්වල සංඥා වර්ධනය කරන විට, ඊට අලුතින් ඝෝෂාව එකතු වීම ඉතාම අඩු බවයි. LNB එකකින් සංඥාවට එකතුවන ඝෝෂාවේ ප්‍රමාණය පිළිබඳ මිම්ම එහි noise figure ලෙස හැඳින්වෙන අතර, ඩෙසිබෙල් ඒකකයෙන් එය මැනේ (හැකිතරම් කුඩා අගයක් විය යුතුය). අවශ්‍ය නම් Kelvin නම් ඒකකයෙන්ද එය දැක්විය හැකියි (කෙල්වින් යනු උෂ්ණත්වය මනින සම්මත ඒකකයයි; සෙල්සියස් හෝ ෆැරන්හයිට් යනු උෂ්ණත්වය මනින ප්‍රචලිත ඒකක දෙක වුවත් එම දෙකම සම්මත නොවේ).

අනෙක් කාරණාව, එය ඩවුන්කන්වර්ටර් එකක් බවයි. එනම්, ඉහල සංඛ්‍යාතයක් අතරමැදි පහල සංඛ්‍යාතයක් (intermediate frequency – IF) බවට පත් කරයි. උදාහරණයක් ලෙස, චන්ද්‍රිකාවේ සිට සංඥා එන්නේ ගිගාහර්ට්ස් 10 සිට 10.2 සංඛ්‍යාත පරාසයෙන් නම්, ඉහත ආකාරයට එම සංඥා වර්ධනය කර මෙම උපාංගයෙන් එම සංඥාව මෙගාහර්ට්ස් 700 සිට 900 පරාසයේ සංඥාවක් බවට පත් කළ හැකියි. මෙහිදී සංඥාවේ සංඛ්‍යාතය (කැරියර් ෆ්‍රීක්වන්සි) අඩු වුවත්, එහි ගබඩා වී තිබෙන තොරතුරුවලට කිසිවක් නොවේ. ඒ කියන්නේ එය මූර්ජක පරිපථයකි. ඉස්සර චන්ද්‍රිකා සංඥා එවීමේදී ඇනලොග් මූර්ජන ක්‍රම යොදා ගත්තත් දැන් ඩිජිටල් ක්‍රමයි යොදා ගන්නේ.

බොහෝ LNB වල ෆීඩ්හෝන් එකක්ද එකතු කර ඇති අතර ඒවා LNBF (LNB with integrated Feedhorn) ලෙස හැඳින්වේ. වෙන වෙනම එම දෙක පවතිනවාට වඩා එකට පවතින විට ලාභදායක මෙන්ම ලොස් එකද අවම කර ගත හැකිය.


ඉහත රූපයේ LNBF එකක් දක්වා ඇත. මෙවන් උපාංගයක් ඇතුලත බැලූ විට පහත ආකාරයේ පරිපථයක් දක්නට ලැබෙන අතර, එම පරිපථය තමයි LNB එක. බලන්න පහත පරිපථයේ විශාල සිඳුරක් තිබෙනවා. මෙම සිඳුරට තමයි හෝන් ඇන්ටනාවේ කෙලවර වේව්ගයිඩ් කොටස සෙට් වෙන්නේ. එම වේව්ගයිඩය තුලින් එන විදුලි සංඥාව පහත පරිපථයේ එම සිඳුරට අභිමුඛ කර ඇති ලෝහ කූරු (මෙම කූරු probe ලෙස හැඳින්වේ) මඟින් උකහා ගෙන පරිපථයෙන් වර්ධනය කිරීම හා අඩු සංඛ්‍යාතයක් බවට පත් කිරීම සිදු වේ (මෙවන් කූරු එකක් හෝ එකිනෙකට ලම්භකව කූරු දෙකක් වශයෙන් යෙදේ).


