Monday, September 24, 2018

කොළඹ කොටස් වෙළඳපොල (CSE) - 2


තැන්පතු හා ආයෝජන
ඔබ හෝ වෙනත් ඕනෑම කෙනෙකු හෝ හැමවිටම බලන්නේ තමන් සතු මුදල් (හා සම්පත්) වලින් උපරිම ප්‍රතිලාභ/ප්‍රයෝජන ලබන්නනෙ. ඉතිං, මුදල් තිබෙන කෙනෙකුට ඒ සඳහා ප්‍රධාන මාර්ග 2ක් ඇත - තැන්පතු හා ආයෝජන.
 
තැන්පතු (deposit) යනු තමන් සතු මුදල් යම්කිසි සුරක්ෂිත ආයතනයක දමා ඉන් යම් පොලියක් ලබා ගැනීමයි. ඒ සඳහා නීත්‍යානුකූලව ඇති පහසුතම හා සුරක්ෂිතම ක්‍රමය වන්නේ යම් බැංකුවක හෝ මුදල් තැන්පතු ලබා ගත හැකි නීත්‍යානුකූල මූල්‍ය සමාගමක එම මුදල් තැන්පත් කිරීමයි. ඉනුත් සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිනුමක (savings account) නොදා, ස්ථිර තැන්පතුවක (fixed deposit) තැන්පත් කිරීම තමයි සාමාන්‍යයෙන් සිදු වන්නේ මොකද ස්ථිර තැන්පතු සඳහා ඉහල පොලියක් ලැබේ. මෙහිදී වැඩියෙන්ම පොලිය ලබා දෙන්නේ කවුද යන්න සේම, අදාල ආයතනයේ ස්ථාවරත්වය හා විශ්වාසදායි බව ගැනද සෙවිය යුතුය. තැන්පතුවක ඇති වාසිය වන්නේ මුදල තැන්පත් කළ පසු තමන්ට ඒ ගැන වද වෙවී ඉන්නට දෙයක් නොමැති වීමත්, කලට වෙලාවට නියමිත පොලිය ලැබීමත්, අවශ්‍ය වෙලාවට ඉක්මනින් තම මුදල ආපසු ලබා ගැනීමට (withdraw) ඇති හැකියාවයි.
 
එහෙත් තැන්පතුවලට වඩා වැඩි ප්‍රතිලාභ ලැබිය  හැකි ක්‍රමයක් වන්නේ ආයෝජන (investment) වේ. එහිදී තමන් ඉබේම ව්‍යාපාරිකයකු බවට පත් වේ. තම ලාභය වැඩි කර ගැනීමට හෝ තියුණු තරගකාරිත්වය යටතේ තම ව්‍යාපාරය දිගටම ලාභ ලබන මට්ටමින් තබා ගැනීමට හෝ බොහෝ වෙහෙස විය යුතුය (අර තැන්පතුකරුවන් සේ විශ්‍රාම සුවයෙන් සිටීමට බැරිය). ස්ථිර ලෙසම කලට වෙලාවට පොලියක්/ලාභයක් නොලැබේ. කොටින්ම කියතොත් බිස්නස්කාරයකු මෙන් හැසිරීමට සිදු වේ. එහෙත් මේ සියල්ල හොඳින් කළ හැකි වුවොත් යෙදවූ මුදලට සාපේක්ෂව ඉතා විශාල ලාභ ඉපැයිය හැකිය. ඒකනෙ ඉතිං සමහර මිනිසුන් බිස්නස් කරන්නෙත්.
 
මේ අනුව, කොටස් වෙළඳපොල යනු තැන්පතු ක්‍රමයක් නොව ආයෝජන ක්‍රමයකි. එහෙත් අර සාම්ප්‍රදායික ආයෝජන ක්‍රමයට (එනම් සාමාන්‍ය බිස්නස් කිරීම) වඩා එය වෙනස්ය. තැරැව්කරුවන් සිටින නිසා ඔබට එය තැන්පතු ක්‍රමයක් වැනි හැඟීමක් ඇති කරයි. ඔබට කරන්නට තියෙන්නේ තැරැව්කරුවන් කියන උපදෙස් පිලිපැද තම මුදල් “තැන්පත්” කිරීමයි. එහෙත් ඔබ තැරැව්කරුවන් කියන දේ පිලිපැදීමට බැඳී නැත. ඔබට කැමති තීරණ ඔබට ගත හැකිය. සමහරුන් ඇත්තටම තැරැව්කරුවන් කියන දේ ගණන් නොගෙන තමන් විසින්ම තීරණ ගෙන ක්‍රියාත්මක වේ. හැබැයි ඒ සඳහා කොටස් වෙළඳපොල, ලෝක හා රටේ ආර්ථික දේශපාලන ප්‍රවණතා ගැන ආදිය ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුය.
 
තැන්පතු හා ආයෝජන යන ක්‍රම දෙකක් තිබෙන විට, ඔබ තෝරා ගන්නේ කුමක්ද? එයනෙ වැදගත්ම ප්‍රශ්නය. කෙටිම පිලිතුර නම් වැඩිම ප්‍රතිලාභ ලැබෙන තැනක ඔබ මුදල් යෙදවිය යුතු බවයි. එහෙත් එහිදී ඔබට මුහුන දෙන්නට සිදු වන අවදානම (risk) ගැනද සැලකිලිමත් විය යුතුයි. ඔබ දන්නවා ලෝක න්‍යායක් තිබෙනවා ප්‍රතිලාභ වැඩිවන තරමට අවදානමද වැඩි වෙනවා කියා. එත්‍යයකි. ඔබ බුද්ධිමත් නම් හා මොලය වෙහෙසා වැඩ කිරීමට හැකි නම් ආයෝජන මාර්ගය ඔබට උචිත වේ.
 
එනිසා කොටස් වෙළඳපොලේ වේවා වෙනත් ආයෝජන ක්‍රමයක් වේවා, මෙන්න මෙම සරල “සූත්‍රය” මතක තබා ගන්න. ඔබ රටේ පිළිගත් හොඳම බැංකු කිහිපයක් තෝරා ගෙන එම බැංකුවල ස්ථිර තැන්පතු සඳහා ලැබෙන දළ වාර්ෂික පොලිය සොයා ගන්න. අපි සිතමු ලංකා බැංකුවේ එම පොලිය මේ කාලයේදී 12%ක් කියල. ඉතිං, ඔබ ආයෝජනයක් කරනවා නම් එම කාල පරාසයක් තුල, අනිවාර්යෙන්ම 12% කට වඩා වැඩි ප්‍රතිශතයක ප්‍රතිලාභයක් තමන් යෙදූ  මුදලට ලැබෙන ආයෝජන පමණක් තෝරා ගත යුතුය. මඳක් සිතා බලන්න ඔබට මුදල් තැන්පත් කර “චූන් එකේ” ඉඳන් ලැබෙන පොලියටත් වඩා අඩු ප්‍රතිලාභයක් නම් ලැබෙන්නේ මහන්සිවෙලා “මොලේ රත් කරගෙන” කරන ව්‍යාපාරයකින්, මොන “බම්බුවකටද” එවැනි ආයෝජනයක නිරත වෙලා ඉන්නේ? ක්‍රමය හරිම සරලයි නේද?
 
මුදල් තරමක් හෝ තිබෙන මිනිසුන්ම ආයෝජන මාර්ගයට හෝ තැන්පතු මාර්ගයට පෙළඹවීමට හැකියාවක් රජයට ඇත. උදාහරණ ලෙස, බැංකුවල තැන්පතු පොලී අනුපාත ඉහල දමන විට (එවිට ඉබේම රටේ වෙනත් පොලී අනුපාතද ඉහල යයි; ඉන් බිස්නස් කරුවන් ණය ගැනීමට මැලිකමක් දක්වන අතර, ව්‍යාපාර වැඩිදියුණු කිරීම මන්දගාමී වේ), මුදල් තිබෙන අය තම මුදල් තැන්පත් කිරීමට තමයි උත්සුක වන්නේ. එලෙසම පොලී අනුපාත අඩු වන විට මිනිසුන් වැඩි ප්‍රතිලාභ ලැබෙන ක්‍රම සොයයි. පොලී අඩු නිසා තව ණයද බැංකුවලින් ගෙන ව්‍යාපාර කිරීමටද (එනම් ආයෝජනයට) පෙළඹේ.


කොළඹ කොටස් වෙළඳපොල
ඒ ඒ ගමට/නගරයට බොහෝවිට වෙන වෙනම සති පොලක් තිබෙන්නා සේ, ඒ ඒ රටට තමන්ගේම කොටස් වෙළඳපොලක් ඇත. ඇමරිකාව වැනි රටක කොටස් වෙළඳපොලවල් කිහිපයක්ද ඇත (නමුත් බොහෝ රටවල තිබෙන්නේ එකයි). සාමාන්‍යයෙන් කොටස් වෙළඳපොල නම් කරන්නේ එය පිහිටා තිබෙන නගරයේ නමිනි (බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුව විශ්ව විද්‍යාලද නම් කෙරෙන්නේ එසේය; ඒකනෙ කැලනිය විශ්ව විද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලය, පේරාදෙනිය විශ්ව විද්‍යාලය ආදි ලෙස ඒවා නම් කෙරෙන්නේ). ඒ අනුව ලංකාවේ කොටස් වෙළඳපොල පිහිටා තිබෙන්නේ කොලඹ නිසා, එය කොළඹ කොටස් වෙළඳපොල (Colombo Stock Exchange – CSE) ලෙස නම් කෙරේ. 
 
