Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

මෝහනය / mohanaya (Hypnosis) - 22

තවත් ඉන්ඩක්ෂන් ක්‍රම කිහිපයක්

ඔබ මෙතෙක් ඉගෙන ගත්තා ඉන්ඩක්ෂන් ක්‍රම දෙකක් (එල්මන් ක්‍රමය හා ඇස්වලට ගම් ගැසීම). ඊට අමතරව තවත් ඉන්ඩක්ෂන් දෙක තුනක් හෝ දැන සිටීම වටිනවා.
  1. මෙය “අත වැට්ටීමේ ක්‍රමය” (hand drop induction) ලෙස හැඳින්විය හැකියි. ඒ වාගේම මෙය ඉක්මන් (rapid) ඉන්ඩක්ෂන් ක්‍රමයක් ලෙසද සලකන්න පුළුවන්. එය සිදු කරන්නේ මෙසේයි.පළමුව මෝහනලාභියාව සුදුසු අසුනක වාඩි කරවා ඔබද ඒ අසලින් වාඩි වන්න (ඔහුගේ නුහුරු අත තිබෙන පැත්තේ). ඔහුගේ වම් අත (ඔහුට වඩාත් නුහුරු අත) ගෙන එහි අත්ල ඔබේ අතක අත්ල මත තබන්න (අර අප කෙනෙකුට යමක් දිවුරලා කියන්න කියන විට ඔබේ අත්ල මත ඔහුගේ අත්ල තබා ගන්නා ආකාරයටම). දැන් ඔබේ ඇස් දෙක දිහා (හෝ ඇස් දෙක මැද තිබෙන “බ්‍රිජ් එක” නම් කොටස) ඔහුට බලාගෙන සිටින්නට කියන්න. හරි... මං එකේ සිට තුනට ගණන් කර තුන කියන විට ඔබේ අත්ල මත ඇති ඔහුගේ අත පහතට තද කරන්න කියන්න. දිගටම එලෙස පහතට පීඩනය යොදන්න කියන්න. ඒ එක්කම තමන් කියන දේට හොඳන් ඇහුම්කන් දෙන්න කියන්න. ඔබද එම පීඩනයට ඔරොත්තු දෙන ප්‍රතිවිරුද්ධ පීඩනයක් යොදන්න. එසේ පහතට අත තද කරන ගමන් ඔහු ඔබේ ඇස් දිහාද දිගටම බලාගෙන සිටිය යුතුයි. ඔබ කියන දේටද ඇහුම්කන් දිය යුතුයි. ඔහුට එකවරට කාර්යන් තුන හතරක්ම කිරීමට සිදු වීම මෙහි ඇති උපක්‍රමයයි. එනම්, ඔහුගේ උඩු සිත කාර්යබහුල වී එය මඟහැර යෑමට අවස්ථාවක් උදා වේ. (ඇත්තටම එය ඔහුට පමණක් නොව ඔබටද අභියෝගාත්මක වේ මොකද ඔහු මෙන්ම ඔබත් කටයුතු කිහිපයක් සමගාමීව ඔහුටත් වඩා සිහිකල්පනාවෙන් කිරීමට සිදු වේ. ඔහුගේ ඇස් දෙස එක එල්ලේ බලන් සිටීම, ඔහුගේ අතට ප්‍රතිවිරුද්ධව පීඩනයක් යොමු කිරීම, ඔහුගේ ඉරියව් හොඳින් නිරීක්ෂණය කිරීම, සුදුසු යෝජනා කීම ආදිය ඔබටද සිදු කිරීමට ඇත. එනිසා, මෙම ක්‍රමය පළමුව ඔබ හොඳින් පුහුණු පුරුදු විය යුතුයි.)දැන් එක... දෙක... තුන... කියා පටන් ගන්න. මෙය තත්පර පහලොවක් විස්සක් පමණ එක දිගට කරගෙන යන්න. බොහෝ විට ඔහු අතින් යොදන පීඩනය අඩු වේ නැතහොත් නවතී. ඔබ වහම එවැනි විටක තද කරන්න තව තද කරන්න කියා කිව යුතුයි. ඔහුගේ උඩු සිතට “කරකියා ගන්න” දෙයක් නැතිව අසරණ වන විටයි ඔහුගේ අතින් යොදන පීඩනය ගිලිහී යන්නේ. එය හොඳ ලක්ෂණයක්. ඔබද බොරුවට හෝ “අත තද කරන්න, මගේ ඇස් දිහා බලන්න” කියා තොර තෝංචියක් නැතිව ගිරවකු මෙන් කියාගෙන යා යුතුයි. මෙසේ ඉහත ක්‍රියාවන් කිහිපය එකවර සිදුවන ගමන් මෙසේ යෝජනා කරන්න (මෙම යෝජනා දැන් කාර්යබහුල උඩු සිත මග හැර ගොස් කෙලින්ම යටි සිතට ගමන් කරයි). “දැන් ඔබේ ඇස් බොහෝම බර වෙනවා... ඇස් වසන්නට සිතෙනවා... නිදිමත ගතිය ඇස්වලට දැනෙනවා... ඔව්... දැන් ඇස් වැසෙනවා... ඇස් වැසෙනවා... වැසෙනවා...” මෙසේ කියන විට බොහෝ විට ඔහුගේ ඇස් වැසේ. නිකමට හෝ ඇස් වැසුනේ නැතිනම් ඔබේ අනිත් අතේ ඇඟිලිවලින් ඔහුගේ ඇස් පියන් වසන්න. මේ සියල්ල ඉහත තත්පර කිහිපය ඇතුළත සිදු කරන්න.දැන් එකවර ඔහුගේ අතට පීඩනය යොදාගෙන තිබෙන ඔබේ අත ඇදල ගන්න. එවිට ඔහුගේ අත පහතට පීඩනයක් යොදා ඇති නිසා, ඔහුගේ කකුල මතට වැටෙනු ඇත. මෙය ඔහු අපේක්ෂා නොකළ තත්වයක්; එක්තරා විධියක් “ෂොක් එකක්”. මෙම ක්ෂණික මොහොත යනු ඔහුගේ උඩු සිත සම්පූර්ණයෙන්ම අහෝසි වෙච්ච අවස්ථාවක්. එනම් ඉතා ගැඹුරු මෝහන අවස්ථාවක්. එහෙත් එය පවතින්නේ තත්පරයක් හෝ ඊටත් අඩු කාලයක් පමණි. මෙම ක්ෂණික කාල සීමාව තුළ ඔහුට ගැඹුරු මෝහනයට පත් වෙන්නට කියා යෝජනා කළ යුතුයි. එහෙත් ඉතා දිගු වාඛ්‍ය ගණනාවකින් යුත් යෝජනාවලියක් එවැනි ඉතා කුඩා (තත්පරයකටත් අඩු) කාලයක් තුල දිය නොහැකියි නේද? ඒ සඳහා උපක්‍රමයක් භාවිතා කරන්නට සිදු වේ. එය නම්, “නිදියන්න(ඉංග්‍රීසියෙන් කියනවා නම් sleep යන වචනය) භාවිතා කිරීමට සිදු වෙනවා. ඒ කියන්නේ, ඔබේ අත ක්ෂණිකව ඇදපු ගමන්ම තරමක් වේගවත් බලවත් හඬකින් “නිදියන්න” කියා ඉක්මනින්ම කිව යුතුයි.