ප්‍රෝබ් එක ඇන්ටනා මොනෝපෝලයක් ලෙස ක්‍රියාත්මක වේ. එනිසා, සංඥා ප්‍රභවයේ (චන්ද්‍රිකාවේ) සිට එන සංඥාවේ පොලරයිසේෂන් එකට ගැලපෙන සේ එය පිහිටිය යුතුය (align). ඒ සඳහා, මෙම කූරු එලයින් වීම පිනිස LNBF එක කරකැවිය හැකිය. අංශක 90කින් පොලරයිසේෂන් එක වෙනස් විට, සංඥාව පොඩ්ඩක්වත් ග්‍රහනය නොවනු ඇති. එනිසා හරියට කරකවා පොලරයිසේෂන් එක සෙට් කළ විට සංඥාව හායනය නොවී පිටතට ලබා ගත හැකිය (පොලරයිසේෂන් ගැන විස්තරාත්මකව මීට පෙර අප ඉගෙන ගත්තා).

ඇත්තටම මෙම ගතිගුණය චන්ද්‍රිකාවලදී වාසියකට හරහවා ගෙන ඇත. එනම්, (දළ වශයෙන්) එකම සංඛ්‍යාතයේ (සංඛ්‍යාත පරාසයේ) එකිනෙකට වෙනස් සංඥා දෙකක් එකවර එවනවා පොලරයිසේෂන් අංශක 90කින් වෙනස් කරමින්. උදාහරණයක් ලෙස, 5001-5002MHz යන පරාසය තුල යම් සංඥාවක් එවනවා යැයි සිතමු. දැන් ඇත්තටම එක සංඥාවක් වෙනුවට සංඥා දෙකක්ම එවිය හැකියි එම සංඛ්‍යාත පරාසය තුලම. එහිදී (අපි සිතමු) එක් සංඥාවක් සිරස් පොලරයිසේෂන් එකෙනුත් අනෙක් සංඥාව තිරස් පොලරයිසේෂන් එකෙනුත් එවනවා. මේ සඳහා වෙන වෙනම ඇන්ටනා දෙකකුත් අවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ඉතිං, ඉහත රූපයේ ආකාරයට එකිනෙකට ලම්භකව ප්‍රෝබ් 2ක් සවි කර තිබෙන විට හා එය යම් චන්ද්‍රිකාවකට වරක් නිවැරදිව කරකවා ගෙන අලයින් කර ගත් විට, එකනෙකට වෙනස් පොලරයිසේෂන් දෙකෙන්ම තිබෙන සංඥා ග්‍රහනය කර ගත හැකියි වෙන වෙනම. ඉන්පසු සුදුසු පරිපථයකින් අවශ්‍ය පොලරයිසේෂන් එක (එනම් අවශ්‍ය ප්‍රෝබ් එක) තේරිය හැකියි. කුමන් ප්‍රෝබ් එක සක්‍රිය කරන්නද (තෝරාගන්නද) කියා සැටලයිට් රිසීවරයෙන් LNBF එකට දැනුම් දෙන්නේ සැටලයිට් රිසීවරයෙන් LNBF එකට ලබා දෙන විදුලියේ වෝල්ටියතාව වෙනස් කිරීමෙනි (උදාහරණයක් ලෙස, වෝල්ට් 13ක් වන විට සිරස් ප්‍රෝබ් එකද, 18ක් වන විට තිරස් ප්‍රෝබ් එකද තෝරා ගනීවි). එවිට, වෙන වෙනම LNB දෙකක් වරින් වර මාරු කර කර සිටින්නට අවශ්‍ය නොවේ.

ඉහත විස්තර කළ ලෙස සැටලයිට් රිසීවරයේ සිට යම් යම් සරල උපදෙස lnb එකට යැවිය හැකියි. එමඟින් “බුද්ධිමත්” (එනම් රාජකාරි ගණනාවක් සිදු කරන) lnb එකක් සකස් කර ගත හැකිය. එවිට, lnb එක මෙන්ම සැට් රිසීවරයද එකිනෙකට ගැලපිය යුතුය (එනම් සැට් රිසීවරයෙන් එවන පනිවුඩ lnb එක විසින් තේරුම් ගැනීමට හැකි විය යුතුය). උදාහරණයක් ලෙස, ඉහත සඳහන් කළ තිරස් හෝ සිරස් පොලරයිසේෂන් එක තේරීමේදී සැට් රිසීවරය එම සුදුසු වෝල්ටියතා මට්ටම් දෙක එවිය යුතු සේම lnb පරිපථය විසින් ඊට සුදුසු ප්‍රතිචාර දැක්වීමට හැකි විය යුතුය.