කීල්ස් සුපර් ආදි ලෙස සුපර්මාකට් මෙන් කොළඹ කොටස් වෙළඳපොලද ව්‍යාපාරයකි. එනිසා එයද සමාගමක් ලෙස රටේ පවතින නීතියට අනුව ලියාපදිංචි කර ඇත. කොටස් වෙළඳපොල තුල සිදුවන ගනුදෙනුවලින් කුඩා ප්‍රතිශතයක් (කොමිස් මුදලක්) ඔවුන්ගේ ලාභය ලෙස තබා ගනී. ලොව විශාලතම කොටස් වෙළඳපොල නිව්යෝර්ක් කොටස් වෙළඳපොල වන අතර, පැරණිතම එකම වන්නේ ඇම්ස්ටර්ඩෑම් කොටස් වෙළඳපොලයි.
ඉතිං, එක පැත්තකින් ලැයිස්තුගත සමාගම්වල කොටස් ඇත. අනෙක් පසින් එම කොටස් මිල දී ගැනීමට ආයෝජකයෝ ඇත. ඒ අනුව ඉල්ලුම හා සැපයුම න්‍යාය මත (එනම්, ඉල්ලුම වැඩි වන විට මිල ඉහල යෑම), විවිධ මිල ගණන් වලට විවිධ කම්පැනිවල කොටස් විකිනේ. සඳුදා සිට සිකුරාදා දක්වා දිනවල උදේ 9.30 සිට සවස 2.30 දක්වා කොලඹ කොටස් වෙළඳපොලේ “වෙළඳාම” සිදු වේ.

තැරැව්කරුවන්
ලංකාව තුල කොටස් වෙළඳපොලේ ගනුදෙනු කිරීමට ඔබට ඍජුවම බැරිය. එනම්, ඔබට බැහැ කෙලින්ම කොම්පැනිවල කොටස් අර කඩෙන් බඩු ගන්නවා මෙන් කොටස් වෙළඳපොල තිබෙන භූමියට ගොස් මිලට ගන්නට. ඇත්තටම, කොටස් වෙළඳපොලේ ඔබ සිදු කරන සියලුම ගනුදෙනු තැරැව්කරුවකු (stock broker) හරහා පමනක් සිදු වේ. දැනට එවැනි ලියාපදිංචි තැරැව්කරුවන් විසිතිස් ගණනක් සිටී. එම තැරැව්කරුවන් නියාමනය කරන්නේද විනිමය කොමිෂම විසිනි.
 
ඒ අනුව, ඔබ අලුතින් කොටස් මිලට ගන්නවා නම්, ඔබ තෝරාගත් තැරැව්කාර ආයතනයට උපදෙස් දිය හැකියි අහවල් කම්පැනියෙන් අච්චර කොටස් ප්‍රමාණයක් අහවල් මිලගණන්වලට ගන්නට කියා. තැරැව්කාර ආයතනය බැඳී සිටිනවා එය ඔබ වෙනුවෙන් සිදු කිරීමට. එලෙසම ඔබ සතුව දැනට ඇති කොටස් විකුනන්නට අවශ්‍ය විටත්, ඔබ විසින් තැරැව්කරුට උපදෙස් දිය යුතු වෙනවා තමන්ගේ අහවල් කම්පැනියේ කොටස් අච්චරයක් මෙච්චර මිල ගණන්වලට විකුනන්න කියා. 
 
තවද, කොටස් වෙළඳපොල පිලිබඳ නවතම දත්ත සංඛ්‍යා ලේඛනද ඔබට ඔබේ තැරැව්කරුගෙන් ලබා ගත හැකිය. ඔබට අවශ්‍ය විශේෂඥ උපදෙස්ද ඔවුන්ගෙන් නොමිලේ ලබා ගත හැකිය. තවද, කොටස් වෙළඳපොලට ආයෝජකයන් ලියා පදිංචි කරන්නේද තැරැව්කරුවන් විසිනි. එලෙසම, කොටස් වෙළඳපොල වෙනුවෙන් මුදල් ගනුදෙනු ඇත්තටම හුවමාරු වන්නේද තැරැව්කරු හරහාය. සෑම දිනකම කොටස් වෙළඳපොල හා රටේ සමස්ථ ආර්ථිකය ගැන ඔවුන් සමීක්ෂණ සිදු කරයි. එම තොරතුරු අනුව තමයි ඔබට උපදෙස් ලැබෙන්නේ. 
 
ඒ අනුව, ඔවුන්ගේ විවිධ සේවා ඇත. ඇත්තටම තැරැව්කාර ආයතන තිබීමේ වැදගත්කමද එයයි. කොටස් වෙළඳපොල තුල ආයෝජනය කරන්නට එන සෑම දෙනාම එක සේ ඒ ගැන හොඳ දැනුමක් අවබෝධයක් තිබෙන අයම නොවේ. ඉතිං, තැරැව්කරුවන් සිටීමෙන් එම අඩුපාඩුව මඟ හැරේ. සාමාන්‍යයෙන් එම තැරැව්කරුවන් විසින් ඔබට වැරදි තොරතුරු හා උපදෙස් ලබා නොදේ.
 
රට හොරු විසින් පාලනය වන සමයන්වල හා නීතියේ ආධිපත්‍ය දුර්වල කාලවලදී, අනෙක් සියලු සමාජ ස්ථරයන් සේම, මෙම තැරැව්කාර සමාගම්ද හොර වැඩ කළ හැකිය. එනම්, යම් යම් තෝරාගත් බලවත් ධනවත් අයට වාසි වන අයුරින් අතිශය බහුතර ආයෝජකයන්ව අමාරුවේ දැමිය හැකිය. මෙවිට ප්‍රබුද්ධ ස්වාධින යැයි සලකන විනිමය කොමිෂමද දූෂිතව වැඩ කරයි. “අප්පොච්චා රජ කළ” පසුගිය “රජ සමයක” එසේ සිදු විය. එනිසා පෞද්ගලිකව මා හට ලංකාවේ කොටස් වෙළඳපොල ගැන තිබූ ගෞරවාන්විත හැඟීම නැත්තටම නැති වී ඇත. ආයෝජකයන්ගේ විශ්වාසය කොටස් වෙළඳපොල තුල අත්‍යවශ්‍ය අංගයකි.
 
තැරැව්කරුවන් මේ දේවල් කරන්නේ නොමිලේ නොවේ. ඔවුන්ට යම් කොමිස් මුදලක් ලැබේ. ඒ කියන්නේ ඔබ කොටස් මිලට ගන්නා හා විකුනන සෑම විටම ඉතා කුඩා ප්‍රතිශතයක කොමිස් මුදලක් තැරැව්කරුට ලැබේ. එය නීතියෙන් අනුමත කර ඇති නිශ්චිත ප්‍රමාණයකි.

ආයෝජකයන්ගේ ලියාපදංචිය
කොටස් වෙළඳපොල තුල මූලිකව කණ්ඩායම් දෙකක් සිටින බව පෙනේ.

       1.      ආයෝජකයෝ
       2.      කොටස් විකුනන ලැයිස්තුගත සමාගම්

ආයෝජකයෝ රුපියල් කෝටි ගණන් ආයෝජනය කරන ඉතා ධනවත් පුද්ගලයන් විය හැකිය. රුපියල් දහා දෙදහා ආයෝජනය කරන “දුප්පත්” ආයෝජකයන් විය හැකිය. කවුරුන් වුවද, ඔවුන් වෙළඳපොල තුල ගනුදෙනු කිරීමට කොටස් වෙළඳපොල තුල ලියා පදිංචි විය යුතුය. ලියාපදිංචිය පහත ආකාරයට සිදු කෙරේ. මේ සඳහා ඔබට කිසිදු මුදලක් අය නොකෙරෙන අතර, අවශ්‍ය නම් තැරැව්කරුවන් කිහිප දෙනෙකු ළඟම රෙජිස්ටර් විය හැකිය. 

       1.      වයස 18 ට වැඩි නම්, තමන්ගේ ජාතික හැඳුනුම්පත හා එහි කොපියක් සමඟ කොටස් වෙළඳපොලේ තැරැව්කාර ආයතනයකට යා යුතුය.

තැරැව්කරුවන් සියල්ලන්ගේම මූලස්ථාන පිහිටා තිබෙන්නේ කොළඹය. ඊට අමතරව, රට පුරා ප්‍රධාන නගරවල ඔවුන්ගේ ශාකා තිබිය හැකිය. ඉතිං, එවැනි ළඟම ඇති ශාකාවකට වුවද යා හැකිය.

තවද, තැරැව්කාර ආයතන සියල්ලම කරන්නේ එකම රාජකාරිය වුවත්, ඔවුන්ගේ සේවාවල ගුණාත්මක බව වෙනස් විය හැකිය. සමහරුන් වැඩි සැලකිලි දක්වන්නේ පොහොසත් අයටයි. සමහරුන් ප්‍රතිචාර දක්වන්නේ අලස විදියටයි. ඉතිං, ඔබ තැරැව්කාර ආයතන කිහිපයක් සමඟම කටයුතු කර බලන්න. දන්න අය සමඟද කතා බහ කර හොඳ කවුද යන්න සොයා බලන්න.

සමහර තැරැව්කරුවන් ඔබට පරිගනකය හරහා නිවසේ සිටම “ඍජුවම” කොටස් මිලට ගැනීමට, විකිනීමට හැකි ඔන්ලයින් පහසුකමද ලබා දේ. මා පෞද්ගලිකව මෙම පහසුකම අවශ්‍ය දෙයක් ලෙස සලකන නිසා මෙම පහසුකම සපයන තැරැව්කරුවකු ළඟයි මා නම් ලියාපදිංචි වන්නේ. මේ ගැන තවදුරටත් පසුවට විමසා බලමු.

       2.      ඉන්පසු තැරැව්කරු විසින් සපයන ෆෝර්ම් එකද නිවැරදිව පුරවා, හැඳුනුම්පතේ කොපියද සමඟ ඔවුන්ට භාර දෙන්න. ඔබට කොටස් වෙළඳපොලේ ලියාපදිංචිය ලැබේවි.

