Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

දෛශික (vectors) - 2

පහත දැක්වෙන්නේ කාටිසියානු පද්ධතියේ අක්ෂ ඔස්සේ නිර්වචනය කර ගත් ඒකක දෛශික ඇසුරින් දෛශික ලියා දක්වා තිබෙන උදාහරණ කිහිපයකි.


දෛශිකයේ දිශාව අනුව සංරචක තුනෙන් දෙකක් හෝ එකක් පමණක් වුවද තිබිය හැකියි (සංරචක තුනම තිබීම අත්‍යවශ්‍ය නැත). යම් සංරචකයක් ශූන්‍ය යැයි කියන්නේ එම දිශාව ඔස්සේ දෛශිකයේ අගයක් නොමැති බවයි. ඉහත උදාහරණ දුටු විට ඔබට පෙනෙනු ඇති ඕනෑම මාන ගණනක් සහිත දෛශිකයක් පහසුවෙන්ම ලිවිය හැකි බව (ඉහල මාන ඇඳිය හෝ සිතින් මවා ගත නොහැකි වුවත්). ක්වන්ටම් භෞතිකයේදී මාන ඕනෑම ගණනක් (අනන්ත ගණනක්) සඳහා වූ දෛශික භාවිතා කෙරෙනවා (එනම්, හිල්බර්ට් අවකාශය ක්වන්ටම් භෞතිකය තුල භාවිතා වේ).

a = 3i (1 dimensional)
b = 2i + 3j (2 dimensional)
c = 9i + j + 3k (3 dimensional)
d = 2i + 4j + 8k + 3l (4 dimensional)
f = 4i - j + 2k - 4l + 6m (5 dimensional)

වැඩි වන සෑම මානයක් සඳහාම අලුතින් පදයක් (ඒකක දෛශිකයක්) ඇතුලත් කිරීමට පමණයි තිබෙන්නේ. මෙලෙස ඉහලට මාන වැඩි වන විට, i, j, k නිරූපණ ක්‍රමය සීමාසහිත වේ (මොකද ඉංග්‍රිසි අකුරු තිබෙන්නේ ටිකකි). මෙවිට තමයි e1, e2, e3 ආදි හෝ x1, x2, x3 ආදි නිරූපණ ක්‍රමයන් වැදගත් වන්නේ.

ඔබ දන්නවා දෛශිකයක් අවකාශයේ යම් දිශාවක් ඔස්සේනෙ පවතින්නේ. එම තනි දෛශිකයම යම් ඛණ්ඩාංක පද්ධතියක් තුල නිරූපණය කළ හැකි බවද ඔබ දැන් දන්නවා. ඉහත පෙන්නුවා දෛශික කිහිපයක්ම ඛණ්ඩාංක පද්ධතියක් ඇසුරින් ලියා දක්වන අයුරු. පහත රූපයේ දැක්වෙන්නේ රූපමය වශයෙන් දෛශිකයක් ඛණ්ඩාංක පද්ධතියක ඇඳ දක්වන අයුරුයි (ත්‍රිමාන හා ද්විමාන අවකාශයක පමනයි රූපමය වශයෙන් අප දක්වන්නේ).


ඉහත රූපය බලන විට පෙනී යනවා එම තනි දෛශිකයම ඛණ්ඩාංක පද්ධතියේ අක්ෂ ඔස්සේ පවතින කොටස් හෙවත් සංරචක වශයෙන් සකස් කර, එම එක් එක් සංරචකය ඒකක දෛශික ආශ්‍රයෙන් දක්විය හැකි බව. යම් දෛශිකයක් එහි සංරචකවලට කඩා නිරූපණය කිරීම "දෛශික විභේදනය" (resolution of vectors) ලෙස හැඳින්වෙනවා.

දිශා කෝසයින

දෛශිකයක් විභේදනය කිරීම ඉතාම පහසු අතර, ඒ සඳහා සරල ත්‍රිකෝණමිතිය යොදා ගැනේ. පහත රූපය බලන්න. එහි t නම් දෛශිකයක් ඇඳ තිබේ. එහි විශාලත්වය ||t|| ලෙස දක්වා තිබේ. එම දෛශිකයක නිරූපණය කරන ඍජු රේඛා ඛණ්ඩය හා x අක්ෂය අතර කෝණය α ලෙසද සටහන් කර ඇත. දැන් දෛශිකය නිරූපණය කරන රේඛා ඛණ්ඩය විසින් x අක්ෂය මත සිදු කරන ප්‍රක්ෂේපණය (projection) t(cos α) වේ. එම ප්‍රක්ෂේපිත අගය තමයි x අක්ෂයේ දිශාව ඔස්සේ එම දෛශිකයේ සංරචකයේ විශාලත්වය.