ඇත්තටම වෝල්ටියතා මට්ටම් දෙක වෙනස් කරනවාට වඩා දියුණු ක්‍රමයක්ද තිබෙනවා. එහිදී සැට් රිසීවරය විසින් යම් නිශ්චිත අවසංඛ්‍යාතයන් (කිලෝහර්ට්ස් කිහිපයක) සාදා ඒවා සපෝට් කරන lnb එකකට එවනවා. උදාහරණයක් ලෙස, 23kHz ක දුබල විදුලි සංඥාවක් සැට් රිසීවරය විසින් නිපදවා එය lnb එකට එවිය හැකියි අහවල් වැඩේ කරන්න කියා. ඊට අමතරව, 27kHz ක තවත් සංඥාවක් එවිය හැකියි වෙනත් රාජකාරියක් එවීමට. ඇත්තටම මෙවන් lnb ද නිපදවා තිබෙනවා.

සමහර lnbf තිබෙනවා අවුට්පුට් පෝට් කිහිපයක්ම තිබෙන. මේවා පොදුවේ mult-output lnbf ලෙස හැඳින්වේ. පොට් 2ක් තිබෙන විට dual/twin output lnbf ලෙසද, පෝට් 4ක් තිබෙන විට quad output lnbf ලෙසද ආදි ලෙසත් ඒවා නම් කෙරේ. මෙහිදී වෙනස් රිසීවර් කිහිපයක් වෙන වෙනම එම පෝට්වලට සවි කෙරේ. පහත දැක්වෙන්නේ පෝට් 8ක් ඇති එකකි.


LNB විසින් සංඥාවේ සංඛ්‍යාතය අඩු කරන්නේ ප්‍රායෝගික වාසියක් නිසාය. සන්නිවේදනයේදී විවිධ රෙගුලාසි හා ප්‍රායෝගික හේතුන් නිසා ගිගාහර්ට්ස් කලාපයේ රේඩියෝ තරංග භාවිතා කිරීමට සිදු වුවත්, එවැනි අධිසංඛ්‍යාත පරිපථ සමඟ වැඩ කිරීම අපහසුය (සමහරවිට වියදමද වැඩිය). උදාහරණ ලෙස අධිසංඛ්‍යාතයන් වයර් හරහා ගෙන යෑම අපහසු වන අතර කරදරකාරි වේව්ගයිඩ් යොදා ගැනීමට සිදු වේ. මෙම කරදරයෙන් මිදීමට අප එදිනෙදා භාවිතා කරන සන්නිවේදන උපකරණවල සංඛ්‍යාත පරාසය පවතින්නේ මෙගාහර්ට්ස් කලාප තුලයි. එනිසා, එම උපකරණ සපෝට් කරන යම් සංඛ්‍යාත පරාසයකට චන්ද්‍රිකා තරංගය පත් කිරීමට සිදු වෙනවා. උදාහරණයක් ලෙස, චන්ද්‍රිකාවේ සිට ගිගාහර්ට්ස් ගණනකින් එන සංඥාව මෙගාහර්ට්ස් කර සැටලයිට් රිසීවරයට ලබා දෙනවා.

ඉතිං, ඩිෂ් ඇන්ටනාවක ප්‍රධාන කොටස් 3 ගැනයි අප මේ කතා කළේ. සැටලයිට් රිසීවරය (satellite receiver) යනු ඇන්ටනාවේ ඍජු අංගයක් නොවේ. IRD (Integrated Receiver/Decoder) හෝ set-top box ලෙසද මේවා හැඳින්විය හැකිය (සෙට්ටොප් බොක්ස් යන්න තවත් අවස්ථාවලද යොදා ගැනේ). සැටලයිට් රිසීවරයකින් සිදු කරන්නේ කුමක්ද? සාමාන්‍යයෙන් සැටලයිට් එකේ සිට එවන සංඥා encrypt කර ඇත. එලෙස ජාත්‍යන්තරව සම්මත සැටලයිට් එන්ක්‍රිප්ට් ක්‍රම කිහිපයක්ම ඇත (bliss, Viaccess, digicipher, conax ආදිය). පෙර විස්තර කළ ලෙස සැටලයිට් ඇන්ටනාවෙන් හා එහි සංරචකවලින් සිදු කරන්නේ සංඥා අල්ලා ගෙන වර්ධනය කර පහල සංඛ්‍යාතයකට පත් කිරීම පමණි. එම සංඥාවේ අඩංගු දේට කුමක් කළ යුතුද යන්න ඇන්ටනාවේ වගකීම නොවෙයිනෙ. එම වගකීම මූලිකව දරන්නේ සැට් රිසීවරය විසිනි. මේ අනුව එන්ක්‍රිප්ට් කරපු සංඥා decrypt කරන්නේ සැට් රිසීවරය විසිනි.