මෙවිට ඔබට කොටස් වෙළඳපොලේ ගිනුමක්ද (account) විවෘත වේ (හරියට බැංකු ගිනුමක් වගේ). ඔබ කොටස් වෙළඳපොලේ සිදු කරන සියලු ගනුදෙනු පිළිබඳ විස්තර මෙම ගිනුමේ සටහන් වේ.

ඇත්තටම කොටස් වෙළඳපොල තුල වෙනමම ස්වාධීන ගිනුම් පද්ධතියක් තිබෙනවා “මධ්‍යම තැන්පතු පද්ධතිය” (Central Depository System – CDS) නමින්. මෙම පද්ධතියද වෙනමම කොම්පැනියක් ලෙස පවතී. එම සමාගමේ අයිතිය කොළඹ කොටස් වෙළඳපොල සතු වේ. ආයෝජකයන්ගේ හා ලැයිස්තුගත සමාගම්වල ගනුදෙනු සටහන් වන්නේ (බැංකුවකදී මෙන්) මෙම පද්ධතිය තුලයි. එනිසා, තැරැව්කරු ඔබ වෙනුවෙන් විවෘත කරන ගිනුම ඇත්තටම CDS ගිනුමකි.

ඉහත ආකාරයට ඉතා පහසුවෙන් ඔබට කොටස් වෙළඳපොලේ ලියාපදංචි විය  හැකිය. එලෙසම පොදු සමාගම්ද SEC ගේ කොන්දේසි සපුරමින් කොටස් වෙළඳපොල තුල ලියාපදිංචියක් සිදු වේ. හැබැයි එය සිදු වන්නේ තැරැව්කාර ආයතන හරහා නොව, ඍජුවම වේ.

මූලික කොටස් නිකුතුව
යම් පොදු සමාගමක් ඉහත පැවසූ ලෙස කොටස් වෙළඳපොල තුල ලියාපදංචි වී නිකං සිටිය නොහැකිය. ඔවුන්ගේ කොටස් දැන් වෙළඳපොලට නිකුත් කළ යුතුය. යම් සමාගමක් එලෙස පළමු වරට කොටස් වෙළඳපොලට තම කොටස් නිකුත් කිරීම මූලික කොටස් නිකුතුව (Initial Public Offering – IPO) ලෙස හැඳින් වේ. එය සිදු කරන්නේද අපූරු ආකාරයකට වන අතර, මෙහිදී පුදුමෙට මෙන් කොටස් වෙළඳපොලෙන් පරිභාහිරවයි එම කටයුත්ත සිදු වන්නේ. ඒ කෙසේද?
 
යම් සමාගමක් දැන් තීරණය කරනවා තමන්ට කොතරම් මුදලක්/අරමුදලක් අවශ්‍ය වන්නේද වග. අපි සිතමු එම අරමුදල රුපියල් කෝටියක් කියා. ඉන්පසු ඔවුන්ගේ කැමැත්ත පරිදි එය කොටස් කරනවා. සිතමු ඔවුන් එය කොටස් (ෂෙයාර්ස්) 100,000 කට කඩනවා කියා. එවිට කොටසක මිල රුපියල 100කි. දැන් ඔවුන් කරන්නේ ලංකාවේ බැංකුවක් හරහා එම කොටස් මිලට ගන්නා මෙන් රටේ පොදු ජනයාට ආරාධනා කිරීමයි. එම ආරාධනාව පත්තර හා ජනමාධ්‍ය ඔස්සේ යවනවා. ඊට අමතරව, කොටස් වෙළඳපොලේද මෙම තොරතුරු ප්‍රචාරය කරනවා. ඒ සමඟම එම සමාගම විසින් තම සමාගමේ “කෙරුවාව” පිළිබඳ විස්තරයක්ද ඉදිරිපත් කරනවා. එය prospectus ලෙස හැඳින්වෙනවා. ඉස්සර ලස්සන පොඩි පොතක් ලෙස සකස් කර ලබා දුන් මෙය, අද වියදම් අඩු කිරීමට අන්තර්ජාලය හරහා PDF file එකක් ලෙස ලබා දේ.
 
දැන් ඒ ගැන උනන්දු ආයෝජකයන් අර පොත කියවා සමාගම ගැන පැහැදී ඊට තම මුදල් ආයෝජනය කිරීමට කැමැත්ත ඇති කර ගන්නවා. ඉතිං සිතමු ඔබ එම සමාගමේ රුපියල් ලක්ෂයක් ආයෝජනය කිරීමට සිතනවා කියා. ඒ කියන්නේ ඔබට කොටස් 1000ක් අවශ්‍යයි. දැන් ඔබ කරන්නේ එම බැංකුවට ගොස් අර සමාගමේ කොටස් අච්චරක් ගැනීමට කැමති යැයි පවසා අවශ්‍ය ෆෝර්ම් එක පිරවීමයි. දැන්ම සල්ලි දීමට අවශ්‍ය නැහැ මොකද ඔබට කොටස් දෙනවාද නැද්ද කියා තීරණය කරන්නේ අදාල සමාගම විසිනි. එනිසා, ඔබ බැංකුවට සල්ලි නොදී, ඒ වෙනුවට තමන් අර තමන්ට අවශ්‍ය කොටස් ගණන මිලට ගන්නා බව තහවුරු කිරීමට බැංකු ගැරන්ටියක් ලබා දෙනවා.
 
මෙලෙස ඔබ වැනිම තවත් සිය දහස් ආයෝජකයන් පිරිසක් එය සිදු කරාවි. මෙලෙස ඔබට ඉල්ලුම් කළ හැකි කාල සීමාවක් තිබෙනවා. එය අවසානයේ, බැංකුව සියලු විස්තර කොම්පැනියට ලබා දෙනවා. මෙහිදී විවිධ අය විවිධ ප්‍රමාණයෙන් කොටස් ඉල්ලා සිටීමට හැකියි. බොහෝවිට (කොම්පැනිය හොඳ එකක් නම්), මෙලෙස ඉල්ලුම්කර ඇති කොටස් ගණන එකතු කර බැලුවහම ඔවුන් ඉදිරිපත් කර ඇති කොටස් ගණනටත් වඩා වැඩි වෙවි. ඒ කියන්නේ ඉතා හොඳ ඉල්ලුමක් තිබෙන බවයි. මෙය oversubscription එකක් යැයි කියනවා. සමහරවිට ඉල්ලුම් කර ඇති සියලු කොටස් ගණන කොම්පැනිය ඉදිරිපත් කර තිබෙන කොටස් ගණනට වැඩිය අඩු වියද හැකියි; මෙය undersubscription ලෙස හැඳින්වේ. ඉතිං, දැන් කොම්පැනිය ඒ එක් එක් ඇප්ලිකේෂන් එක බලා ඒ ඒ අයව තෝරා ගන්නවා හරියට ආයතනයකට සේවකයකු බඳවා ගන්නා විට තෝරා ගන්නවා වගේ. 
 
එලෙස තෝරා ගත් අයට දැනුම් දෙනවා ඒ ඒ අයට මුදල් ගෙවන ලෙස. සමහරවිට ඔබ ඉල්ලූ කොටස් ප්‍රමාණයම ඔබට නොලැබී යන්නටත් පුලුවන්. ඒ වෙනුවට ඔවුන් ඔබට ඊට වඩා අඩු කොටස් ගණනක් මිලදී ගන්න යැයි යෝජනා කර තිබෙන්න පුලුවන්. ඉතිං, ඔබ ඔවුන්ගේ යෝජනා සමඟ එකඟ නම් මුදල් ගෙවා කොටස් ටික මිලට ගත හැකියි.
 
බෝහෝ අය ඇත්තටම කොටස් මිලට ගන්නේ මෙලෙස ipo එකකින් නොවේ. එනිසා ඔබට මෙම තොරතුරු එතරම්ම වැදගත් නොවන්නටත් පුලුවන්. ඔබ දකින්නට ඇති මෙම ක්‍රියාවලිය තුල කොටස් වෙළඳපොල සම්බන්ද වූයේ නැත. කොටස් වෙළඳපොල සම්බන්ද වන්නේ මෙතනින් පසුවයි. එනම්, එලෙස මූලික කොටස් නිකුතුවකින් ලබා ගත් කොටස්, දැන් ඒ ඒ ආයෝජකයන් විසින් කොටස් වෙළඳපොල තුලට ගෙන ආ යුතුය. ඒ සඳහා නැවත තැරැව්කරුවන් හරහා එය සිදු වේ. ඒ අනුව යම් කාලයක් ගත වන විට, මූලික කොටස් නිකුතුවකින් නිකුත් කළ සියලු කොටස් කොළඹ කොටස් වෙළඳපොල තුල සටහන් වේ. නියම කොටස් ගනුදෙනු සිදු වන්නට පටන් ගන්නේ මෙතැන් සිටය. එනම්, දැන් ඔබ එලෙස මූලික කොටස් නිකුතුවකින් ලබා ගත් කොටස්, වෙන අයට විකුනා දැමිය හැකිය. ඒ කියන්නෙ කොටස් වෙළඳපොල තුල එම කොටස් එකිනෙකා අතරේ විකුනා දැමිය හැකිය.
 
ඇත්තටම, සෑම සමාගමක්ම එලෙස මූලික කොටස් නිකුතුවක් පළමු වරට සිදු කළ යුතුය. එහෙත් එතැන් සිට එම සමාගම නැවත එය කරන්නේ නැත. සමාගමට අවශ්‍ය නම් කාලින් කාලෙට තව තවත් කොටස් නිකුත් කළ හැකි අතර, එම කොටස් කෙලින්ම කොටස් වෙළඳපොල තුල සමාගම විසින්ම විකුණා දමයි.