හැබැයි මෙම ඉන්ඩක්ෂන් එක භාවිතා කරන්න පෙර, මෝහනලාභියාට කියන්නට ඕනෑ මෝහනය කරන අතර තුර නිදියන්න කියන වචනය තමන් භාවිතා කරන්නේ සාමාන්‍යයෙන් නිදියනවා කියන අර්ථයෙන් නොව, ඉතා ගැඹුරු මෝහන නිද්‍රාවට පත් වෙන්න කියන අර්ථයෙන් බව. සමහරවිටක ඔහු මීට පෙර මෝහනකට පත් නොවූ කෙනෙකු වන්නට පුළුවන්. එවිට, මෝහන නිද්‍රාව යනු කුමක්දැයි ඔහු දන්නේ නැත. ඔහුගේ සිතට මෝහන නිද්‍රාව යනු කුමන මානසික තත්වයක්දැයි තවමත් හුරු නැති වෙන්නට පුළුවන්. එමනිසා, මෝහන නිද්‍රාව යනු මෙන්න මේ වගේ තත්වයක් කියා ඔහුට තරමක් පැහැදිලි කර දීමට සිදු වෙනවා. මෝහනය කියන්නේ ශරීරය ඉතාම සැහැල්ලු වෙන, සිත ඉතා සංසුන් වෙන, උඩු සිත නිදියන එහෙත් යටි සිත අවධි වන මානසික තත්වයක් බව ඔහුට (ප්‍රීටෝක් එකේදී) කියා දෙන්න. එවිට, ඔබ ඉහත ආකාරයට නිදියන්න කියා වැරෙන් කියූ විට, ඔහුගේ සිත සූදානම් එම මෝහන නිද්‍රාවට පත් වන්නට.මෙලෙස එකවර මෝහන නිද්‍රාවට පත් වූ පසුවත්, එම තත්වය තවදුරටත් තහවුරු කරමින් ගැඹුරු මට්ටමකට ගෙන යෑමට ඔබ කටයුතු කළ යුතුය. මෙය ක්ෂණිකව සිදු වූ නිසා, සමහරවිට එහි ෂොක් එක නිසා එම මෝහනයෙන් ක්ෂණිකව ඉවත් වීමටත් ඔහු පෙළඹිය හැකියි. එය වැලැක්වීමට අනිවාර්යෙන්ම ඔබ තොර තෝංචියක් නැතිව ඔහුට කතා කර කර සිටිය යුතුයි. “ඔබ හුස්ම හෙලන සෑම හුස්මක් පාසාම ඔබ ඔය සිටිනවාට වඩා ගැඹුරු කායික හා මානසික සැහැල්ලුවකට ඔබව පත් වෙනවා... එය සිදු වෙන්නට ඉඩ හරින්න... එය විඳින්න... මානසික සුවය සැහැල්ලුව දැනෙන්නට ඉඩ හරින්න...” ආදී ලෙස ඔබ ඔහුට යෝජනා කරගෙන කරගෙන යන්න. එල්මන් ක්‍රමයේ ඇති ෆ්‍රැක්ෂනේෂන් එක සිදු කරන්න. එල්මන් ක්‍රමයේදී මෙන්ම (ඒ කියා ඇති ආකාරයටම මෙහිදීද) අත ඔසවා අත්හරින්න. ඉන්පසු සුපුරුදු ලෙසම ඩීප්නින් ක්‍රමයක් යොදන්න.අවශ්‍ය නම්, ඔබේ අත ඉවතට ඇද නිදියන්න කියා පැවසූ පසු ඔබේ අත්ලක් ඔහුගේ නලල මත තබා ඔලුව සෙමෙන් දෙපැත්තට පද්දන්න. එසේ පද්දන ගමන් කියන්න “මං ඔබේ හිස මෙලෙස දෙපසට පද්දන විට, ඔබේ මුළු ශරීරයම සැහැල්ලු වෙනවා... පන නැති වෙනවා... සුවදායක හැඟීම් මතු වෙනවා... කය මෙන්ම මනසත් සැහැල්ලු වෙනවා... සංසුන් වෙනවා...” ලෙස (මේ සඳහා ගත වෙන්නේ තත්පර කිහිපයකි). ඉන්පසු නලලේ තබා සිටින අත ඉවතට ගෙන ඉහත කියූ ලෙස තව තවත් යෝජනාද කියා ඩීප්නින් යෝජනාද කියන්න.මෙම ක්‍රමය ඉක්මන්ය. මෝහනලාභියාට සිතන්නට විශ්ලේෂණය කරන්නට ඉඩක් මින් නොලැබේ. එමනිසා විශේෂයෙන්ම විශ්ලේෂණාත්මක මනසක් ඇති අය සඳහා ඉතාම සුදුසු ක්‍රමයකි.
  2. මෙය “ක්‍රමයෙන් සැහැල්ලු කිරීම” (progressive relaxation induction) ලෙස හැඳින් වේ. ඇත්තටම අතීතයේ භාවිතා වූ ප්‍රචලිතම ක්‍රමය මෙයයි. වර්තමානයේ වැඩියෙන්ම ගැරහීමට ලක්වන ක්‍රමයත් මෙයයි. එහෙත් මෙය වුවද ප්‍රයෝජනවත් වන අවස්ථා ඇත. උදාහරණක් ලෙස, ඔබ ළඟට පැමිණෙන කෙනෙකු මීට පෙර මෙම ක්‍රමයෙන් මෝහනයට පත් වූවකු නම්, සමහරවිට ඔහු නැවත අපේක්ෂා කරන්නේද එම ක්‍රමයමයි (තවමත් පැරණි මෝහනවේදින් මෝහනය කිරීමට එම ක්‍රමය යොදා ගන්නවා වෙන්න පුළුවන්). ඔබ තත්පර කිහිපයකින් ඔහුව මෝහනය කරන්නට සූදානම් වන විට, ඔහුගේ සිත ඊට සූදානම් නැත. එක්කෝ ප්‍රීටෝක් එකේදී අළුත් ක්‍රම ගැන ඔහුට හොඳ හැඟීමක් හා අවබෝධයක් ඇති කර දිය යුතුයි. තවද, නව ක්‍රමවල සැහැල්ලුව, ලිහිල්බව, සැනසීම ආදී වචන භාවිතා කළත් (හා නොකළත්) ඇත්තටම එම කඩිනම් ක්‍රමවලින් මෝහනලාභියාට එම සුවය විඳ විඳ ඉන්නට තරම් කාලයක් නොලැබේ. අප කවුරුත් කැමැතියි අපේ හිස කවුරු හෝ අතගාමින් ඉන්නවා නම්. ඉන් විශාල සනීපයක් දැනෙනවා. එලෙසම ප්‍රොග්‍රෙසිව් ක්‍රමයේදී මෙම සනීපය විඳීමට වැඩිපුර කාලයක් මෝහනලාභියාට ලැබෙනවා. මෝහනය ගැන ප්‍රසන්න හැඟීමක් ඔහුට ඇති වෙනවා. මෙවැනි හේතු නිසා මෙම ඉන්ඩක්ෂන් එකත් අහක දමන්නට බැහැ. එහෙත් ආදි කාලයේ තිබූ ඉතා දීර්ඝ (සමහරවිට පැයක දෙකක පමණ දිගු) ක්‍රමය වෙනුවට විනාඩි පහලොවකට අඩු කාලයක් පුරා පවතින ලෙසට එය සිදු කළ යුතුයි (ඔහු පැමිණෙන්නේ “චූන් වෙන්න” නොව යම් ප්‍රශ්නයකට විසඳුමක් ලබා ගන්නයි. ඔහුට සතුටක් ලැබීමට අවශ්‍ය නම් වෙන කොහොන් හෝ සම්භාහනයක් (massage) කර ගත හැකියි. එනිසා, නිකරුණේ වටිනා කාලය වැය කරන්න එපා දිගු ඉන්ඩක්ෂන් ක්‍රම භාවිතා කරමින්.) දැන් මෙය කරන හැටි බලමු. ඔහුව හොඳ සුවපහසු අසුනක හෝ සෝෆාවක හෝ සිටින්නට සලස්වන්න. ඉන්පසු මෙසේ යෝජනා කරන්න.