එනිසා ඔබ භාවිතා කරන සැට් රිසීවරය ඔබට අදාල සේවා සපයන චන්ද්‍රිකාව (හෝ චන්ද්‍රිකා කිහිපය) විසින් භාවිතා කරන එන්ක්‍රිප්ට් ක්‍රමය සපෝට් කළ යුතුය. සැට් රිසීවරයට සිම්/ස්මාර්ට් කාඩ් එකක් ඇතුලු කිරීමටද ඇත. එම සිම් පත ඔබට අදාල සේවා සපයන ආයතනය විසින් සපයන අතර, ඩික්‍රිප්ට් කිරීමට අදාලව රහසිගත තොරතුරු සේවා ලාභියාට ලබා දෙන්නේ මෙම සිම්පත මඟිනි. ඒ සඳහා මුදල් ගෙවීමට සිදු වේ.

සටහන
ඇත්තටම මුදල් නොගෙවා අන්තර්ජාලයෙන් හෝ සාමාන්‍ය පරිගනක ජාලයක් හරහා මෙම රහසිගත තොරතුරු බෙදාහදා ගන්නා “හොර” ක්‍රමයක්ද තිබේ (card sharing - CS). මේ සඳහා කාඩ්ෂෙයාරිං පහසුකම තිබෙන සැට් රිසීවරයක් අවශ්‍ය වේ (එහි තිබේවි පරිගනක ජාලකයට සම්බන්ද විය හැකි ඊතර්නෙට් පෝට් එකක්). මෙහිදී සැට් රිසීවරය අන්තර්ජාලයට සම්බන්ද කෙරේ රවුටරයක් හරහා (ඔබේ මල්ටිපෝට් වයිෆයි රවුටරය). එලෙස ලොව පුරා විශාල පිරිසක් සම්බන්දව යම් “හොර ජාලයක්” සෑදේ. මෙම ජාලයේ යම් කෙනෙකු මුදල් ගෙවා ලබා ගන්නා සේවාවේ ඩික්‍රිප්ට් තොරතුරු අනෙක් අයගේ සැට් රිසීවර්වලටත් ලබා දේ (අනුන්ගේ පහනින් එලිය බලනවා වගෙයි). මෙවිට එම තොරතුරු ලබා ගත් අයටත් අර කාඩ් එකේ නියම අයිතිකාර කෙනාට බැලිය හැකි චැනල් බැලිය හැකියි. ඒ ගැන තවදුරටත් බලමු. පහත දැක්වෙන්නේ මෙවැනි ප්‍රචලිත සැට් රිසීවරයකි (dreambox).



චන්ද්‍රිකාවේ සිට එන සංඥා එන්ක්‍රිප් කර තිබේ. එම සංඥා ඩික්‍රිප්ට් කිරීමට key එකක් (බ්ට් 64ක පමණ ඩිජිටල් ඉලක්කම් පේලියක්) අවශ්‍ය වේ. මෙම කී එක control word ලෙස හැඳින්වේ. එම කී එකද කාලාන්තරයකට සැරයක් සැටලයිට් එකෙන් සැට් රිසීවර් වෙතට එවයි. එය එවන්නේද එන්ක්‍රිප්ට් කරලාය. එහෙත් ඔබේ සැට් රිසීවරයේ තිබෙන සිම් පතේ තිබෙන කී එකෙන් හැකියි එය ඩික්‍රිප්ට් කරන්නට. දැන් එම ඩික්‍රිප්ට් කරපු කන්ට්‍රෝල් වර්ඩ් එකෙන් තමයි එන්ක්‍රිප්ට් කරලා තිබෙන සියලු සංඥා ඩික්‍රිප්ට් කරන්නේ. ඉතිං, කාඩ්ෂෙයාරිං මඟින් සිදු කරන්නේ ඔරිජිනල් කාඩ් එක සහිත රිසීවරයෙන් ඩික්‍රිප්ට් කරපු කන්ට්‍රෝල් වර්ඩ් එක අනෙක් අය සමඟ ෂෙයාර් කිරීමයි. මෙම හොර ක්‍රමය අඩපන කිරීමටද ක්‍රම තිබේ (කන්ට්‍රෝල් වර්ඩ් එක සෑම තත්පර කිහිපයකට සැරයක්ම වෙනස් කිරීමෙන් හෝ කන්ට්‍රෝල් වර්ඩ් එක පිට කිරීමට බැරි විදියට රිසීවර් තැනීමෙන්).