කොටස් ගනුදෙනු හා කොටස්වල මිල ඉහල පහල යෑම
ඉහත විස්තර කළ ආකාරයට විවිධ ලැයිස්තුගත සමාගම් තම තමන්ගේ කොටස් විවිධ  මිල ගණන් යටතේ නිකුත් කළ පසු, එම මිල ගණන් එලෙසම පවතින්නේ නැත. එහෙත් ඊට පෙර ආයෝජකයන් කොටස් මිලට ගන්නේ ඉන් ලාභ ඉපැයීමට බව සිහිතබා ගන්න (ඒ අතර පාඩුද සිදු වේ). ඔබ යම් සමාගමක කොටස් ලබා ගත් පසු, එම සමාගමේ කොටස්හිමියෙක් (අයිතිකාරයෙකු) බවට පත් වේ. එනිසා, වසර අවසානයේ ලාභ බෙදන විට, ඔබට හිමි කොටස් ගණන අනුව ලාභාංශ හිමි වේ. ඇත්තටම කොටස් වෙළඳපොල තුල දෙයාකාරයකින් ලාභ ඉපැයිය හැකිය.
 
      1.      ඉහත පැවසූ ආකාරයට තමා සතු කොටස් ගණනට ලාභාංශ හිමි කර ගැනීම. ඇත්තටම කොටස් වෙළඳපොල තුල සැබෑ ආයෝජන ලෙස සලකන්නට සිදු වන්නේ මේවා තමයි. එලෙස යම් සමාගමකින් කොටස් ලබා ගත් පසු, සමහරවිට වසර ගණනක් එම කොටස් තබා ගනී. එම කාල තුලදී ලාභාංශ ලබා ගනී. විශාල ආයෝජකයන් සිදු කරන්නේ මෙයයි.

ඇත්තටම ඔබ යම් සමාගමකින් කොටස් මිල දී ගත් පසු, ඔබ එහි අයිතිකරුවකු වුවත්, ඔබට ඔබේ අයිතිය බලාත්මක කිරීමේ හැකියාව ලැබෙන්නේ ඔබ සතු කොටස් ගණන අනුවයි. වැඩි වැඩියෙන් කොටස් ඔබ ගන්නේ නම්, වැඩි වැඩියෙන් බලයක් එම සමාගමෙන් ඔබට ලැබේ. වැඩියෙන්ම කොටස් තිබෙන අය තමයි සමාගමක අධ්‍යක්ෂකවරු (directors) බවට පත් වන්නෙත්. ඔබ දන්නවා ආයතනයක පාලනය සිදු කරන්නේ අධ්‍යක්ෂකවරුන් පිරිසක් (අධ්‍යක්ෂක මණ්ඩලය - director board) මඟිනි. ඉතිං, කොම්පැනියක් වසරක බිස්නස් කර ලාභය බෙදන අයුරු තීරණය කරන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය විසිනි.

ඉතිං, සමහර අවස්ථාවලදී අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කළ හැකියි ලාභ ලැබුවත් එම සම්පූර්ණ ලාභය කොටස්හිමියන් අතර බෙදා නොදීමට. සමහරවිට කිසිදු ලාභාංශයක් නොගෙවීමටද හැකියි. සමාගමක් එය සමහරවිට සිදු කරන්නේ එම ලාභය (එසේ රඳවා ගත් ධනය retained profit හෝ retained earnings ලෙස හඳුන්වනවා) නැවත සමාගම දියුණු කිරීමට ආයෝජනය කිරීමටයි. එය හොර වැඩක් නම් නොවේ මොකද එලෙස අඩුවෙන් ගෙවුවත් හෝ කිසිත් නොගෙවා සිටියත්, එම ලාභය කොටස්හිමියන්ට වෙනස් ආකාරයකින් දෙනවා. එනම්, ඔබට හිමි ලාභාංශයට සමානුපාතිකව ඔබට අමතර කොටස් ලැබෙනවා. මෙම අමතර කොටස් bonus shares ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස, ගණනය කළ විට ඔබට රුපියල් ලක්ෂයක ලාභාංශයක ලැබිය යුතු වුවත්, අර කියූ ලෙස අධ්‍යක්ෂක මණ්ඩලය එම ලාභය නොගෙවා සිටීමට තීරණය කළා යැයි සිතමු. කොටසක වටිනාකම රුපියල් 100ක් නම්, ඔබට දැන් බෝනස් කොටස් 1000ක් ලැබේවි. ඒ කියන්නේ දැන් ඔබ සතු කොටස් ගණන ඉහල ගොස් ඇත.

සමහර අවස්ථාවලදී යම් සමාගමක් වසරකට කිහිප වතාවක්ම ලාභාංශ ලබා දෙනවා. එවිට එලෙස වසර අවසානයට පෙර ලබා දෙන ලාභාංශ interim dividend ලෙස හැඳින්වෙනවා. එය එක්තරා විදියකට අර රැකියා කරන අය මාසය අවසානයේ පඩිය ලැබෙන්නට පෙර ඉල්ලා ගන්නා “ඇඩ්වාන්ස්” එක වැනිය.

     2.      ලාභ ලැබීමේ තවත් ක්‍රමයක් ඇත. මා මෙය  හඳුන්වන්නේ කොටස් වෙළඳපොලේ “සූදුව” ලෙසයි. එහිදී යම් සමාගමක කොටස් යම් ප්‍රමාණයක් යම් මිලකට මිලදී ගෙන, එම කොටස්වල මිල වැඩි වූ විට විකුණා දමයි. උදාහරණයක් ලෙස, ඔබ යම් සමාගමකින් කොටසක් රුපියල් 10 බැඟින් කොටස් 10,000ක් මිල ගෙන සතියකින් (හෝ පැය කිහිපයකින් වුවද) එම සමාගමේ කොටසක් රුපියල් 11ක් වූ විට, එම මිලට ගත් සියලු කොටස් විකුණා දමයි. එවිට එක කොටසකින් රුපියලක ලාභයක් ලැබෙන අතර, කොටස් 10,000කින් රුපියල් 10,000ක ලාභයක් ලබයි. මෙම ලාභය ප්‍රාග්ධන ලාභය (capital gain) ලෙස හැඳින්වෙනවා.

එහෙත් සමහර අවස්ථාවලදී ඔබ ලබා ගත් කොටස් ඔබ මිලදී ගත් පසුව ඒවායේ අගය අඩු වෙන්නට පුලුවන්. එවිට එම කොටස්වල අගයන් ඔබ අපේක්ෂා කළ ඉහල අගයට ළඟා වීමට විශාල කාලයක් ගත වීමටද පුලුවන්. එතෙක් ඉවසා සිටීමට බැරි නම්, ඔබට සිදු වේවි ගත් මිලටත් වඩා අඩුවෙන් එම කොටස් විකිනීමට. එවිට ඔබට ලැබෙන්නේ ප්‍රාග්ධන පාඩුවකි (capital loss).

ධනවතුන් හා ව්‍යාපාර කොටස් වෙළඳපොල තුල ආයෝජනය සිදු කළත්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, තරුණ පිරිස්, හා එතරම් ධනයක් නැති අය බොහෝවිට සූදුව සිදු කරයි. එහි වරදක් නැත. පෞද්ගලිකව මාද ඊට කැමතිය. එනිසා මෙම සූදූව සිදු කරන අයුරු පසුවට තවදුරටත් කතා කරමු.
මඳක් සිතා බලන්න. යම් සමාගමක් තමන්ගේ කොටස් පළමුවරට විකුණා දැමූ පසු, සමාගමට අවශ්‍ය කරපු මුදල් ටික ඔවුන්ට ලැබී තිබේ. එම මුදල්වලින් ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කර ගනී. ඉන්පසු ලැබෙන ලාභය කොටස්හිමියන් අතරේ බෙදා ගනී. එහෙත් කොටස්හිමියන් සදාකල්හිම එම කොටස් තබාගෙන සිටින්නේ නැත. විවිධ හේතු නිසා ඔවුන් එම කොටස් තව අයට විකුණා දැමීමට පෙළඹේ. උදාහරණ ලෙස, තමන්ට හෝ පවුලේ හෝ හිතමිතුරකුගේ අවශ්‍යතාවකදී මුදල් අවශ්‍ය වන විට, ඔවුන් සතු මෙම කොටස් විකුණා දැමිය හැකිය (හරියට තමන්ගේ රං භාණ්ඩ උකස් කරන්නා සේ; තමන්ගේ වාහනය විකුණා දමන්නා සේ). එසෙත් නැතිනම්, සමාගමෙන් ලැබෙන ලාභාංශය ප්‍රමාණවත් නැතැයි ඔහුට සිතිය හැකියි.
කෙසේ හෝ වේවා, ප්‍රායෝගික තත්වය නම්, කොටස් ගත් අය නිරන්තරයෙන්ම එම කොටස් විකිනීම සිදු කරයි. එවිට, ඒවා මිලට ගැනීමටද පිරිසක් සිටී. දැන් සැපයුමක් මෙන්ම ඉල්ලුමක් පවතී. ඒ කියන්නේ ඉල්ලුම සැපයුම න්‍යාය මෙතැන ක්‍රියාත්මක වේ. එවැනි අවස්ථා කිහිපයක් ඔබගේ වැටහීම වර්ධනය වීම පිනිස සලකා බලමු.

