Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 74

පෘථිවි චුම්භකගෝලය

සූර්යාට මෙන්ම පෘථිවියටත් තමන්ගේම පෘථිවි චුම්භක ක්ෂේත්‍රයක් (geomagnetic field) තිබෙනවා. එය පොලොව කේන්ද්‍ර කරගෙන ගෝලීයව විහිදී පවතිනවා. පොලොවේ තැනින් තැනට චුම්භක ප්‍රබලතාව වෙනස් වන අතර, එය ගවුස් 0.25 සිට 0.65 දක්වා අගය පරාසයක පවතිනවා.

දළ වශයෙන් භූගෝලීය උතුර තිබෙන පැත්තේ මේ වන විට චුම්භක දකුණ තිබෙනවා (අංශක 11ක පමණ කුඩා වෙනසක් එම ධ්‍රැව දෙක අතර දැනට තිබෙනවා). එහෙත් කාලයත් සමඟ මෙම චුම්භක ධ්‍රැව ක්‍රමයෙන් විතැන් වෙනවා (ගමන් කරනවා). අවුරුදු දහස් ගණනක් යන විට එය ක්‍රමයෙන් කරකැවී භූගෝලීය උතුර ඇති පැත්තේම චුම්භක උතුර පිහිටාවි (එනම් අංශක 180ක වෙනසක්). එය දිගින් දිගටම කරකැවෙමින් සිටීවි. තවද සාමාන්‍ය දණ්ඩ චුම්භකයක නම් උතුරු හා දකුණු ධ්‍රැව පිහිටන්නේ එකිනෙකාට ප්‍රතිවිරුද්ධවයි. එහෙත් පෘථිවි චුම්භකයේ ධ්‍රැව දෙක එක කෙලින් ප්‍රතිවිරුද්ධව නැත (එක ඉරක දෙකෙළවර එම ධ්‍රැව පිහිටන්නේ නැත). එම ධ්‍රැව දෙක එකිනෙකට ස්වාධීනව විචලනය වේ. එහෙත් පහසුව තකා රූපවල පෙන්වන්නේ පෘථිවි චුම්භක දෙක ඒකරේඛීයව පිහිටන ලෙසයි.


එහෙත් දැන් කාලයක සිට විවිධ අවිද්‍යාත්මක අදහස් දරන “කුමන්ත්‍රණ න්‍යායවාදින්” (conspiracy theorist) පිරිසක් එකවර පෘථිවි චුම්භක ධ්‍රැව මාරු වන බවත් ඉන් ලෝකය විනාශ වන බවත් ප්‍රචාරය කරනවා. ඒ ගැන චිත්‍රපට පවා සාදා තිබෙනවා. අනිවාර්යෙන්ම එවැනි ධ්‍රැව මාරු වීමක් (geomagnetic reversal) සිදු වීම අපට බලපාන අතර, එය සත්වයන් පොලොවෙන් අතුගා දැමීමට තරම් හේතුවක් නොවේ. තවද, එම සංසිද්ධිය ඉතා සෙමින් සිදු වන්නක් මිස අර පිරිස් කියනා ලෙස එක් ක්ෂණයෙන් සිදු වන්නක්ද නොවේ.

පොලොව මතුපිට සමීපයෙහි චුම්භක ප්‍රබලතාව වෙනස් වන හැටි නිරන්තරයෙන්ම සොයා බලනවා. එම අගය කාලයත් සමඟ විවිධ හේතු නිසා විචලනය වේ. චුම්භක ප්‍රබලතාව සමාන ප්‍රදේශ රේඛා (intensity contour) වශයෙන් ඇන්ද විට ලැබෙන පහත රූපයේ ආකාරයේ සිතියමක් isodynamic chart ලෙස හැඳින්වේ. චුම්භක ක්ෂේත්‍ර ඝනත්වය/ප්‍රබලතාව මනින SI ඒකකය ටෙස්ලා වුවත්, ගවුස් හා ගැමා යන ඒකකද භාවිතා කෙරෙනවා (1 Tesla = 10,000 Gauss හා 10-9 Tesla = 1 nanoTesla = 1 gamma).