චන්ද්‍රිකාවෙන් චන්ද්‍රිකාව ස්වාධීන නිසා ඇත්තටම ඕනෑම චන්ද්‍රිකාවක දත්තයක් වෙනත් චන්ද්‍රිකාවකට නොගැලපේ. එනිසා ඔබට එලෙස කාඩ් විස්තර ලැබිය යුත්තේ ඔබ සේවාව ලබන චන්ද්‍රිකාවට අදාලවයි. ඔබ දන්නවා චන්ද්‍රිකාවකින් ලෝකයේ විශාල භූමි ප්‍රමාණයක් ආවරණය කරනවා. එනිසා යම් චන්ද්‍රිකාවකට සම්බන්ද අය ලක්ෂ ගණනින් වන නිසා මෙම හොර ක්‍රමය අසාර්ථක නැත. උදාහරණයක් ලෙස, ඇමරිකාවේ යම් කෙනෙකු A නම් චන්ද්‍රිකාවකින් සේවා ලබන අතරේ එම චන්ද්‍රකාව ඔබේ ප්‍රදේශයට සේවා සපයන්නේ නැතිනම්, එම A නම් චන්ද්‍රිකාවට අදාලව ඇමරිකානුවාගෙන් කාඩ්ෂෙයාරිං ක්‍රමයට ඔබ ලබා ගත් විස්තර වැඩක් නැත.

සමහර චන්ද්‍රිකාවල සිට එන සංඥා එන්ක්‍රිප්ට් කර නැත. ඒවා මුදල් නොගෙවා සුදුසු ඇන්ටනාවකින් හා සැට් රිසීවරයකින් ග්‍රහනය කර ගත හැකිය. මෙවැනි චන්ද්‍රිකා ටීවී/රේඩියෝ චැනල් free to air (FTA) ලෙස හැඳින්වේ.

සැට් රිසීවරයක අනෙක් රාජකාරිය තමයි සංඥාව ඩික්‍රිප්ට් කළාට පසුව, එම සංඥාව තවත් සම්මත උපකරණයක් වෙත යොමු කිරීම. උදාහරණයක් ලෙස, ඩික්‍රිප්ට් කළ සංඥාව රූපවාහිනි යන්ත්‍රයකට යොමු කිරීම ගැන සිතන්න. රූපවාහිනි තාක්ෂණ කිහිපයක්ම ලෝකයේ ඇත (ලංකාවේ පැල් බී ක්‍රමය භාවිතා වේ දැනට). ඔබ ගන්නා සැට් රිසීවරය අදාල රූපවාහිනි තාක්ෂණය සපෝට් කළ යුතුය. ඉතිං, සැට් රිසීවරයට සිදු වෙනවා තමන් ලබා ගත් සංඥාව ටීවී සංඥාවක් බවට පත් කර සුදුසු කේබලයකින් අවුට්පුට් කරන්නට. දැන් එම පෝට් එක (HDMI port) හා ටීවී එක එකිනෙකට සුදුසු කේබලයකින් (HDMI cable) කනෙක්ට් කර සැටලයිට් ටීවී බැලිය හැකිය.