මෙලෙසම, y අක්ෂය හා z අක්ෂය සමඟද එම t දෛශිකය β හා γ යන කෝණ දෙක පිළිවෙලින් සාදයි. ඒ අනුව, y අක්ෂය මත දෛශිකයේ ප්‍රක්ෂේපණය හෙවත් එම අක්ෂය ඔස්සේ දෛශිකයේ සංරචක අගය t(cos β) වන අතර, z අක්ෂය මත දෛශිකයේ ප්‍රක්ෂේපණය හෙවත් එම අක්ෂය ඔස්සේ දෛශිකයේ සංරචක අගය t(cos γ) වේ.

යම් දෛශිකයක් කාටිසියානු ඛණ්ඩාංක පද්ධතියක අක්ෂ ඔස්සේ විභේදනය කිරීමේදී ඉහත කෝණ දැන සිටීම අත්‍යවශ්‍ය වේ. ඇත්තටම එම කෝණවල කෝසයිනයයි යොදා ගන්නේ. එනිසා, මෙම කෝණවල කෝසයින අගයන් “දිශා කෝසයින” (direction cosines) ලෙස නම් කෙරෙනවා. x අක්ෂයට අදාල දිශා කෝසයිනය l අක්ෂරයෙන්ද, y අක්ෂයට අදාල දිශා කෝසයිනය m අක්ෂරයෙන්ද, z අක්ෂයට අදාල දිශා කෝසයිනය n අක්ෂරයෙන්ද නිරූපණය කෙරෙනවා. ඒ අනුව, යම් දෛශිකයක් කාටිසියානු ඛණ්ඩාංක පද්ධතිය තුල නිරූපණය කිරීමට දිශා කෝසයින අවශ්‍ය වෙනවා. එවිට පහත ආකාරයට සුලු කිරීම සිදු කළ හැකියි.


බොහෝ තැන්වල ඇත්තටම ඉහත අවසාන ස්වරූපයේ ආකාරයෙන් නොවෙයි එය දක්වා තිබෙන්නේ. ඊට හේතුව, ඒවායේදී ඉහත ප්‍රකාශය තවත් සරල කිරීම සඳහා t දෛශිකය ඒකක දෛශිකයක් ලෙසයි ගෙන තිබෙන්නේ. එවිට එහි විශාලත්වය හෙවත් ||t|| 1 බවට පත් වේ. එවිට පහත ආකාරයට එම ප්‍රකාශය සරල වේ.


යම් දෛශිකයක් i, j, k යන ඒකක දෛශික මඟින් නිරූපණය කර ඇති විටක, එම දෛශිකයේ විශාලත්වය සොයන්නේ කෙසේද? එය හරිම සරලයි. i හා j පමණක් ඇති ද්විමාන දෛශිකයකදී පයිතගරස් ප්‍රමේයය භාවිතා කළ යුතුය. එහිදී සංරචක දෙකෙහි විශාලත්ව අගයන් ඍජුකෝණි ත්‍රිකෝණයේ කර්ණය නොවන පාද දෙක ලෙස සලකා ප්‍රමේය යොදන්න. උදාහරණයක් ලෙස, a = 2i + 3j යන ද්විමාන දෛශිකයේ විශාලත්වය වන්නේ:

|a|2 = 22 + 32 = 13
|a| = 13

දෛශිකයේ මාන ගණන වැඩි වන විට, පයිතගරස් ප්‍රමේයේ ආකාරයටම (එම රටාවටම) ගණනය කිරීම සිදු කළ යුතුය. උදාහරණයක් ලෙස, a = 2i + 3j + 4k යන ත්‍රිමාන දෛශිකයේ විශාලත්වය වන්නේ:

|a|2 = 22 + 32 + 42 = 29
|a| = 29

දෛශික මත ගණිත කර්ම

දෛශික මත ගණිත කර්ම රාශියක් සිදු කළ හැකිය. යම් දෛශිකයක් ඛණ්ඩාංක පද්ධතියක් ආශ්‍රයෙන් නිරූපණය කරන විටත්, ඉහතදී ඔබ දුටු ආකාරයට යම් යම් ගණිතමය සුලු කිරීම් යොදා ගැනීමට සිදු වුවත්, ඒවා දෛශික මත සිදු කරන ගණිත කර්ම නොවන බවද සිහි තබා ගන්න.