ඉහත සිතියම අනුව ලතින් ඇමරිකානු කලාපයේ යම් තැනකට ඉහලින්ද, කැනඩාවේ උතුරු ප්‍රදේශයකට ඉහලන්ද, රුසියාවේ ප්‍රදේශයක් ඉහලින්ද, ඔස්ට්‍රේලියාවට යටින් ඇති ප්‍රදේශයක් ඉහලින්ද අඩුම චුම්භක ක්ෂේත්‍ර ප්‍රබලතා පවතිනවා. මෙම සිතියම අනුව ලංකාව ආශ්‍රිතව චුම්භක ප්‍රබලතාව නැනෝටෙස්ලා 41,000ක් පමණ වේ (මෙම අගය විශාල අගයක් නොව; ළමුන් සෙල්ලම් කරන්නට ගන්නා සාමාන්‍ය කාන්දම් කැබැල්ලක ප්‍රබලතාව පවා මීට වඩා බොහෝ ප්‍රබලයි මොකද එවැනි කාන්දම් කැබැල්ලක ප්‍රබලතාව 10,000,000nT තරම් වේ).

පොලොවේ චුම්භක ක්ෂේත්‍ර ප්‍රබලතාව වගේම එහි අනෙක් වැදගත් සාධකය තමයි පොලොවේ සලකා බලනු ලබන තැනදී චුම්භක ක්ෂේත්‍රයේ දිශාව කුමක්ද යන්නයි. මෙම කෝණය inclination හෙවත් magnetic dip යනුවෙන් හැඳින්වේ. මෙම දිශාව චුම්භක ක්ෂේත්‍රයේ උතුරු දිශාවට සාපේක්ෂව කෝණය අංශක -90 (මෙවිට දකුණු ධ්‍රැවය හැඟවේ) සිට +90 (මෙවිට උතුරු ධ්‍රැවය හැඟවේ) දක්වා අගයක් විය හැකිය. පොලොවට ආසන්නව පවතින චුම්භක ක්ෂේත්‍රයේ ඉන්ක්ලිනේෂන් එක පොලොවේ විවිධ ස්ථානවල පිහිටන විදිය ඉහත ආකාරයට සිතියම් මත ලකුණු කළ විට පහත ආකාරයේ isoclinic chart එකක් ලබා ගත හැකිය.


ඉහත අයිසොක්ලිනික් සිතියම අනුව ලංකාවට ඉහලින් ඉන්ක්ලිනේෂන් එක මේ වන විට අංශක 0 වේ (කොලපාට රේඛාව).


ඇත්තෙන්ම කාලයත් සමඟ ඉහත දෙවර්ගයේම අගයන් වෙනස් වේ. පෘථිවිය සූර්ය සුලංවලට ලක් නොවන්නේ නම්, එහි චුම්භක ක්ෂේත්‍රය තිබිය යුත්තේ ඉහත රූපයේ ආකාරයට සමාකාරවයි. එහෙත් සූර්යාගේ සිට අඛණ්ඩව සූර්ය සුළං සූර්යා වටේට විහිදී යයි. පොලොවද ඊට හසු වේ. එනිසා ප්‍රායෝගිකව පෘථිවි චුම්භක ක්ෂේත්‍රය පිහිටන්නේ පහත රූපයේ ආකාරයටයි. මීට පෘථිවියේ චුම්භකගෝලය (Earth’s magnetosphere) යැයි කියනවා.