      1.      ඔබට ඉතා හදිසියෙන් මුදල් අවශ්‍ය වේ. ඔබ සතුව කොටස් ඇත. එම කොටස් ඔබ බොහෝවිට බලන්නේ ගත් මිලට වඩා වැඩිපුර වැඩිම මිලට දෙන්නයි. උදාහරණ ලෙස, ඔබ කොටසක් ගත්තේ රුපියල් 20 බැඟින් නම්, ඔබ කොටසක් 200ට හෝ ඊටත් වැඩි ගණනකට විකිනීමට කැමති වනු ඇත. එහෙත් ගැටලුව වන්නේ ඒවා මිලට ගැනීමට කවුරුත් අකමැති වීමයි. ඔබගේ හදිසිය වැඩිය. එනිසා ඔබ එය 21ට විකිනීමට දමයි. සමහරවිට එම මිලටද ගැනීමට අය නැති වීමට හැකියි. එවිට ඔබ ගත් මිලටම (එනම් 20) විකිනීමට දමයි. එවිටද ගැනීමට කවුරුත් නැතැයි සිතමු. දැන් හදිසිය නිසාම එලෙස ඔබ ගත් මිලට වඩා අඩු මිලට ඒවා ඉදිරිපත් කළ හැකිය. ඉතිං, යම් අවස්ථාවකදී ගැනුම් කරුවන් එම අඩු මිලට මිල දී ගනීවි. මෙහිදි ඇත්තටම ඔබට සිදු වූයේ පාඩුවකි (ගත් මිලටත් වඩා අඩු මිලට විකිනීම). එහෙත් අපගේ හදිසි අවශ්‍යතා වැඩි වුණාම එවැනි දේ සිදු වීම සාමාන්‍ය දෙයක් බව ඔබ අත්දැකීමෙන්ම දන්නවානෙ.

      2 .      සිතන්න ඔබ යම් සමාගමක දැනටමත් කොටස් යම් ප්‍රමාණයක් හිමිකර ගෙන තිබෙනවා කියා. ඔබට දැන්  සිතෙනවා එම සමාගමේ “ලොකු අයිතිකාරයෙක්” හෝ අධ්‍යක්ෂකවරයෙකු වීමට. එහෙත් ඔබ සතු කොටස් ප්‍රමාණය ඒ සඳහා ප්‍රමාණවත් නොවේ. එනිසා, ඔබට “කොහොම හරි” තව තවත් කොටස් ගැනීමට අවශ්‍ය වෙනවා. ටිකක් වැඩිපුර මිලට හරි ඔබ ගන්නයි හදන්නේ. එවිට, දැනට කොටස් තිබෙන අය පෙළඹෙනවා ඔබට වැඩි මුදලකට කොටස් විකුනන්නට.

     3.      කොටස් වෙළඳපොල තුල ආයෝජකයන් දස දහස් ගණනක් සිටිනවානෙ (වෙනත් රටවල නම් ලක්ෂ ගණන් සිටිනවා). ඉතිං, මේ සෑම දෙනාම සිතන විදිය එකාකාර නොවේ. ඔබට ඒ ගැන වැටහීමක් කළ නොහැකිය. ශක්‍රයටවත් එය කළ නොහැකිය. ඉතිං, බොහෝ අය කරන්නේ කොටස්වල මිල ඉහල පහල යන රටාව අධ්‍යනය කර, වැඩි ඉල්ලුමක් සහිත කොටස් මිලට ගැනීමයි. එලෙස පෙළඹීට සාධාරණ හේතුවක්ද ඇත. එනම්, බොහෝ පිරිසක් යම් සමාගමක කොටස් වැඩි වැඩියෙන් ගැනීමට පෙළඹෙන්නේ එම සමාගම මේ කාලයේ හොඳින් ලාභ උපයන හෝ උපයන්නට යන නිසා කියා අපට සිතෙනවා. යම් බඩුවක් අප දන්න කියන බොහෝ දෙනා ගන්නා විට, එය ගැනීමට අපටත් සිතෙනවා නේද? ඉතිං, ඔබටත් මෙම රටාවට නතු වී ඒ ඒ විවිධ මිල ගණන්වලට කොටස් මිල දී ගැනීමට සිතේවි.

මේ ආදි ලෙස විවිධාකාරයේ හේතු මත විවිධ මිල ගණන්වලට කොටස් ගැනීම සිදු වේ. මෙම මිල ගණන් ඕනෑම මොහොතක වෙනස් වේ (fluctuation). එම වෙනස්වීම් කෙසේ කොපමණ කාලයක් වේවිදැයි නිශ්චිතවම කිව නොහැකිය. මේවා නිකංම අනුමාන (speculation) පමනි. කොටස් වෙළඳපොල තුල අනුමාන ඉතා වැදගත් හා බරපතල ආකාරයෙන් බලපෑම් ඇති කරයි. සමහරු කියන්නේ කොටස් වෙළඳපොල (හා විදෙස් විනිමය වෙළඳපොලත් - foreign exchange market – forex) දුවන්නේ ස්පෙක්‍යුලේෂන් මත බවයි. ඇත්තටම මෙම අනුමාන නිකංම (නූගත්) අනුමානද නොවේ. අනුමාන ඇති කර ගත හැකි ආකාර දෙකක් තිබේ.

     1.      තාක්ෂනික පදනම මත ඇති කර ගන්නා අනුමාන - මෙහිදී යම් කාලාන්තරයක් පුරාවට ඒ ඒ සමාගම්වල කොටස් විචලනය වීමේ රටාවට ප්‍රමුඛතාව ලබා දේ. උදාහරණයක් ලෙස, යම් සමාගමක පසුගිය දවස් කිහිපයේම කොටස්වල මිල ඉහල යෑමක් පෙන්වන්නේ නම්, අද දිනද එම ට්‍රෙන්ඩ් එක පවතීවි යනුවෙන් කෙනෙකු සිතිය හැකිය. මෙවැනි විශ්ලේෂන තාක්ෂනික විශ්ලේෂන (technical analysis) ලෙස හඳුන්වමු. මෙම අනුමාන කිරීම් තරමක් පහසුවෙන් කළ හැකිය. කොටස්වල හැසිරීම (එනම් මිලට ගැනීම් හා විකිනීම්) පිලිබඳ පැරණි දත්ත (statistics) තමයි අවශ්‍ය වන්නේ. ඒවා තැරැව්කාර ආයතනවලින් ලබා ගතද හැකියි.

     2.      රටේ මූලික කරුණු මත ඇති කර ගන්නා අනුමාන - මෙහිදී රටේ හා ලෝකයේ තත්වයන් හා ප්‍රවණතාවන් සැලකිල්ලට ගනී. උදාහරණ ලෙස, ලංකාවේ නැවත යුධ තත්වයක් ඇති වන්නේ නම්, ඉන් සංචාරකයන් පැමිනීම අඩු වේ. එය හෝටල්වලට නරකට බලපායි. ඒ කියන්නේ හෝටල් කර්මාන්තය පාඩු වේ. ඉතිං පාඩු විදින්නට යන හෝටල්වල කොටස්හිමියන් විගහට තම කොටස් විකුනා දැමීමට පෙළඹේ. මෙලෙස සැපයුම විශාල වන විට, ඉල්ලුම සැපයුම න්‍යාය අනුව එම කොටස්වල මිල විශාල ලෙස පහත වැටේ.

එලෙසම ඇමරිකාව වැනි රටවල පවතින ආර්ථික දේශපාලන තත්වයන්ද අපට බලපායි. මෙය ලියන මොහොත වන විටත් එවැන්නක් අපගේ කොටස් වෙළඳපොලට සිදු වෙමින් පවතී. මේ සමයේ ඇමරිකාවේ බැංකු පොලී එරට විසින් ඉහල දමා ඇති අතර, ඇමරිකානු සමාගම් විසින් අපගේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කර තිබෙන මුදල් ඉන් ඉවත් කර තම රටේ බැංකුවල තැන්පත් කරන බව විශේෂඥයන් කියයි (මෙලෙස ඩොලර් ලංකාවෙන් ඉවතට ඇදී යෑම නිසා ලංකා රුපියල බාල්දු වෙමින් ආර්ථික ගැටලුවක්ද මේ වන විට ඇති වෙමින් පවතී). මෙලෙස මූලික කරුණු මත ඇති කර ගන්නා විශ්ලේෂන ප්‍රමූලික විශ්ලේෂන
(fundamental analysis) ලෙස හඳුන්වමු.

ඔබත් ප්‍රාමානික බුද්ධිමතකු නම්, ඉහත ආකාරයේ විශ්ලේෂන ඔබටම සිදු කර ගත හැකියි. එහෙත් ඒ සඳහා ඔබට නිරන්තරයෙන් රටේ ලෝකයේ සිදුවන දේවල් ගැන අවබෝධයක් තිබිය යුතුය. ඒ ගැන ප්‍රමාණවත් තරම් උගත්කමක් තිබිය යුතුය. එහෙත් සංකීර්ණ කාර්යබහුල ලෝකයේ ඔබට එලෙස සිදු කළ නොහැකි වීමට පුලුවන්. එනිසා තැරැව්කරුවන් ඒ දේ ඔබ වෙනුවෙන් සිදු කර, ඒවායෙන් ලබා ගන්නා කරුණු මත හොඳ උපදෙස් ඔබට දෛනිකව ලබා දෙයි.