    ගැඹුරු හුස්මක් සෙමින් ගන්න... එය පිට කරන්නෙ නැතිව සිටින්න... [තත්පර තුනකට විතර පසුව] දැන් සෙමින් හුස්ම පිට කරන්න. ඔබේ මුළු ශරීරය පුරාම සැහැල්ලුවක් දැන් පැතිරෙනවා. එය දැනෙන්නට ඉඩ හරින්න... තව තවත් එය වැඩිපුර දැනෙන්නට ආශා කරන්න... හරි... තව පාරක් සෙමින් ගැඹුරින් හුස්ම ගන්න... හුස්ම පිට කරන්න එපා... දැන් හුස්ම සෙමින් පිට කරන්න... හුස්ම පිට වන ගමන් ඔබේ ඇස් දෙකත් වැසෙන්නට සලස්වන්න... දැන් ඔබේ මුලු ශරීරයටත් මනසටත් සැහැල්ලුවක් සනීපයක් දැනෙනවා. [ඇත්තටම මෙහි යම් රහසක් ඇත. ඔබ ගැඹුරු හුස්මක් ගෙන ටික වෙලාවක් එය රඳවාගෙන සෙමින් පිට කරන විට, ඔබට විශාල සැහැල්ලු ගතියක් දැනෙනවා. ඔබ එය දැන් සිදු කර බලන්න. මෙය මෝහනයට සම්බන්ධ දෙයක් නොව; එය සාමාන්‍ය ශාරීරක ස්වභාවයක්. එහෙත් මෝහනය සඳහා එය අප උපක්‍රමයක් ලෙස යොදා ගැනීම පමණි සිදු කරන්නේ.] බොහෝම හොඳයි... නැවත ගැඹුරු හුස්මක් සෙමින් ගන්න... පිට කරන්න එපා... දැන් සෙමින් පිට කරන්න... ඒ සමගම ඔබට විශාල සැහැල්ලුවක් දැනෙනවා. [කැමැති නම් තව කිහිප වතාවක් එය සිදු කරන්න.]