සූර්ය සුළඟේ පීඩනය නිසා ඊට කෙලින්ම මුහුන දෙන පැත්තේ චුම්භක ක්ෂේත්‍රය ඇතුලට එබේ. සූර්ය සුළං හමන පැත්තට විරුද්ධ පැත්තේ පෘථිවි චුම්භක ක්ෂේත්‍රය තවදුරටත් ඈතට ඇදේ. මැග්නෙටෝස්ෆියර් හි ඈතට විහිදී ගිය magnetotail යන කොටස පෘථිවි අරය මෙන් 1000 ගුණයක් ඈතට විහිදේ. එහෙත් කෙලින්ම සූර්යාට මුහුන දෙන පැත්ත පෘථිවි අරය මෙන් 10 ගුණයක් ඈතට විහිදේ.

මැග්නෙටොස්ෆියර් එක ඇත්තටම විට පිරී තිබෙන්නේ අයනවලිනි. ඉන් වැඩිම අයන ප්‍රමාණයට වගකියන්නේ සූර්ය සුලං වේ මොකද සූර්ය සුලං මේ හරහා ගමන් කරනවා. මීට අමතරව ඈත තරුවල සිට එන අන්තරික්ෂ කිරණ (cosmic rays; විශ්වයේ ඇති අනෙක් තරුවලින් විහිදී විශ්වය පුරා සැරිසරන අංශු) යම් ප්‍රමාණයක්ද පවතිනවා. එහෙත් පොලොවට ආසන්න වන විට, වායුගෝල අයනගෝලයේ අයනද මෙහි ඇත.

යම් පමණකට ප්‍රායෝගිකව ගත් විට අයනගෝලයේ ඉහල කොටසෙත් හා ඉන් පිටත අභ්‍යවකාශයෙත් ඇත්තටම අංශු ඇත්තේ සිතාගත නොහැකි තරම් අඩුවෙනි. එනිසා ප්‍රායෝගිකව මැග්නෙටොස්ෆියර් එක රික්තකයක් ලෙසත් සැලකිය හැකියි.

පෘථිවිය සතු චුම්භක ක්ෂේත්‍රයට පින්සිදු වන්නටයි පොලොව මත ජීවින් සිටින්නෙත්. එසේ නොවුණා නම්, සූර්ය සුලං විසින් වායුගෝලයේ අංශු (විශේෂයෙන් ඕසෝන් අණු) ඉවත් කර දමා තිබේවි (බ්‍රෂ් එකකින් අතුල්ලන විට කුනු යන්නා සේ). පෘථිවි චුම්භක ක්ෂේත්‍රය පලිහක් මෙන් එය ආරක්ෂා කරනවා. එමඟින් පාරජම්බූල කිරණ හා එක්ස් කිරණ හා ආරෝපිත අංශු පොලොව මතට වැටීම නතර කර තිබෙනවා. දැනට සොයාගෙන තිබෙන විදියට කාලයකට ඉහතදී අගහරු ග්‍රහයා මතද හොඳ වායුගෝලයක් තිබුණත්, එම ග්‍රහයාට පෘථිවියේ මෙන් හොඳ චුම්භක ක්ෂේත්‍රයක් නොතිබීම හේතුවෙන් සූර්ය සුළඟට එම වායුගෝලය ඛාදනය වී තිබේ. පහත රූපයෙන් එය සිදුවන ආකාරය දිස් වේ.


සූර්යාගේ සිට සූර්ය සුලං ඔස්සේ එන්නේ ආරෝපිත අංශු නිසා, චුම්භක ක්ෂේත්‍රයේ චුම්භක බල රේඛා ඔස්සේ ඒවා දෙයාකාරයකින් ගමන් කරනවා. සමහර අංශු පෘථිවිගෝලයට ඇතුලුවීමට අවසථාව නැතිව පෘථිවිගෝලයේ පසුපසින් නැවත අභ්‍යවකාශයට යනවා. තවත් අංශු පෘථිවි ගෝලයේ උතුරු හා දකුණු ධ්‍රැව ඔස්සේ හෙමින් “බස්සනවා” වායුගෝලය තුලට. මෙලෙස සූර්ය සුළං අංශු පෘථිවි චුම්භක ක්ෂේත්‍රයට හසු වී චුම්භක උතුර හා චුම්භක දකුණට “ගානට බැස්සවීම” magnetic reconnection ලෙස හැඳින්වෙනවා.