දැන් ඔබට වැටහෙනවා ඇති ඇත්තටම සමාගමට සල්ලි හිඟවෙන්නේ නැහැ කොටස් වෙළඳපොල තුල තම කොටස්වල අගයන් ඉහල පහල ගියා කියා (මොකද ඔවුන්ගේ සල්ලි දැන් ලැබී අවසන්නෙ). එහෙත් සමාගම් කැමැතියි තමන්ගේ කොටස්වල මිල පහල නොබැස ඉහලින් තියෙනවා නම්. ඒක සමාගමේ “රෙස්පෙක්ට් එකට” (කීර්ති නාමයට) හොඳයිනෙ. සමාගමේ කීර්ති නාමය හොඳයි නම්නෙ එම සමාගම සමඟ ගනුදෙනු කිරීමට තවත් සමාගම් හා පිරිස් පෙළඹෙන්නේ. කෙසේ වෙතත්, කොටස් වෙළඳපොල තුල ඇති කොටස්වලට “ගහා මරා” ගන්නේ (කොටස් එහෙට මෙහෙට විකුනා දමන්නේ හා මිලට ගන්නේ) ඉන් වාසි ගන්නට හදන “ආයෝජකයන්” වේ. බලාගෙන ගියාම එයත් පුදුම තත්වයකි. යම් මවාගත්තු තත්වයකි.
3 Read More »

කොළඹ කොටස් වෙළඳපොල (CSE) - 1

3

වෙළඳපොල
වෙළඳපොලක් (market) යනු ගැනුම්කරු (buyer) හා විකුනුම්කරු (seller) එකිනෙකට මුන ගැසෙන ස්ථානය හෙවත් ගනුදෙනු සිදුවන ස්ථානයයි. ඉස්සර එය අවශ්‍යයෙන්ම යම් භූමි ප්‍රදේශයක පවතින්නක් විය (ඔබේ ප්‍රදේශයේ ඉරිද පොල වගේ). එහෙත් තාක්ෂණයේ දියුනුව නිසා (විශේෂයෙන් අන්තර්ජාල හා සන්නිවේදනයේ දියුනුව), අද වන විට භෞමික වෙළඳපොලට අමතරව විද්‍යුත් අවකාශ තුලද වෙළඳපොලවල් පවතී (ඊබේ, ඇලි එක්ස්ප්‍රෙස්, ඇමසන් වැනි). අප මේ කතා කරමින් සිටින කොටස් වෙළඳපොලද (stock market හෝ stock exchange) යනු එක්තරා විදියක වෙළඳ පොලක් තමයි. ඒ ගැන තරමක් විස්තරාත්මකව දැන් සොයා බලමු.

 
ප්‍රාග්ධනය, ණයහිමියන්, හා කොටස්
සාමාන්‍ය (ඉරිද) පොලේ වෙළඳාම් වන්නේ එලවලු පලතුරු වැනි ආහාරනෙ. එහෙත් කොටස් වෙළඳ පොලක මූලිකවම වෙළඳාම් වන්නේ කොටස් (shares) වේ.
 
කොටස් යනු ව්‍යාපාර සම්බන්ද සංකල්පයකි. එය කෙටියෙන් මෙලෙස තේරුම් ගත හැකියි. ඕනෑම ව්‍යාපාරයක් කිරීමේදී ඒ සඳහා සුලු හෝ අතිදැවැන්ත හෝ මූලික වියදමක්/යෙදවුමක් දැරිය යුතු වෙනවානෙ. එම මූලික යෙදවුම ප්‍රාග්ධනය (capital) කියා පවසනවා. එම ප්‍රාග්ධනය සපයන අය තමයි එම ව්‍යාපාරයේ අයිතිකරුවන් බවට පත් වන්නේ. එය ඉතා පැහැදිලි සරල දෙයක්නෙ. ඉතිං, ව්‍යාපාරයක සිදුවන ලාභ අලාභ සියල්ල භුක්ති විඳින්නේ අයිතිකරුවන් විසිනි.

ආයතනයකට මූලික යෙදවුම් සපයා ගත හැකි තවත් ක්‍රමයක් නම්, පිටස්තරයන්ගෙන් (හිතමිතුරන්ගෙන්, “පොලී මුදලාලිගෙන්”, බැංකුවලින්, ලීසිං ආයතනවලින්, ආදිය) ණය මුදල්/භාණ්ඩ සපයා ගැනීමයි. මෙවිට, එම ණයහිමියන් ව්‍යාපාරයේ අයිතිකරුවන් බවට පත් නොවේ. එනිසා ව්‍යාපාරයක පවතින ලාභ අලාභ ණයහිමියන්ට අදාල නැත. ඒ වෙනුවට ණයහිමියන්ට පොලියක් (interest) ලබා දිය යුතු වේ. කොටස් ගැන කතා කිරීමේදී අපට ණයහිමියන් (හා ඔවුන්ගෙන ගත්තු ණය) අදාල නැත.

ව්‍යාපාරයකට යෙද වූ මුලු ප්‍රාග්ධනය ගෙන, එය කුඩා කොටස්වලට සාමාන්‍යයෙන් බෙදනවා. උදාහරණයක් ලෙස, මා විසින් රුපියල් ලක්ෂ 5ක්ද, ඔබ විසින් තවත් ලක්ෂ 5ක්ද යොදා ව්‍යාපාරයක් පටන් ගත්තේ යැයි සිතමු. එවිට මුලු ප්‍රාග්ධනය වන්නේ ලක්ෂ 10කි. දැන් එම ලක්ෂ 10 කොටස් ලක්ෂයකට බෙදමු. එවිට එක කොටසක වටිනාකම රුපියල් 10කි. එලෙසම, අප එම ලක්ෂ 10ක ප්‍රාග්ධනය කොටස් 1000කට බෙදුවේ නම්, දැන් එක් කොටසක වටිනාකම වනුයේ රුපියල් 1000කි. අන්න ඒ විදියට ඔබට පහසුවෙන්ම කොටසක වටිනාකම සෙවිය හැකියි (ප්‍රාග්ධනය බෙදන කොටස් ගණන අනුව). කොටස් වෙළඳපොලක “කොටස්” ලෙස හඳුන්වන්නේ මෙලෙස ප්‍රාග්ධනය බෙදනු ලබන කොටස්ම තමයි.


ලාභාංශ
ව්‍යාපාරයක ප්‍රාග්ධනය එලෙස කොටස්වලට බෙදීමේ වාසි ඇත. එනම්, පහසුවෙන්ම දැන් එක් එක් අයිතිකරුවන් යෙදූ ප්‍රාග්ධන ප්‍රමාණයන් කොටස් වශයෙන් දැක්විය හැකිය. ඉහත උදාහරණයම ගතහොත්, මා හා ඔබ ලක්ෂ 5 බැඟින් යෙදවූ ව්‍යාපාරයේ කොටස් 1000 ක් පවතී නම්, මගේ හිමිකාරිත්වය කොටස් 500කි (එක් කොටසක වටිනාකම රුපියල් 1000ක් නිසා, මගේ අයිතියේ වටිනාකම රුපියල් ශතවලින් 500 x 1000 = රුපියල් 500,000 කි). ඔබගේ හිමිකාරිත්වයද කොටස් 500කි. 

ඉතිං, ව්‍යාපාරයක අයිතිකරුවන් වෙනවා යනු එම ව්‍යාපාරයේ කොටස් හිමි කර ගන්නවා යන්නයි. එනිසා, එම අයිතිකරුවන් කොටස්හිමියන් (shareholders) ලෙස හඳුන්වනවා. කොටස් 1000ක් තිබෙන ව්‍යාපාරයක, ඔබ සතු කොටස් ගණන 100ක් නම්, ඉන් කියන්නේ ඔබ සතු අයිතිය 100/1000 = 1/10 කි; එනම් 10%කි. එලෙස ඉතා පහසුවෙන්ම තමන්ගේ අයිතිය ගැන කොටස් ඔස්සේ ප්‍රකාශ කළ හැකිය.

එවිතරක්ද නොවේ, ව්‍යාපාරයේ ලාභ බෙදන විටද කොටස් පාදක කරගෙන එම ලාභය ප්‍රකාශ කළ හැකිය. සාමාන්‍යයෙන් අප පුරුදුව සිටින්නේ ලාභය ප්‍රතිශත ලෙස දක්වන්නනෙ. ඒ කියන්නේ මා හා ඔබ සම සමව ආයෝජනය කර ඇති බැවින්, ලාභය (හා අලාභය පවා) බෙදිය යුත්තේ 50% බැඟින්නෙ. ඒ අනුව ගිය මාස 12 තුල අපගේ ව්‍යාපාරය ලැබූ ලාභය ලක්ෂයක් නම්, මට ඉන් 50%ක් හෙවත් රුපියල් 50,000ක් ලැබිය යුතුය. 
මෙලස එක එක්කෙනාට ලැබෙන ලාභ ප්‍රමාණයන් ගණනය කිරීමට වඩා පහසු ක්‍රමයක් වන්නේ, කොටස් මත ලාභය ප්‍රකාශ කිරීමයි. උදාහරණයක් ලෙස, කොටසක වටිනාකම රුපියල් 100ක් වන යම් ව්‍යාපාරයක ලාභය බෙදීම ප්‍රකාශ කර ඇත්තේ කොටසකට රුපියල් 5 බැඟින් කියා නම්, ඉන් කියන්නේ ඔබ සතුව එක් කොටසක් තිබේ නම්, ඔබට ලාභය ලෙස රුපියල් 5ක් ලැබෙන බවයි. ඔබට කොටස් 1000ක් තිබේ නම්, ඔබට ලාභය ලෙස 5x1000 = රුපියල් 5000ක් ලැබේවි. මෙලෙස ලැබෙන ලාභ කොටස ලාභාංශය (dividend) ලෙස හඳුන්වනවා. ඒ අනුව, ඔබට රුපියල් 5000ක් ලෙස යම් ලාභ ප්‍රමාණයන් ලැබුණේ නම්, එය ඔබගේ ලාභාංශයයි.

ව්‍යාපාරවලදී හැමවිටම ලාභය/ලාභාංශය/ලාභ ප්‍රතිශතය පවසන්නේ මාස 12ක හෙවත් වසරක කාල පර්ච්ඡේදයක් සඳහාය. බැංකුවල පොලිය පවසන්නෙත් එලෙසය. එහෙත් ඔබේ ගමේ සිටින පොලී මුදලාලි පොලිය  පවසන්නේ මාසයකටයි. උදාහරණයක් ලෙස, බැංකුවකින් 12%ක පොලී අනුපාතයකට රුපියල් 100,000 ක ණයක් ගත්තේ නම්, එම ණය මුදල සඳහා වසරටම ඔබ පොලිය වශයෙන් ගෙවනු ඇත්තේ රුපියල් 12,000කි. එවිට මාසයකට පොලිය 12,000/12 = රුපියල් 1000කි. එහෙත් 6%ක පොලියට එම මුදලම ඔබ පොලී මුදලාලිගෙන් ගත් විට, ඔබ එක් මසකට පොලිය වශයෙන් රුපියල් 6000ක්ම ගෙවනු ඇත. එවිට වසරකට පොලිය 6000 x 12 = රුපියල් 72,000 කි. උපන්දා සිට පොලී මුදලාලිගෙන් ණයට ගන්නා බොහෝ දෙනෙකුට පුදුමෙට මෙන් මෙම වෙනස නොපෙනේ.