තවද, පෙරත් විස්තර කළ ලෙස, ස්මාට් lnb වලට විදුලි බලය සැපයීම මෙන්ම ඒවා පාලනය කිරීමද සැට් රිසීවරයේ වගකීමකි. මීට අමතරව ඇන්ටනාවට සම්බන්ද තවත් උපාංගද (DiSEqC වැනි) සැට් රිසීවරය විසින් පාලනය කෙරේ. ඩීසෙක් යනු උපකරණ දෙකක් අතර සන්නිවේදනය ඵලදායි ලෙස සිදු කිරීමට සාදා ගත් සම්මත ක්‍රම වේදයකි (protocol). ඩිෂ් ඇන්ටනාව සමහරවිට එය සීරුවට කරකැවිය හැකි විශේෂිත මෝටරයකට සවි කෙරේ. එමඟින් එකම දීසි ඇන්ටනාව අවශ්‍ය වෙලාවට චන්ද්‍රිකා කිහිපයකට වුවද යොමු කළ හැකි වේ. එහෙත් අතින් එය ඉතා නිවැරදිව ස්ථාන ගත කිරීම කාලය වැය වන වැඩකි. මෙවන් අවස්ථාවලදී විශේෂයෙන් සෑදූ මෝටරයකට සැට් රිසීවරයෙන් මීට පෙර කියූ ක්‍රමවලින් විධාන යැවිය හැකියි ඇන්ටනාව අහවල් ස්ථානයට යොමු වන ලෙස. මෙම විධාන තමයි ප්‍රෝටොකෝල් සම්මතයේදී අර්ථ දක්වා තිබෙන්නේ.

එලෙසම සමහරවිට එකම රිසීවරයට දීසි ඇන්ටනා කිහිපයක් වුවද (සමහරවිට 16ක් දක්වා) සම්බන්ද කර තිබිය හැකිය. මෙවිට අවශ්‍ය වෙලාවට ඉන් එක් ඇන්ටනාවක් සක්‍රිය කර අනෙක් ඒවා අක්‍රිය කෙරේ. ඩීසෙක් ප්‍රෝටොකෝලය මඟින් එයද සිදු කළ හැකියි සැටලයිට් රිසීවරය මඟින්. මෙවිට එක් එක් ඇන්ටනාව diseqc switch ලෙස හැඳින්වෙන ස්විචයකට සම්බන්ද කෙරේ. දැන් රිසීවරයෙන් මෙම ස්විචය පාලනය කෙරේ.


චන්ද්‍රිකාවක් සමඟ සන්නිවේදනය කිරීමට (සැටලයිට් ටීවී සඳහා) ඩිෂ් ඇන්ටනාවක් සවි කිරීම එතරම්ම පහසු නැත; එය නිවැරදිවම කළ යුතුය. සාමාන්‍යයෙන් සැට් ටීවී සඳහා යොදා ගන්නේ භූ-ස්ථාවර චන්ද්‍රිකා වේ. එනිසා ඔබේ නිවසේ යම් තැනක සිට භූ-ස්ථාවර චන්ද්‍රිකාවේ පිහිටීම වෙනස් නොවී දිගටම එකම තැන තිබෙනවා සේ පෙනේවි (මේ ගැන මීට පෙර චන්ද්‍රිකා පාඩමෙදී කතා කර තිබෙනවා). ඔබේ ඇන්ටනාව දිශාගත කළ යුත්තේ එවන් චන්ද්‍රිකාවක් දෙසටයි.


සෑම භූ ස්ථාවර චන්ද්‍රිකාවකම පිහිටුම නිශ්චිතය. ඔබට අවශ්‍ය චන්ද්‍රිකාවේ පිහිටුම ඔබ සතු විය යුතුය (අන්තර්ජාලයෙන් හෝ චන්ද්‍රිකා සේවාව සපයන අයගෙන් එම විස්තර ලබා ගත හැකිය). චන්ද්‍රිකාවක වේවා අභ්‍යවකාශ වස්තුවක වේවා නිශ්චිත පිහිටීම දක්වන මූලික ක්‍රම දෙකක් ඇත.

එකක් නම්, තමන් දැන් සිටින ස්ථානයේ සිට එය පිහිටා තිබෙන්නේ කෙසේද/කොහේද යන්නයි. ඇත්තටම මෙවැනි පිහිටුමක් භාවිතා කිරීම පහසුය. එහෙත් විවිධ අයගේ පිහිටීම වෙනස් නිසා එක් එක් කෙනාට ලැබෙන දත්තය වෙනස් වේ. ගණිතානුකූලව පවසනවා නම්, මෙහිදී තමන් සිටින ස්ථානය මූල ලක්ෂ්‍යය ලෙස ගෙන සකස් කළ ඛණ්ඩාංක පද්ධතියට සාපේක්ෂවයි වස්තුවේ පිහිටීම පවසන්නේ. මෙහිදී තමන් සිටින ස්ථානයේ සිට උතුර දිශාවට සාපේක්ෂව ඔරලෝසුවේ කටු කරකැවෙන දිශාවට කෝණය azimuth කියාද, තමන් සිටින ස්ථානයේදී ක්ෂිතිජයට (තිරස් තලයට) සාපේක්ෂව ඉහලට යන විට සෑදෙන කෝණය elevation කියාද කියනවා. මෙම ඇසිමත් හා එලිවේෂන් කෝණ දෙකෙන් කිව හැකියි යම් චන්ද්‍රිකාවක පිහිටුම.