    දැන් ඔබේ සිරුර පුරාම උණුසුමක් පැතිරෙනවා. [ඇත්තටම මෙය සිදු වෙනවා. ඔබේ ශරීරය සැහැල්ලු වෙන විට, හොඳින් ලේ ගමනාගමන සිදු වීම නිසා යම් උණුසුම්බවක් ඇතිවීම නිතැතින්ම සිදු වෙනවා. අප එම සංසිද්ධිය මෝහනයේ වාසියට යොදා ගන්නවා. ඔබ ඩීප්නින් ක්‍රම ගැන ඉහතකදී ඉගෙන ගන්නා විට ප්‍රතිපෝෂණය ගැන කතා කළා මතකද? මෙහිදීද සිදු වන්නේ ප්‍රතිපෝෂණය මගින් මෝහන මට්ටම ඇති කිරීම හා ගැඹුරු කිරීමයි.] එම උණුසුමත් සමගම ශරීරය පුරාම සනීපදායක සැහැල්ලුවක් පැතිරී යනවා. එය දැනෙන්නට ඉඩ හරින්න. එය විඳින්න. ඊට ආශා කරන්න.”

    ඔබේ හිස් මුදුනට දැන් සනීපයක් දැනෙනවා. හිස් මුදුන සැහැල්ලුයි. එම සැහැල්ලුව දැන් ඔබේ නලලට පැතිරෙනවා. ඔබේ නලල දැන් සැහැල්ලුයි. එම සැහැල්ලුව හා සනීපය දැන් ඔබේ මුහුණ පුරාම පැතිරෙනවා... ඔබේ කම්මුල් ලිහිල් වෙනවා... ඇස් හා ඇස් අවට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. ඔබේ කට, නිකට ඇතුලු මුළු මුහුණම සැහැල්ලුයි... සනීපයි... ඔබ පිට කරන සෑම හුස්මක් පාසාම මෙම සැහැල්ලුව සනීපය තිබුණාට වඩා වැඩි වෙනවා. එම සැහැල්ලුව දැන් ඔබේ බෙල්ලට පැතිරෙනවා. ඔබේ බෙල්ල ඉතා සැහැල්ලුයි. [මේ ආකාරයට සැහැල්ලුව හා සනීපය උරහිස් දෙක, අතේ වැලමිට දක්වා කොටස්වලට, වැලමිටෙන් පහළට ඇති කොටස්වලට, අත්වල ඇඟිලිවලට, පපු ප්‍රදේශයට, බඩට, පිටට, ඉන ප්‍රදේශයට, දණහිස් දක්වා ඇති සියලු කොටස් වලට, දණහිසෙන් පහළ කොටස්වලට, කකුලේ පාද හා එහි ඇඟිලිවලට ආදී ලෙස ක්‍රමයෙන් යෝජනා කරන්න. මේ අතරින් පතර, පිටකරන සෑම හුස්මක් පාසාම සිටි මට්ටමට වඩා ගැඹුරට සැහැල්ලුවට පත් වන බවද කියන්න. එකම ආකාරයේ වාඛ්‍ය රටාව බැවින් ඒ සියල්ල මා ලියන්නේ නැත. ඔබට පහසුවෙන් එය සිතාගත හැකියි නේද?]