ව්‍යාපාර, සමාගම්, හා ලැයිස්තුගත සමාගම්
යම් රටක් තුල විවිධ ආකාරයේ ව්‍යාපාර තිබෙන අතර, එම රට තුල පවතින නීතිවලින් ඒවා පාලනය කෙරේ. ඒ අනුව ලංකාව තුල දැනට පවතින ව්‍යාපාර විවිධ ආකාරවලින් බෙදිය හැකිය. කේවල ස්වාමි ව්‍යාපාර හෙවත් තනි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම්, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ආදි ලෙස විවිධ නාමකරණයන් (ආයතනික ව්‍යුහයන්) යටතේ ඒවා ඔබ ඕනෑ තරම් අසා ඇති. මේ විවිධාකාර ආයතනික ව්‍යුහයන් අතරින් කොටස් වෙළඳපොල ගැන කතා කිරීමේදී වැදගත් වන්නේ සමාගම් (company) වේ.

සමාගම්ද රටේ නීතිය අනුව පෞද්ගලික සමාගම් (private companies), පොදු සමාගම් (public limited) ලෙස මූලික වර්ග දෙකකි. ඇත්තටම, ඉහත කතා කළ “කොටස්” යන සංකල්පය අදාල වන්නේ සමාගම් සඳහාය (හවුල් ව්‍යාපාර, තනි ව්‍යාපාර, ආදියට එම සංකල්පය අදාල නොවේ). මෙම ව්‍යාපාරික ව්‍යුහයන් ගැන ඉතා සවිස්තරාත්මකව කතා කිරීමට කරුණු ඇතත්, මෙම ලිපිය සඳහා එතරම් එම තොරතුරු වැදගත් නොවේ (නමුත් ව්‍යාපාර කරන හෝ ආරම්භ කරන අයට එම තොරතුරු වැදගත් වේවි). කොටස් වෙළඳපොල ගැන ඉගෙන ගැනීමේදී ඔබ දැන සිටිය යුත්තේ කොටස් වෙළඳපොල තුලට පිවිසිය හැක්කේ පොදු සමාගම්වලට පමණක් බවයි. 

එලෙස යම් පොදු සමාගමක් කොටස් වෙළඳපොලට පිවිසිය පසු එම සමාගම නිකංම පොදු සමාගමක් යන නමින් නොව “ලැයිස්තුගත පොදු සමාගම” (Public Listed Company) ලෙස නව නාමකරණයකට ලක් වේ. ඒ විතරක්ද නොවේ, මෙතෙක් කල් තමන් භාවිතා කළ ABC Limited වැනි නම වෙනුවට ABC PLC යනුවෙන් නම පවා වෙනස් වේ. ඔබ පාරේ යන විට හෝ පත්තර කියවන විට හොඳින් බලන්න බැංකුවල නම් දක්වා තිබෙන්නේ කෙලෙසද කියා. ඔබ යම් ආයතනයක නමක් PLC ලෙස ඉවර වෙනවා දකී නම්, ඒ කියන්නේ එම ආයතනය කොටස් වෙළඳපොල තුල තිබෙන ආයතනයක් බවයි.


සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව
ඉහත විස්තර කළ ආකාරයට පොදු සමාගමක් කොටස් වෙළඳපොලට ඇතුලු වීමට අවසර ගත යුතුයි. ඒ සඳහා රටේ නීතියෙන් ඇති කර තිබෙන (ස්වාධීන) රාජ්‍ය ආයතනයක් වන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙන් (Securities and Exchange Commission – SEC) අවසර ගත යුතුය. ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කර තිබෙන පොදු කොන්දේසි සමූහයක් අදාල පොදු සමාගම් විසින් සපුරාලිය යුතු වේ. එලෙස කොන්දේසි සපුරා මේ වන විට ලංකාවේ කොටස් වෙළඳපොලට සමාගම් හාරපන්සියක් පමණ ඇතුලු වී ඇත.

යම් යම් හේතු (කොන්දේසි කැඩීම වැනි) නිසා අවශ්‍ය නම් දැනට කොටස් වෙළඳපොල තුල සිටින සමාගම් ඉන් ඉවත් කිරීමටද බලය SEC එකට ඇත. මීට අමතරව, කොටස් වෙළඳපොල පිළිබඳ සියලුම නියාමනයන් (regulation) සිදු කරන්නේද SEC එක විසිනි. එය හරියට ලංකාවේ විශ්ව විද්‍යාල නියාමනය කිරීමට තිබෙන විශ්ව විද්‍යාප්‍රතිපාදන කොමිෂම වැනිය.


කොටස් වෙළදපොල
ඒ අනුව කොටස් වෙළඳපොලක් යනු ලැයිස්තුගත පොදු සමාගම්වල කොටස් විකුණන වෙළඳපොලකි. දැන් ගැටලුව වන්නේ සමාගම් තමන්ගේ කොටස් එලෙස විකුණන්නේ ඇයිද යන්නයි. ඔබ දන්නවා ඕනෑම ව්‍යාපාරයක් පුලුල් කිරීමට මුදල් අවශ්‍යයි. අලුතින් ශාකා ඇති කිරීමට, ව්‍යාපාරික ක්ෂේත්‍රය පුලුල් කිරීමට, නිෂ්පාදනය වැඩි කිරීමට ආදි ලෙස මේ සෑම කටයුත්තකටම මුදල් අවශ්‍ය වේ. ඉතිං, එම අවශ්‍ය මුදල් දැනට සිටින අයිතිකරුවන් (කොටස්හිමියන්) විසින්ම සපයනවා නම් ගැටලුවක් නැත. එහෙත් බොහෝවිට එය කළ නොහැකිය. එවිට ගත හැකි පියවරවල් දෙකක් ඇත.

එක් පියවරක් නම්, ණයට ගැනීමයි. ණයට ගත් විට ණය හා පොලී ගෙවීමටද සිදු වේ. එය වගකීමකි (liability). පොලිය එතරම් විශාල නොවේ නම්, ඇත්තටම ආයතන ඒ සඳහා පෙළඹේ. එහෙත් ඉතා අධික පොලී අනුපාත තිබෙන විට ව්‍යාපාර ඒ සඳහා මැලිකමක් දක්වයි. ලාභ වුවත් පාඩු වුවත් ව්‍යාපාරයට නිතිපතා එම වාරික හා පොලී ගෙවීමට සිදු වේ. ආයතනයට ඒවා ගෙවිය නොහැකි තත්වයක් ඇති වන විට, එම ව්‍යාපාරය වසා දමා (ඊට ඈවර කරනවා - wind up යැයි කියනවා), එම ව්‍යාපාරය සතු වත්කම් විකුණා හෝ එම ණය පියවිය යුතුය. එය විශාල අවදානමකි.

අනෙක් ක්‍රමය නම්, නව අයිතිකරුවන් (එනම්, ආයෝජකයන් - investors) ව්‍යාපාරය තුලට ගෙන ඒමයි. එවිට එම ආයෝජකයන් ලබා දෙන මුදල්වලින් ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කර ගත හැකියි. අයිතිකරුවන් බවට පත් වීමේදී ඔවුන් සපයන අරමුදල්වලට පොලී ගෙවීමට අවශ්‍ය නොවේ. ඒ වෙනුවට පෙර අප දැනගත් ලාභාංශ ගෙවිය යුතුය. පාඩු වුවොත්, එම පාඩුද දරා ගැනීමට සිදු වේ. එනිසා ව්‍යාපාරය අවසන් කිරීමට (ඈවර කිරීමට - winding up) අවශ්‍ය නොවේ.

ඉතිං, කොටස් වෙළඳපොලෙන් සිදු කරන්නේ එලෙස ව්‍යාපාරයකට අවශ්‍ය අරමුදල් සපයා දීම තමයි (එනම් අලුත් ආයෝජකයන් මුන ගැස්සීමයි). යම් සමාගමකට ව්‍යාපාරය පුලුල් කිරීමට රුපියල් කෝටි 10ක් අවශ්‍ය වන්නේ නම්, SEC ගෙන් අවසරද ගෙන කොටස්වෙළඳ පොලට පිවිසේ. එවිට, පෙර කියූ ලෙසට, එම රුපියල් කෝටි 10ක වටිනාකම කොටස් කර, එම කොටස් “පොලේ” විකුණයි. උදාහරණයක් ලෙස, රුපියල් කෝටි 10, එක් කොටසක් රුපියල් 10 බැඟින් වන කොටස් (shares) කෝටියක් කොටස් වෙළඳපොලේ විකුණයි. එවිට, කොටස් (“බඩු”) ගැනීමට සිටින කොටස් වෙළඳපොලේ ආයෝජකයන් එම කොටස් මිලට ගනී. කොටස් වෙළඳපොල ගැන ඉතාම සරල චිත්‍රය එයයි. දැන් ඒ ගැන තවදුරටත් සොයා බලමු.
Read More »

Sunday, August 5, 2018

සිංහලෙන් මෝස්කෝඩ් (Sending Sinhala text in Morse code)

4

මොස් සංඥා ක්‍රමය හෙවත් කවුරුත් හුරතලේට “මෝස්කෝඩ්” යැයි කියන ක්‍රමය විදුලිසන්නිවේදන පරිනාමයේ ඉතාම වැදගත් සන්ධිස්ථානයකි. ආදිකාලයේදී නැව්, ගුවන් යානා සමඟ සන්නිවේදනය සිදු කළ එකම ක්‍රමය වූයේත්, අද භාවිතාවන දුරකතන ක්‍රමයේ ආරම්භක තාක්ෂන ක්‍රමවේදය වූ ටෙලිග්‍රාෆ් පදනම් වූයේත් මෝස් කේත ක්‍රමය මතය. අද වන විට ඉතාම දියුණු විදුලිසන්නිවේදන ක්‍රම බිහි වී භාවිතා වූවත්,විනෝදාංශයක් සේ මෝස්කෝඩ් අදටත් භාවිතා වේ. 
 