ඉහත ආකාරයට උතුරු හා දකුණු ධ්‍රැව ආසන්න ප්‍රදේශවලට ඉහල අයනගෝලය තුලට සූර්යාගේ සිට එන ආරෝපිත අංශු ඇතුලු වෙනවා. එවිට, එම අංශු වායුගෝලීය අංශු සමඟ අන්තර්ක්‍රියා කර වර්ණවත් ආලෝක අහසේ ඇති කරනවා. ඊට Aurora යැයි කියනවා. මෙය දෛනිකව සියුම්ව සිදු වෙනවා. උතුරු ධ්‍රැව ප්‍රදේශවල සිදුවන විට ඊට Aurora borealis හෙවත් Nothern lights කියාද, දකුණු ධ්‍රැව ප්‍රදේශවල සිදු වන විට Aurora australis හෙවත් Southern lights කියාද හැඳින්වෙනවා.


සූර්යා සිට ආරෝපිත අංශු අධික ප්‍රමාණයක් ඇතුලු වීම අවශ්‍ය වෙනවා අවුරෝරා ඇති වීමට. ඒ කියන්නේ සූර්යා මත ක්‍රියාකාරිත්වය අධික නම්, එම කාලයේ වැඩිපුර අවුරෝරා ප්‍රබලවත් වැඩිපුරත් දිස් වේවි. http://www.aurora-service.eu/ වැනි වෙබ්අඩවියකට ගොස් අවුරෝරා පිළිබඳ තත්කාලීන අනාවැකි බැලිය හැකිය. එහෙත් අවුරෝරා බැලීමට හැක්කේ ධ්‍රැව ආසන්න රටවලට පමණි (කැනඩාව, ඇලස්කාව, නෝර්වේ, ෆින්ලන්ත වැනි).

මේවායේ වර්ණය තීරණය වන්නේ සූර්ය අංශු ඇවිත් හැප්පෙන පෘථිවි වායුගෝල අණු වර්ගය අනුවයි. සැතපුම් 60ක් පමණ ඉහල අහසේ ඇති ඔක්සිජන් සමඟ හැප්පෙන විට කොල පැහැයක්ද, සැතපුම් 200ක් පමණ ඉහල අහසේ ඇති ඔක්සිජන් සමඟ හැප්පෙන විට රතු පැහැයක්ද, නයිට්‍රජන්, හීලියම්, හයිඩ්‍රජන් අණු සමඟ හැප්පෙන විට නිල් හා දම් පැහැයක්ද ඇති වේ.

පෙර දැක්වූ පෘථිවි චුම්භකගෝලයේ Van Allen radiation belts නම් කොටසක්ද තිබෙනවා. ඒවා පෘථිවිය මැදිකොට ගෙන උලුඳු වඩයක් ආකාරයට පොලොවේ සිට කිලෝමීටර් 1000ත් 60,000ත් අතර පිහිටයි (පොලොව වටේට රවුම් මුදු සේ). මෙම පටි ආකාරයෙන් තිබෙන ස්ථරයේ තිබෙන්නේ අයනයි. සූර්ය සුළං ඔස්සේ එන හා කොස්මික් කිරණවලින් එන අයනවලින් (වැඩිපුරම ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන) කොටසක් මෙම පටිවල රඳවා ගන්නවා. පොලොව වටා ස්ථිරවම මෙවැනි විකිරණ පටි දෙකක් තිබෙන බව පැවසූ විද්‍යාඥයාගේ නමින්ම එම පටි නම් කර ඇත. ස්ථිර පටි දෙකට අමතරව තාවකාලිකවත් එවැනි පටි ඇති වී නැති වී යා හැකි බව සොයා ගෙන ඇත.