    දැන් ඔබේ ශරීරයේ සියලුම ලොකු කුඩා මාංශ පේශින් ලිහිල් වෙලා තියෙන්නේ... එ්වා සැහැල්ලුයි... ඔබේ ශරීරයේ සියලුම නහර, ස්නායු හා ඉන්ද්‍රියන් ඉතාම සැහැල්ලුයි... ඔබේ මුලු ශරීරයම සැහැල්ලුයි... ඔබට පුදුම සනීපයක් දැනෙනවා... එය දැනෙන්නට පැතිරෙන්නට වැඩි වෙන්නට දෙන්න. මා දැන් තුනේ ඉදන් එකට සෙමින් ගණන් කරනවා. ඒ සෑම ඉලක්කමක්ම ඇසෙන විට, ඔබ සිටි මට්ටමට වඩා ගැඹුරු සුවයකට සැහැල්ලුවකට පත්වෙනවා... ඔව්... ඒ සෑම ඉලක්කමකටම පසුව ඔබව ගැඹුරු සැහැල්ලුවකට සුවයකට පත් වෙන්නට ඉඩ හරින්න. තුන... සැහැල්ලු වෙන්න... ගැඹුරට යන්න... ඒ සුවය දැනෙනට පැතිරෙන්නට ඉඩ හරින්න... දෙක... සැහැල්ලු වෙන්න... සැහැල්ලු වෙන්න... සුවදායක ගැඹුරු සංසුන් සැහැල්ලුවට පත් වෙන්න... බොහෝම හොඳයි... එක... ඔබ දැන් ඉතා ගැඹුරු සැහැල්ලුවකට පත් වෙනවා. සැහැල්ලු වෙන්න ඉඩ හරින්න... එය විඳින්න... ඊට ආශා කරන්න... ඔබේ මනස සංසුන් වෙන්න ඉඩ හරින්න... මනස ගැඹුරට යන්න ඉඩ හරින්න... මනසත් ශරීරයත් එකිනෙකට උදව් කරමින් ගැඹුරු සුවයකට... ගැඹුරු සැහැල්ලුවකට පත් වෙනවා. [අවශ්‍ය නම් ඉහතදී තුනේ සිට නැතිව පහේ සිට එකට ගණන් කළ හැකියි.]

    අවටින් ඇසෙන් සියලු ශබ්දවලින් ඔබට තව තවත් සැහැල්ලු කරනවා... සංසුන් කරනවා... ඔබ පිටකරන සෑම හුස්මක් පාසාම ඔබට සැහැල්ලු කරනවා... සංසුන් කරනවා... මාගේ කට හඬ... මා කියන දේවල් ඇසෙන විට ඔබව ගැඹුරට තව තවත් සැහැල්ලුවට පත් කරනවා.”

    මා දැන් තුනේ [හෝ පහේ] සිට එකට ගණන් කරනවා. ඒ සෑම ඉලක්කමක් පාසාම ඔබ සිටි මට්ටමට වඩා දෙගුණයක සැහැල්ලුවකට ගැඹුරකට ඔබට පත් වෙනවා. එලෙස දෙගුණයක සැහැල්ලුවකට පත් වීමට ඔබ ඉඩ දෙන්න. තුන... සැහැල්ලුව දෙගුණ කරන්න. දෙගුණයක සැහැල්ලුවකට හා ගැඹුරකට පත් වෙන්න ඉඩ දෙන්න... බොහෝම හොඳයි... දෙක... සැහැල්ලුව දෙගුණ කරන්න... අන්න හරි... එක... සැහැල්ලුව දෙගුණයකින් ගැඹුරු කරන්න... එය වෙන්න ඉඩ හරින්න... ඔබේ ශරීරයේ සෑම මාංශ පේශියක්ම, සෑම අවයවයක්ම, සෑම නාරයක්ම, සෑම ස්නායුවක්ම, ඔබේ උඩු සිත පවා දැන් ඉතාම සංසුන්... ඉතාම සැහැල්ලුයි... ඉතාම නිස්කලංකයි... ලොකු සනීපයක් ඔබට දැනෙනවා. ඔබ පිට කරන සෑම හුස්මක් පාසාම සිටියට වඩා සැහැල්ලුවකට ඔබට ගමන් කරනවා. [අවශ්‍ය නම් ඉහත කොටස තව පාරක් කරන්න. ඉන්පසු පෙර පරිදිම කිහිප සැරයක් ඇස් දෙක විවෘත කර වසන්නට කියා හා අතක් උස්සා අත්හැරීමේ ක්‍රම භාවිතා කර හා කැමති නම් සීයේ සිට එක දක්වා ඉලක්කම් ගණන් කිරීමේ උපක්‍රමය (ඉල්මන් ක්‍රමයේ තිබුණු) අවසානයේ යොදන්න. ඉන්පසු සුදුසු ඩීප්නින් ටෙක්නික් එකකින් ඉන්ඩක්ෂන් එක කෙළවර කරනන.]
  3. මෙම ක්‍රමයට අප Handfist tap induction ලෙස නම් කරමු. එය තරමක් දුරට ඉහත hand drop induction එකට සමානයි. එය සිදු කරන්නේ මෙසේයි.