මෝස්කේත මූලිකව ඉංග්‍රිසි බස මුල් කරගෙන බිහි වූවකි; එනම් ඉංග්‍රිසි අක්ෂර යැවීමටයි එය සාදා තිබෙන්නේ. එහෙත් අවශ්‍ය නම්, වෙනත් ඕනෑම අක්ෂරයක් (අක්ෂර ක්‍රමයක්) නිරූපණය කිරීමටත් එය භාවිතා කළ හැකියි. එයද කළ හැකි ක්‍රම දෙකක් ඇත. 
 
එක් ක්‍රමයක් වන්නේ නව අක්ෂර සදහා අලුතින් මෝස් කේත හදුන්වා දීමයි. උදාහරණයක් ලෙස, සිංහල බසෙහි ඇති “ක” අක්ෂරය සදහා “di di di di di di dah” ලෙස මෝස්කේතයක් අපට අලුතින් නිර්වචනය කළ හැකිය. 
 
එහෙත් මෙම ක්‍රමය හේතු කිහිපයක් නිසා එතරම් සුදුසු බවක් නොපෙනේ. ඉන් ප්‍රධානතම හේතුව වනුයේ මෝස්කේතය අත්‍යවශ්‍යයෙන්ම ඉතා දිගු කේතුයක් වීම වැලැක්විය නොහැකි වීමයි. දැනටමත් කෙටි කේත සියල්ල ඉංග්‍රිසි අක්ෂර, ඉලක්කම්, විරාම ලකුණු ආදිය නිරූපණය කිරීමට යොදා ගෙන ඇත. 
 
අවශ්‍ය නම් මීටද උපක්‍රමික විසඳුමක් ඇත. එනම්, මෝස්කේත සන්නිවේදන සැසියක් ආරම්භ කරන විට, තමන් අහවල් බසින් (උදාහරණ ලෙස, සිංහලෙන්) සන්නිවේදනය කරන්නට යනවා යැයි පැවසිය හැකිය. ඒ සඳහා විශේෂිත Q code එකක් හෝ prosign එකක් වුවද සම්මත කර ගත හැකියි. උදාහරණ ලෙස, “QCL SI” යන කිවුකෝඩ් එක සම්මත කර ගත හැකිය (මෙහි, “QCL” යනු තමන් යොදා ගන්නා භාෂාව කුමක්ද යන වග කියාපාන කිවුකෝඩ් එක වන අතර, ඉන්පසුව ඇති SI යනු “සිංහල” බස හැඳින්වීමට යොදා ගන්නා සංඛේතය වේ; ඉංග්‍රිසි බස EN ලෙසද ආදි ලෙස සම්මත භාෂා කේත දැනටත් අන්තර්ජාල භාවිතාවේදී පවතී). මෙවිට, QCL? යන්නෙන් අනෙකා භාවිතා කරන බස කුමක්දැයි ඇසිය හැකිය (කිවුකෝඩ් සම්ප්‍රදායට අනුව). මෙවිට, අදාල බසෙහි ඇති අවශ්‍ය සෑම අක්ෂරයකටම කෙටි මෝස්කෝඩ් නිරූපණය කළ හැකිය. උදාහරණ ලෙස, di da යන්න සිංහල “ක” අක්ෂරය සඳහා යොදා ගත හැකිය. මෙහිදී මුලින්ම සිංහල බස යොදා ගන්නා බව QCL කෝඩ් එකෙන් කියනා බැවින් di da යන්න ඉංග්‍රිස a අක්ෂරය නිරූපණය නොවන බව වටහගන්න.
 
ඉහත ක්‍රමයට වඩා මා දැන් කියන්නට යන දෙවැනි ක්‍රමය පහසුය. ඉහත ක්‍රමයේදී අපට අමුතුවෙන් ඒ ඒ සිංහල අක්ෂරය සඳහා නැවතත් මෝස්කෝඩ් පාඩම් කිරීමට සිදු වේ. තවද, සිංහල හා ඉංග්‍රිසි අක්ෂර දෙකම කලවමේ යොදා ගන්නට අවශ්‍ය විට තවත් උපක්‍රම යොදා ගැනීමට සිදු වේ. සිංහල පිල්ලම් ලිවීම සඳහාද යම් උපක්‍රමයක් යොදා ගැනීමට සිදු වේ. මේ සියල්ල එම පලමු ක්‍රමයේ ඇති අවාසි වේ. 
 
දෙවැනි ක්‍රමයේදී අප සිංහල sms ඉංග්‍රිසි අක්ෂරවලින් යවන ක්‍රමයම වේ. එහි අමුතුවෙන් ඉගෙනීමට ඇත්තේ ඉතාම සුලු කරුණු කිහිපයක් පමනි. සිංහල හා ඉංග්‍රිසි වචන කලවමේ වුවද එහිදී එකසේ ලිවිය හැකිය. අමුතුවෙන් භාෂාව දැක්වීමට කිවුකෝඩ් සම්මත කිරීමටද අවශ්‍ය නැත. පිල්ලම් ගැටලුවත් නැත. එය පහත ආකාරයට වීම සුදුසු යැයි මා යෝජනා කරනවා.
 
නූතන (සම්මත) සිංහල හෝඩියේ අක්ෂර 60ක් පවතී. එහෙත් භාවිතාවේදී අතිශය බහුතර පිරිසක් භාවිතා කරන්නේ පහත අක්ෂර පමණි. එම එක් එක් සිංහල අක්ෂරයට (ශබ්දයට) හිමි ඉංග්‍රිසි අකුරුද එහි දැක්වේ. මහප්‍රාණ අකුරු අපට ඉවත් කළ හැකිය. සංඥක අකුරුද ඉවත් කළ හැකිය. තවද, ශබ්දය අනුව සුදුසු ඉංග්‍රිසි අක්ෂර පහසුවෙන්ම සිතා ගත හැකිය. උදාහරණ ලෙස, පහත වගුවේ “ඓ” හා “ඖ” යන අක්ෂර දක්වා තිබුණත්, ඇත්තටම ඒවායේ ශබ්දය අනුව ඉබේම ලියැවෙන ඉංග්‍රිසි නිරූපණයයි එහි දක්වා තිබෙන්නේ.
 
සිංහල අකුර (ශබ්දය)
Sinhala Letter
ඉංග්‍රිසි නිරූපණය
English Transliteration
ක්
K
ග්
G
ච්
Ch
ජ්
J
ට්
T
ඩ්
D
Th
Dh
P
B
න්/ණ්/o
N
ම්
M
ඤ්/ඥ්
Gn
ල්/ළ්
L
ය්
Y
ර්
R
ව්
V/W
ස්
S
ෂ්/ශ්
Sh
හ්
H
ෆ්
F
A
Aa
Ae
Ea
I
Ee
U
Oo
E
Eh
O
Oh
Ay
Aw
 
ඉහත ක්‍රමයට අනුව සිංහල වැකියක් මෝස්කෝඩ්වලින් ලියන්නේ කෙසේදැයි එස්එම්එස් එකක් යවා ඇති ඕනෑම කෙනෙකුට වුවද එකවර සිතා ගත හැකිය. උදාහරණයක් ලෙස පහත වැකිය මෝස්කෝඩ්වලින් යවන හැටි බලමු.
 
“සිංහලෙන් මෝස්කෝඩ් යැවීම ඉතාම පහසු මෙන්ම විනෝදාත්මක වේ.”
 
පලමුවෙන්ම ඉහත සිංහල වාක්‍ය ඉංග්‍රිසි අකුරින් (එනම්, “සිංග්ලිෂ්” වලින්) ලියමු. ඉහත වගුව අවශ්‍ය වන්නේ මෙහිදීය.
 
Sinhalen morse code yaeweema ithaama pahasu menma vinohdhaathmaka ve.

දැන් ඉහත ඇත්තේ ඉංග්‍රිසි අක්ෂර බැවින් ඒ ඒ ඉංග්‍රිසි අක්ෂරය සඳහා ඇති සුපුරුදු මෝස්කේත යොදා ගෙන එය මෝස්කේත බවට පත් කර ගත හැකිය. එවිට එය පහත ආකාරයට වේවි.
 
...  ..  -.  ....  .-  .-..  .  -.    --  ---  .-.  ...  .    -.-.  ---  -..  .    -.--  .-  .  .--  .  .  --  .-    ..  -  ....  .-  .-  --  .-    .--.  .-  ....  .-  ...  ..-    --  .  -.  --  .-    ...-  ..  -.  ---  ....  -..  ....  .-  .-  -  ....  --  .-  -.-  .-    ...-  .    .-.-.-




Communication using Morse code is primarily intended for English language speakers. However, using a few tricks, one can devise the same to send characters of any other language in the world. Here, I am going to show how it could be used to send characters of the Sinhala language.
 
The modern Sinhala (standard) alphabet has a total of 60 characters, but not all the characters are practically used in day to day communication. Therefore, to keep it stupid simple, I suggest using or mapping only the practically used characters as depicted in the above chart. Using the above mapping, I have given an example above on how to transliterate a Sinhala sentence into English letters (we call this practice “Singlish”), and then into usual Morse code.
Read More »