යම් දෛශික දෙකක් එකම විශාලත්වයෙන් හා එකම දිශාවට යොමුව ඇත්නම්, එම දෛශික දෙක සමාන වේ. එහෙත් එහි කොන්දේසියක් ඇත. එනම්, එම දෛශික දෙකම එකම රාශියක් ගැන විය යුතුය. උදාහරණයක් ලෙස, එක් දෛශිකයක් ප්‍රවේගයක්ද අනෙක් දෛශිකය බලයක්ද හඟවයි නම්, එම දෛශික දෙකෙහි සංඛ්‍යාත්මක අගයන් හා දිශා සමාන වුවත්, එම දෛශික දෙක සමාන විය නොහැකියිනෙ (කොහොමද ඇපල් ගෙඩියක් දොඩම් ගෙඩියකට සමාන වන්නේ?).

තවද, ඔබට ශූන්‍ය දෛශිකයක් (zero vector) ගැනත් කතා කළ හැකියි. නමින්ම කියනා පරිදි එහි අගය 0යි. ඒ කියන්නේ කිසිදු දෛශිකයක් නැතැයි යන්නයි. කිසිදු දිශාවක් එනිසා ඊට කිව නොහැකියි. ඇත්තටම ශූන්‍ය දෛශිකය යනු කිසිවක් නොවේ; එනිසා දෛශිකයක්ද නොවේ යැයි කෙනෙකුට තර්ක කළ හැකියි. එනිසා දෛශිකයක් හා අදිශයක් සමාන වන එකම අවස්ථාව ශූන්‍ය දෛශිකයයි (හරියට 0 යන අගය තාත්වික සංඛ්‍යා හා අතාත්වික සංඛ්‍යා දෙකටම අයත් වන්නා සේ). ශූන්‍ය දෛශිකය තද අකුරින් 0 ලෙස හෝ 0 ලෙස හෝ නිරූපණය කළ හැකියි.

යම් දෛශිකයක සලකුණ (ධන හෝ ඍන) වෙනස් කළ විට, එම දෛශිකයේ විශාලත්වය වෙනස් නොවී දිශාව ප්‍රතිවිරුද්ධ වේ.



දෛශික ගුණාකාරය

සමහරුන් මෙය “දෛශිකයක් අදිශයකින් ගුණ කිරීම” ලෙස හැඳින්වුවත් ඊට සුදුසුතම වචනය දෛශිය ගුණාකාරය (multiplication by scalar) බව මා යෝජනා කරනවා.

ඇත්තටම යම් දෛශිකයක් යම් අදිශයකින් ගුණ කරනවා යනුවෙන් සිතනවාට වඩා එය යම් දෛශිකයක විශාලත්වය ලොකු කුඩා කරනවා (scaling) යනුවෙන් සිතීම වඩා සුදුසුය. උදාහරණයක් ලෙස, යම් දිශාවක් ඔස්සේ බලය (එය දෛශිකයකි) නිව්ටන් 20ක් නම්, එහි අගය 100 කිරීමට නම්, එම බලය 5 ගුණයකින් ගුණ කළ යුතුයිනෙ. එහෙමත් නැතිනම් එම බලය 10 කිරීමට, එම බලය 2 ගුණකයකින් බෙදිය (හෙවත් ½ න් ගුණ කළ) යුතුය. මෙලෙස දෛශිකයේ විශාලත්වය අඩු හෝ වැඩි කිරීම තමයි මෙම ගණිත කර්මයේ එකම අරමුණ.


ඉතිං එය බැලූ බැල්මට පෙනෙන්නේ යම් දෛශිකයක් අදිශයකින් ගුණ කරනවා වගේය. නිකංම අගයන් දෙක ගුණ කරන්න පමණයි තිබෙන්නේ. ලැබෙන පිළිතුර හැමවිටම දෛශිකයකි.

5 x 20 N = 100 N
½ x 20 N = 10 N

අගයන් දෙක ගුණාකාරය තුල තිබෙන පිලිවෙල වැදගත් නැත. මෙම ගතිගුණයට න්‍යාදේශ්‍ය න්‍යාය (commutative law) යැයි කියනවා.

5 x 20 N = 20 N x 5
½ x 20 N = 20 N x ½

මෙම ගණිත කර්මය සංඝටන න්‍යාය (associative law) පිලිපදී. එනම්, යම් දෛශිකයක් ගුණාකාර (අදිශ) දෙකකින් ගුණ කරන විට, පහත ආකාරයේ රටාවට අනුගත වේ.