    ඔබේ අත මෙන්න මේ වගේ ගුලිකරගෙන තද කරන්න. [මෙසේ කියන ගමන් ඔහුගේ එක් අතක් ගෙන එහි ඇඟිලි නවන්න. (කෙනෙකුට ගහන විට අප අතේ ඇඟිලි ගුලිකරගන්නා ආකාරයට. ඊට “මිට මොලවනවා” යන වචනයද භාවිතා කෙරෙනවා.) ඉන්පසු එසේ මිට මොලවගත් අත ඔහුගේ ඉදිරියෙන් තරමක් දික්කරන්න.] දැන් ඔබ හයියෙන් අත තද කරන ගමන් ඒ දෙස කෙලින්ම බලාගෙන ඉන්න. මං කියන දේ අහගෙන ඉන්න. හරි... තව තවත් අත තද කරන්න... දිගටම තද කරනන... නවත්වන්න එපා දිගටම තද කරන්න... ඒ දෙස බලාගෙන ඉන්න... [මෙලෙස යෝජනා දිගටම කියාගෙන යන්න. නාට්‍යයක දෙබස් කියන ආකාරයට හඬ උස් පහත් කරමින් කියන්න. මෙසේ තත්පර පහලොවක් විස්සක් පමණ දිගටම කරන්න. ඒ කාලය තුළ අඛණ්ඩව ඉහත යෝජනා සිදු කරන්න. දැන් එක්වරම එම අතට ඔබේ අතින් තට්ටු කරන්න. එසේ තට්ටු කර තත්පරයක් ඉක්ම යන්නට පෙර “නිදියන්න” කියා කියන්න. පෙර අවස්ථාවේ මෙන්ම මෙහි නිදියන්න කියෙන්නේ කුමක්දැයි ඔහුට අවබෝධයක් ලබා දී තිබිය යුතුයි. මෙසේ කී විට, වහම ඔබේ අත ඔහුගේ නලල මත තබා පෙර සේම සැහැල්ලු වීමට යෝජනා කියන්න. එතැන් සිට විස්තරය hand drop induction එකේ කියපු ආකාරයටම සිදු කර ගත හැකියි.]
ඉහත ඉන්ඩක්ෂන් කිහිපය හැරුණහම තවත් ක්‍රම දුසිම් ගණනක් ඇත. අවශ්‍ය නම් ඒවා ගැනද කියවා බලන්න. ඇත්ත වශයෙන්ම අපට අලුත් ඉන්ඩක්ෂන් ක්‍රමද නිර්මාණය කර ගන්නට පුලුවන්. මෝහනය ගැන හොඳ විද්‍යාත්මක දැනුමක් ඇත්නම් කෙනෙකුව මෝහනයට පත් කිරීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග සිතාගත හැකියි. පළමුව උඩු සිත එක්කෝ කාර්යබහුල හෙවත් “බිසී” කර නැතහොත් වෙනත් ක්‍රමයකින් මඟහැරීම සිදු කිරීම හා දෙවනුව මෝහන මට්ටම ගැඹුරු කරන උපක්‍රම පැවතීමයි ඉන්ඩක්ෂන් එකක ප්‍රමුඛ ලක්ෂණ වන්නේ. මෝහනය ගැඹුරු කරන උපක්‍රම කොහි එකෙත් සමානයි. මෙතෙක් උගත් සියලුම ඉන්ඩක්ෂන්වල භාවිතා වූයේ දළ වශයෙන් එකම ක්‍රමවේදයි. වෙනස් වෙන්නේ උඩු සිත මඟහරින උපක්‍රමයයි. විවිධ ඉන්ඩක්ෂන් ක්‍රම කිහිපයක් අධ්‍යනය කරන විට, ඔබටම තවත් ක්‍රම ඕනෑ තරමක් නිර්මාණය කර ගත හැකියි.


ඔබ යම් කෙනෙකු සඳහා කුමක් හෝ ඉන්ඩක්ෂන් එකක් යොදනු ඇත. ඉඳහිට කෙනෙකුව යම් ඉන්ඩක්ෂන් එකකින් මෝහනයට පත් නොවන බව ඔබට හැඟී ගියොත්, වහම ඔහුට නොදැනෙන්නට ඔබට ඉන්ඩක්ෂන් එක අතරමඟදී වෙනස් කළ හැකියි. මෝහනයේ තිබෙන එක් වාසියක් නම්, ඔබ කරන ඕනෑම දෙයක් ඔහුට දැනෙන්නේ නිවැරදියි කියාය. එනම්, ඔබට ඇත්තටම යම් වරදක් සිදු වුවත් එය ඔහුට නොපෙනේ. (වෙනත් විෂයන් සම්බන්ධයෙන් ගත්තත් එවැනි තත්වයක් තිබිය හැකියි. උදාහරණක් ලෙස, යම් වෛද්‍යවරයකු ලබා දෙන බෙහෙතක හරි වැරදි ලෙඩාට තේරෙන්නේ නැත. එහෙත් ලෙඩාට අවශ්‍යම නම් වෛද්‍යවරයා වැරදි බෙහෙතක් දුන්නද නැද්ද කියා තවත් වෛද්‍යවරයකුගෙන් අසා හෝ දැනගත හැකියි. එහෙත් මෝහනයේදී මෝහනවේදියා කරන කිසිම දෙයක් එසේ හරි වැරදි බැලීමට බොහෝම අපහසුය.) එනිසා, මෝහනලාභියාව මෝහනයට පත් නොවේ නම්, වහාම වෙනස් ඉන්ඩක්ෂන් එකකට යෑම උචිත වන අතර, එය ඔබ ඔහුට නොදැනෙන්ට කිසි වරදක් අර්බුදයක් නැති ආකාරයට සිදු කළ හැකියි. සමහරෙක් මෙම උපක්‍රමයට pyramidding යන නම භාවිතා කරනවා (එනම්, පිරමිඩිං යනු අතරමඟදී ඉන්ඩක්ෂන් එක මාරු කිරීමයි).