දැන් සැටලයිට් ඇන්ටනාව නිසි ඇසිමත් හා එලිවේෂන් අගයන්ට කරකැවිය යුතුය.


දෙවැනි ක්‍රමය ලෝකයේ කොතැන සිටියත් වෙනස් නොවන පිහිටීම් දත්තයකි. මෙහිදී පෘථිවි පෘෂ්ටය මත අක්ෂාංශක දේශාංශක ක්‍රමය සාදා ගත් පරිදි ලෝකයටම පොදු ඛණ්ඩාංක පද්ධතියක් සාදා ගැනේ (පෘථිවියේ මධ්‍ය ලක්ෂ්‍යය කේන්ද්‍ර කරගනිමින්). මෙම ක්‍රමයෙන් පිහිටුම ලොවටම පොදු එකක් බැවින් පැටලීම් නැතිව ක්‍රමවත් ආකාරයෙන් පිහිටුම් දත්ත ලොවපුරා බෙදාහදා ගැනීමට මෙය උචිතය. එහෙත් මෙම දත්තය එකවර භාවිතා කිරීමට අපහසුය. එය ඒ ඒ කෙනා තමන් සිටින ස්ථානයට ගැලපෙන සේ සකසා (එලිවේෂන් හා ඇසිමත් අගයන් බවට පත් කර) භාවිතා කර ගත යුතුය.

භූ-ස්ථාවර චන්ද්‍රිකා හැමවිටම රැඳවිය හැක්කේ පෘථිවි කක්ෂයට හරියටම එක එල්ලේ ඉහලිනි (ක්ලාර්ක් කක්ෂය යැයි ඊට කියනවා). මේ නිසා සමකය මත ඔබ සිටී නම්, ඇන්ටනාව දල වශයෙන් උඩට මුහුනලා තිබිය යුතුය (එනම් එලිවේෂන් එක අංශක 90කි). එසේ උඩට මුහුන ලා තිබියදී බස්නාහිරට හෝ නැගෙනහිරට කරකැවිය යුතුය චන්ද්‍රිකාව තිබෙන තැනට එල්ල වන සේ (ඇසිමත් අගය එන තුරු). එහෙත්, ඔබ සිටින්නේ සමකයෙන් ඉහල ප්‍රදේශයක නම්, චන්ද්‍රිකාව දකුණු දිශාවට බර විය යුතුය. සමකයෙන් ඉහලට/උතුරු දෙසට වන්නට වන්නට ඇන්ටනාව දකුණට තව තවත් පහත් කළ යුතු වෙනවා. එලෙසම, ඔබ සිටින්නේ සමකයට යටින්/දකුණින් නම්, ඇන්ටනාව උතුරු පැත්තට බර කළ යුතු වෙනවා. අප සමකයට ආසන්නට නමුත් අංශක 8ක් පමණ උඩට වෙන්නට සිටින නිසා, ඇන්ටනාව තරමක් දකුණු පැත්තට බරවයි පවතින්නේ.

පහසුවෙනුත් ඉක්මනිනුත් ඇන්ටනාව නිවැරදි දිශාගත කිරීම සඳහා satellite finder නම් උපකරණයක්ද භාවිතා කළ හැකියි. ඇන්ටනාවේ ඇසිමත් හා එලිවේෂන් කෝණ සැකසීමට එය කරකැවිය යුතුය. ඒ සඳහා ඇන්ටනාවේ පිටුපස නට් බුරුල් කර එය සිදු කිරීමට අවකාශය තිබේ. දිශාව නිවැරදිව සොයා ගත් පසු lnb එකත් කරකවා පොලරයිසේෂන් එකත් නිවැරැදිව සකසා ගත යුතුය.


Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,