(4 x 5) x 20 N = 4 x (5 x 20 N)

තවද, මෙම ගණිත කර්මය විඝටන න්‍යාය (distributive law) පිලිපදී. එනම්, දෛශික පද දෙකක් එකම ගුණාකාරයකින් ගුණ වන විට හෝ දෛශික පදයක් ගුණාකාර පද දෙකක එකතුවකින් ගුණ වන විට, පහත රටාවලට එය අනුගත වේ.

4(20 N + 15 N) = 4x20 N + 4x15 N
(3 + 6)20 N = 3x20 N + 6x20 N

සටහන
ගණිතයේදී, පදයක් (term) යනු එකතු කිරීමකින් (+ ලකුණකින්) හෝ අඩු කිරීමකින් (- ලකුණකින්) වෙන්ව ඇති හෝ දෙපස කිසිදු ගණිත කර්මයක් නැති (තනියෙන්ම සිටින) රාශියකි.

10 + 19 (10 හා 19 යනු පද දෙකකි)
122 – 20 + x (122, 20, හා x යනු පද තුනකි)
2x20 + 30/3 + 12 (2x20, 30/3, හා 12 යනු පදක තුනකි)
t (t යනු පදයකි)

ඉහත සුලු කිරීම් සියල්ලෙහිම දෛශිකය කිසිදු ඛණ්ඩාංක පද්ධතියක් ඇසුරින් නෙමෙයි දක්වා තිබෙන්නේ. ඒ කියන්නේ කුමන ඛණ්ඩාංක පද්ධතියක් ඇසුරින් දෛශික නිරූපණය කළත් ඉහත කරුණු සියල්ල එලෙසම ගැලපේ. අප මෙතෙක් සලකා බැලුවේ කාටිසියානු පද්ධතිය පමණක් නිසා, ඒ ඇසුරින් උදාහරණ කිහිපයක් සලකා බලමු.

5 x (3i + 2j + 5k) = 15i + 10j + 25k (සාමාන්‍ය දෛශික ගුණාකාරය)

5 x (3i + 2j + 5k) = (3i + 2j + 5k) x 5 (න්‍යාදේශ්‍ය න්‍යාය)

(2 x 5) x (3i + 2j + 5k) = 2 x (5 x (3i + 2j + 5k)) (සංඝටන න්‍යාය)

4((3i + 2j + 5k) + (2i + 6j +2k)) = 4(3i + 2j + 5k) + 4(2i + 6j + 2k)
(5 + 2)(3i + 2j + 5k) = 5(3i + 2j + 5k) + 2(3i + 2j + 5k) (විඝටන න්‍යාය)

දෛශික ආකලනය

දෛශික දෙකක් එකට එකතු කිරීම දෛශික ආකලනයයි (vector addition). සාමාන්‍ය සංඛ්‍යා දෙකක් එකට එකතු කරන ආකාරයටම දෛශික දෙකක් එකතු කළ හැකියි එම දෛශික දෙකම එකම දිශාවට පිහිටියේ නම් පමණක්. තවද, දිශා දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ නම්, විශාල අගය තිබෙන දෛශිකයෙන් කුඩා අගය තිබෙන දෛශිකය අඩු කර, විශාල අගය තිබෙන දෛශිකයේ දිශාවට සුලු කර ලැබෙන අවසාන දෛශිකයේ දිශාව තැබිය යුතුය.


එහෙත් දෛශික දෙකෙහි දිශා ඉහත අවස්ථා දෙකට වඩා වෙනස් නම්, එවිට වෙනත් ආකාරයකින් එම එකතු කිරීම සිදු කළ යුතුය. පළමුව එය රූපමය ආකාරයෙන් බලමු. එක් දෛශිකයක් පළමුව කොලය මත අඳින්න. ඉන්පසු එම දෛශිකය කෙළවර වන තැන සිට දෙවැනි දෛශිකය එහි දිශාව ඔස්සේ අඳින්න. මෙවිට එම දෛශික දෙකෙහි එකතුව/ආකලනය වනුයේ පළමු දෛශිකය පටන් ගත් ස්ථානයේ සිට දෙවැනි දෛශිකය කෙලවර වන ස්ථානය දක්වා අඳින ඉරි කැබැල්ලෙන් නිරූපණය කෙරෙන දෛශිකයයි.