ඇත්තටම මා නම් එම යෙදුම නිවැරදි යැයි සලකන්නේ නැහැ. ඇත්තටම බොහෝ දෙනෙකු පිරමිඩිං යන්න කොම්පවුන්ඩිං යන්නට සමාන වචනයක් ලෙස සලකනවා. එම භාවිතය නම් තරමක් නිවැරදියි. ඊටත් වඩා නිවැරදි නිර්වචනයක් තිබේ. එය නම්, ඔබ මෝහනලාභියකුට යෝජනා කියන විට, පළමුව වඩා පහසුවෙන් කළ හැකි හෝ වඩා පහසුවෙන් පිළිගත හැකි යෝජනාද, ඉන්පසු ක්‍රමක්‍රමයෙන් කරන්නට අමාරු යෝජනාද කීම පිරමිඩිං ලෙස හඳුනාගත යුතුය. නමෙහිම කියවෙන පරිදි පිරමීඩයක් යනු යට සිට ඉහළට යන්නට යන්නට ක්‍රමයෙන් සිහින් වෙන ව්‍යුහයකි. යෝජනාද මෙලෙස පිරමීඩයක් ආකාරයට ඔබට දැකිය හැකියි (ඒ කියන්නේ වඩා පහසුකමේ සිට වඩා අමාරුකම දක්වා පෙළගැස්ම ආකෘතියක් ලෙස ගත් කළ පිරමීඩයකට සම කළ හැකියි). 
ඇත්තටම හොඳ ඉන්ඩක්ෂන් එකක් නම් එය කෙටි කාලයකින් ගැඹුරු මෝහනයට පත් කිරීමට හැකියාව ලබා දිය යුතුයි. යම් ඉන්ඩක්ෂන් එකක් කරගෙන යන අතරතුර ඔහු කුමන මෝහන මට්ටමක සිටීදැයි දැන ගැනීම ඉතා වැදගත්. මෙය මෝහන මට්ටම පරික්ෂා කිරීම (testing) ලෙස හැඳින් වේ. සැහැල්ලු, මධ්‍යම, සොම්නා (සහ අනෙක් මට්ටම්ද) යන මට්ටම් හැඳින ගැනීමට යම් යම් ලක්ෂණ පවතී. මෙහිනුත් මධ්‍යම හා සොම්නැම්බ්‍යුලිස්ම් මට්ටම් දෙක ඉතාම වැදගත්ය.
මීට අමතරව ටෙස්ටිං එක ඩීප්නින් ටෙක්නික් එකක් ලෙසද ක්‍රියා කරනවා. ඒ කියන්නේ ඔහුව ටෙස්ට් කළ පසු, මෝහනවේදියා ලෙස ඔබට ඔහු සිටින මෝහන මට්ටම ගැන අදහසක් ඇති කර හැකි වෙනවා සේම, මෝහනලාභියාටද එය සංඥාවක් බවට පත් වෙනවා තමන්ට කුමක්දෝ අමුතු දෙයක් (එනම් මෝහනය) සාර්ථකව සිදුවෙනවා කියා. එවිට ඔහු වඩ වඩාත් ගැඹුරට මෝහනයට පත් වීමට නිරායාස පෙළඹවීමක් ඉන් ඇති වේ. ඇත්තටම සෑම ටෙස්ටිං එකකට පසුව “තවත් ගැඹුරු සැහැල්ලුවට පත් වෙන්න” කියා යෝජනා කරන්න. එය අනිවාර්යෙන්ම කියන්න.
මධ්‍යම මෝහනය හඳුනා ගැනීමට ඇති හොඳම ලක්ෂණය නම් යෝජනා මගින් කුඩා මාංශ පේශින් සැහැල්ලු කර අක්‍රිය කිරීමට ඇති හැකියාවයි. ඇස අවට ඇත්තේ එවැනි කුඩා මාංශ පේශීන්ය (ඇස් බෝල කැරකැවීමට, ඇසිපිල්ලන් ගැසීමට ආදිය මෙම කුඩා මාංශ පේශීන් ක්‍රියා කරයි). “දැන් ඔබේ ඇස් හා ඇස් අවට මාංශ පේශීන් සැහැල්ලුයි... ඒවා දැන් කොච්චර සැහැල්ලුද කිව්වොත් ඔබේ ඇස් විවෘත කරන්නට බැරි තරම් සැහැල්ලුයි” ආදී ලෙස යෝජනා කළ විට ඇස් අරින්නට බැරි වූවා නම්, ඉන් කියන්නේ ඔහු මධ්‍යම මෝහනයේ පසුවන බවයි. මාංශ පේශීන් එලෙස ක්‍රියා විරහිත භාවයට පත් වීම catalepsy ලෙස හැඳින් වේ.
සොම්නැම්බ්‍යුලිස්ම් මට්ටමේ සිටින බව දැන ගැනීමට ඇති හොඳම ලක්ෂණයක් නම්, යෝජනා මගින් යම් යම් දේවල් අමතක කරවීමට ඇති හැකියාවයි. උදාහරණක් ලෙස, ඔබට සියයේ සිට ආපස්සට එක දක්වා ගණන් කරන්නට කියා, එසේ ගණන් කරමින් යන විට, අතරමඟදී ඉලක්කම් අමතක වේවි කියා යෝජනා කළ විට, ඇත්තටම ඔහුට එසේ අමතක වේ නම්, ඔහු දැන් සිටින්නේ සොම්නා මට්ටමේ බව සිතිය හැකියි. මෙලෙස යෝජනා මගින් අමතක කරවීම hypnotic amnesia ලෙස හැඳින් වේ. (මෙය අනතුරු නිසා ඇතිවන ඇම්නීසියා නම් තත්වයට වඩා වෙනස්ය. හිප්නොටික් ඇම්නීසියා යනු තාවකාලික තත්වයකි.) ඊට අමතරව විශාල මාංශ පේශීන් සඳහා කැටලෙප්සි ඇතිවීමද තවත් ලක්ෂණයක්.
එනිසා, ඔබ විසින් අලුතින් සාදනු ලබන ඉන්ඩක්ෂන් ක්‍රමවලට ඉහත ටෙස්ටිං ක්‍රම ඇතුලත් කිරීම මගින් එය ඉතා අනර්ඝ සර්වසම්පූර්ණ ඉන්ඩක්ෂන් එකක් බවට පත් කර ගත හැකියි. ඔබ මෙම පොතෙන් උගත් සියලු ඉන්ඩක්ෂන් ක්‍රමවල ටෙස්ටිං ඇතුලත් කර ඇත. ඇත්තටම මෙවැනි විද්‍යාත්මක ක්‍රමයකට සාර්ථක කෙටි ඉන්ඩක්ෂන් ක්‍රමය ලොවට හඳුන්වාදුන් පුරෝගාමියා තමයි ඩේව් එල්මන්. එනිසා ඔහු ගැනත් කෙටියෙන් හෝ දැන හැඳිනගමු.
වර්ෂ 1900 දී උපන් ඔහු 1967 දී මිය ගියේය. ඇමරිකන් ජාතිකයෙකි. ඔහු රේඩියෝ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු, ගීත රචකයකු, විකට ශිල්පියකු ලෙස ක්‍රියා කළ අතර, වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ විශිෂ්ඨ මෝහනවේදියකු ලෙසයි. ඔහුගේ සත්‍ය නම වූයේ ඩේවිඩ් කොපෙල්මන් (David Kopelman) යන්නයි. එහෙත් ඔහුගේ විනෝදාස්වාද මහජන දර්ශනයන් සඳහා නිර්මාණ කරන බැනර්වල සඳහන් කිරීමට Kopelman යන්න Elman ලෙස කෙටි කර ගත්තේය. ඊට අමතරව ඩේවිඩ් යන නම කොහොමත් කෙටියෙන් සුද්දන් කියන්නට පුරුදුව ඇත්තේ ඩේව් ලෙසයි (හරියට ගුණපාලට ගුණේ යනුවෙන් ලංකාවේ අය හඳුන්වන්නා ලෙසම).


ඔහුගේ පියා පිළිකා රෝගයකින් මිය ගියේය. පියා මියැදෙන්නට පෙර ජීවත්ව සිටි කාලයේ පිළිකාවෙන් ඇතිවන දරුණු වේදනාව සමනය කර ගැනීමට පියා වෙනත් මෝහනවේදියකුගෙන් ප්‍රතිකර්මයන් සිදු කර ගත්තේය. කුඩා ඩේවිඩ් පළමුවරට මෝහනය ගැන අදහසක් ඇති කර ගත්තේ එම අත්දැකීම් සමගයි. ඔහු ඔහුට පෙර සිටි මෝහනවේදීන්ගේ දැනුම හොඳින් අධ්‍යනය කර, ඉන් නොනැවතී දහස් ගණන් පිරිසකට මෝහන ප්‍රතිකාර සිදු කළේය. ඒ සමගම ඔහුගේම න්‍යායන් හා ක්‍රමවේද නිර්මාණය කරගෙන ඒවා රටපුරා ඉගැන්වීමද සිදු කළේය. ඔහුගෙන් මෝහනය ඉගෙනීමට පැමිණියේ වෛද්‍යවරුන් හා බොහෝ උගත් අයයි. එයින් ඔහුට විශාල ගෞරවයක් මෙන්ම පිළිගැනීමක් ලැබුණි. ඔහුගෙන් මෝහනවේදයට ලැබුණු වටිනාම දායාදය නම් එල්මන් ඉන්ඩක්ෂන් එකයි. ඔහු විසින් Hypnotherapy නම් වටිනා පොතක්ද ලියා ඇත. තවද, ඔහුගේ බොහෝ ඉගැන්වීම් සම්මන්ත්‍රණ පටිගත කර තිබේ.

ඩේව් එල්මන්ගේ වටිනා පැරණි පටිගත කළ හඩපටවලින් එකක් පමණක් මා පහත අමුනා ඇත.

https://drive.google.com/file/d/0B_ZPPcHU-jw4RHI5em4tMXJTUkk/view?usp=sharing 

Hypnosis (mohanaya) ...

මවිසින් ඉංග්‍රිසි බසින් ලියා ඇමසන් හි ප්‍රකාශයට පත් කළ මෝහනය මුල සිට ක්‍රමානුකූලව උගන්වන අත්පොත පහත ලින්ක් එක මත ක්ලික් කර දැන් නිවසටම ගෙන්වා ගත හැකිය.

https://www.amazon.com/dp/B0851MHRSM

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,