ඉහත රූපයම පහත ආකාරයටද ඇඳිය හැකිය. එය සමාන්තරාස්‍රයකි (parallelogram). සාමානතරාස්‍රයක් ආකාරයට (රූපමය වශයෙන්) දෛශික ආකලනය සිදු කිරීමේ එම ක්‍රමය සමාන්තරාස්‍ර නියමය (parallelogram law) ලෙස හැඳින්වේ.


රූපමය ආකාරය දෛශික ආකලනය තේරුම් ගැනීමට පහසු වුවත්, ඉක්මනින් හා නිවැරදිව සුලු කිරීමට එය උචිත නැත. තවද, ඉන් පිලිතුර ලෙස ලැබෙන දෛශිකයේ දිශාවද නිශ්චිතව දැනගත නොහැකිය. ඒ නිසා හරියටම විශාලත්වය හා දිශාව සොයා ගැනීමට සුත්‍රයක් යොදා ගත යුතුය. දෛශක ආකලනය සිදු කිරීමට කොස් සූත්‍රය (cosine formula හෙවත් law of cosines) යොදා ගත හැකිය. පහත දැක්වෙන්නේ ත්‍රිකෝණමිතියෙන් අපට ලැබෙන ඉතා වැදගත් කොස් සූත්‍රය වේ.


එකතු කළ යුතු දෛශික දෙක (b හා c යැයි සිතමු) හා ඒ අතර පවතින කෝණය (A) ඉහත සූත්‍රයට ආදේශ කළ විට ලැබෙන්නේ එම දෛශික දෙකෙහි ඓඛ්‍යය (a) වේ. තවද, එම නව දෛශිකයේ දිශාවද අපට සෙවිය හැකියි නැවත කොස් සූත්‍රය යෙදීමෙන්.

සටහන
ත්‍රිකෝණයක පාද හා ශීර්ෂ නම් කරන සම්මත ක්‍රමයක් ඇත. එනම්, ත්‍රිකෝණයක ශීර්ෂ ඉංග්‍රිසි කැපිටල් අකුරුවලින් පිලිවෙලින් වටේට ලකුණු කෙරේ. එවිට එම ශීර්ෂයට අනුබද්ධව පවතින අභ්‍යන්තර කෝණයද එම කැපිටල් අකුරෙන්ම සංඛේතවත් කෙරේ. තවද, ත්‍රිකෝණයේ පාද ලකුණු කරන්නේ ඉංග්‍රිසි සිම්පල් අකුරුවලිනි. එහිදී, යම් ශීර්ෂයකට විරුද්ධ පැත්තේ ඇති පාදය එම ශීර්ෂය ලකුණු කළ අකුරේම සිම්පල් අකුරින් ලිවිය යුතුය. ඉහත ත්‍රිකෝණය මෙලෙස ලකුණු කර ඇති සම්මත ත්‍රිකෝණයකි. මෙලෙස ත්‍රිකෝණයක කොටස් ලකුණු කිරීමෙන් පහසුවෙන් තනි අකුරකින් පාද හා කෝණ සටහන් කළ හැකිය. නැතහොත් පාද නම් කරන විට, AB, BC ආදි ලෙස අක්ෂර දෙකකින්ද, කෝණ නම් කරන විට, ABC, BCA ආදි ලෙස අක්ෂර 3කින්ද ලකුණු කිරීමට සිදු වෙනවානෙ.

පහත දැක්වෙන a (එහි අගය 10 ලෙස ගමු), b (අගය 20 ලෙස ගමු) දෛශික දෙක එකතු කරන හැටි බලමු. එම දෛශික දෙක අතර කෝණය අංශක 120කි. දැන් මීට කොස් සූත්‍රය යෙදූ විට පහත ආකාරයට සුලු වේවි.

(a + b)2 = a2 + b2 - 2abcosA
(a + b)2 = 102 + 202 - 2x10x20xcos(120) = 700
(a + b) = 700 = 26.5


ඉහත 26.5 අගය ලැබුණු දෛශිකයේ දිශාව කුමක්ද? එය අනෙක් දෛශික දෙකෙන් එකක දිශාව ආශ්‍රයෙන් ප්‍රකාශ කළ හැකිය (එම දෛශික දෙක අප දන්නවානෙ; දෛශිකයක් දන්නවා යනු එහි විශාලත්වය හා දිශාව දන්නවා කියන එකයි). උදාහරණයක් ලෙස a නම් දෛශිකය සිරස් අතට ඇඳි රේඛාවකට (සිරසට සාපේක්ෂව) ඇති කරන කෝණය Ω නම්, a+b නම් දෛශිකයේ දිශාව වන්නේ (Ω + θ) වේ (සිරසට සාපේක්ෂව). θ කෝණය අපට සෙවිය හැකියි නැවතත් කොස් සූත්‍රය යෙදීමෙන්. ඉහත උදාහරණයම ගතහොත්, x = 10, y = 26.5, (x+y) = 20 බව පෙනේ.

(x + y)2 = x2 + y2 - 2xycosθ
cosθ = {x2 + y2 - (x + y)2}/2xy
θ = cos -1[{x2 + y2 - (x + y)2}/2xy]
θ = cos-1[{102 + 26.52 - (20)2}/(2x10x26.5)] = 40.7o

දෛශික දෙක අතර කෝණය හරියටම අංශක 90ක් වන විට, කොස් සූත්‍රය පයිතගරස් ප්‍රමේයය/සූත්‍රය බවට සරල වේ. එවිට නව දෛශිකයේ විශාලත්වය හා දිශාව යන දෙකම සුලු කිරීම තවත් පහසු වේ.


දෛශික ආකලනය න්‍යාදේශ්‍ය න්‍යාය පිළිපදී.

a + b = b + a


එය සංඝටන න්‍යායත් පිළිපදී.

(a + b) + c = a + (b + c)

මෙහිදී විඝටන න්‍යායක් ගැන සාමාන්‍යයෙන් කතා කරන්නේ නැත. ඉහත කරුණු සියල්ලම ඛණ්ඩාංක පද්ධතියක් ඇසුරින් නිරූපණය කරන දෛශික සඳහාද වලංගු විය යුතුයිනෙ. ඒ ගැන දැන් සොයා බලමු. ඇත්තටම මෙහිදී තත්වය තවත් පහසු වේ. කරන්නට තිබෙන්නේ දෙන ලද දෛශික දෙකෙහි අනුරූප සංරචක කොටස් එකිනෙකට එකතු කිරීම පමණි.

(3i + j - 5k) + (2i + 11j + 3k) = (3 + 2)i + (1 + 11)j + (-5 + 3)k = 5i + 12j - 2k (සාමාන්‍ය ආකලනය)


ඉහත රූපයේ වෙන වෙනම අනුරූප සංරචක එකතු කරන හැටි පැහැදිලිව දැක්වේ (ද්විමාන අවකාශයකි මෙහිදී සලකා තිබෙන්නේ). රූපය අනුව, (a + b) = (a1i + a2 j) + (b1i + b2i) = (a1+b1)i + (a2+b2)j වේ.

(3i + j - 5k) + (2i + 11j + 3k) = (2i + 11j + 3k) + (3i + j - 5k) (න්‍යාදේශ්‍ය)

((3i + j - 5k) + (2i + 11j + 3k)) + (i + j + k) = (3i + j - 5k) + ((2i + 11j + 3k) + (i + j + k)) (සංඝටන)

දෛශික ව්‍යාකලනය

එක් දෛශිකයක් තවත් දෛශිකයකින් අඩු කිරීම දෛශික ව්‍යාකලනයයි (vector subtraction). ඇත්තටම මෙයත් ඉහත පෙන්වාදුන් දෛශික ආකලනයේම විශේෂ අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. දෛශිකවල පමණක් නොව, සාමාන්‍ය සුලු කිරීම්වලදී පවා අඩු කිරීම යනු එකතු කිරීමෙහිම විශේෂ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එහිදී, අඩු කළ යුතු දෛශිකය දැනට පවතින සලකුණ (ධන හෝ ඍන) මාරු කර, එකතු කිරීමක් ලෙස ලිවිය හැකිය. ඔබ මොහොතකට පෙර දැන ගත්තා යම් දෛශිකයක සලකුණ මාරු වෙනවා යනු එහි විශාලත්වය වෙනස් නොවී දිශාව ප්‍රතිවිරුද්ධ වීමයි.

a - b = a + (-b)

එනිසා දෛශික ව්‍යාකලනය සලකුන මාරු කර දෛශික ආකලනයක් බවට පත් කර ගෙන කොස් සූත්‍රය (හෝ කෝණ අගය අංශක 90 නම් පයිතගරස් ප්‍රමේයය) භාවිතා කරමින් පුරුදු ලෙසම සුලු කළ හැකිය. තවද, දෛශික ආකලනයේදී හමු වූ න්‍යාදේශ්‍ය, සංඝටන, හා විඝටන න්‍යායවල් සියල්ල මෙහිදිත් වලංගු වේ.

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,