ඉනර් රේඩියේෂන් පටිය කිලෝමීටර් 1000ත් 6000ත් අතර අවකාශයක් පුරා ඉහත රූපයේ රතුපාටින් පෙන්වා තිබෙන ආකාරයට පටියක් සේ පවතිනවා. එහෙත් සූර්යාගේ ක්‍රියාකාරිත්වය වැඩි වන කාලයට මෙම පටිය පොලොවට බොහෝ ආසන්නයටම විහිදෙනවා. මීට අමතරව පොලොවේ සමහර තැනකට මෙම පටියේ යට සීමාව බොහෝම පහතට (එනම් පොලොව මතුපිටට සමීපව) පැමිණේ. මෙම පටියේ බහුතරය ප්‍රොටෝන වන අතර ඉලෙක්ට්‍රෝනද ඇත.

අවුටර් රේඩියේෂන් පටිය කිලෝමීටර් 13,000 සිට 60,000 දක්වා අවකාශයක් පුරා ඉහත රූපයේ කොලපාටින් පෙන්වා තිබෙන ආකාරයට පවතිනවා. වැඩිපුරම ඇත්තේ ඉලෙක්ට්‍රෝන වේ. සූර්ය ක්‍රියාකාරිත්වයට සංවේදි වැඩිය.

මෙම රේඩියේෂන් පටි දෙක කරදරයකි චන්ද්‍රිකා හා අභ්‍යවකාශ ගමන්වලදී. චන්ද්‍රිකා මෙම කලාපවල ගමන් කරන නිසා, එහි ඇති විකිරණයෙන් පරිපථ කොටස් පිලිස්සී යා හැකිය. තවද, මිනිසුන් අභ්‍යවකාශයානා තුල මෙම ප්‍රදේශ හරහා ගමන් කරන විට වැඩි විකිරණශීලීතාවකට මුහුන දීමටත් සිදු වේ. තවද, මෙම පටි දෙක අතර ඇති safe zone ලෙස හැඳින්වෙන අවකාශය තරමක් ආරක්ෂිතය (විකිරණය අවමය).

සූර්ය ක්‍රියාකාරිත්වය හා අභ්‍යවකාශ කාලගුණය

සූර්යා හා පෘථිවිය ගැන විද්‍යාත්මක කරුණු කිහිපයක් ගැන අප ඉහතදී විමසා බැලුවා. දැන් බලමු සූර්යාගේ තිබෙන විවිධ සූර්ය ක්‍රියාකාරිත්වයන් (solar activity) හා ඒවා කෙසේ රේඩියෝ තරංග සම්ප්‍රේෂණයන්ට බලපානවාද කියා.

සාමාන්‍ය සූර්ය ක්‍රියාකාරිත්වය අනුව සිදු වන්නේ, සූර්යාගේ සිට විද්‍යුත්චුම්භක කිරණත්, සූර්ය සුළං මඟින් ආරෝපිත අංශුත් පෘථිවිය කරා පැමිණීමයි. එහිදී එක්ස් කිරණ හා ඉහල සංඛ්‍යාත පාරජම්බූල කිරණ වායුගෝලය විසින් ෆිල්ටර් කර දෘෂ්‍යාලෝකය, තාප ශක්තිය රැගෙන එන අධෝරක්ත තරංග, හා යම් රේඩියෝ තරංග පමණක් පොලොව මතුපිටට පතිත වීමට සලස්වනවා. තවද, පෘථිවි චුම්භකගෝලය විසින් සූර්ය සුළං ඔස්සේ එන හා කොස්මික් කිරණ වශයෙන් ඈත විශ්වයේ සිට එන ආරෝපිත අංශු පොලොව මත පතිත වීම වලක්වනවා. මෙලෙසම දිගටම ස්ථාවරව තිබුණා නම් තත්වය බොහෝම පහසු වන්නට තිබුණා. එහෙත් සූර්ය ක්‍රියාකාරිත්වය අතිශය අස්ථාවර නිසා තත්වය වරින් වර විචලනය වෙනවා.

ඉහත ආකාරයට ආරෝපිත අංශු හා අධිශක්ති විද්‍යුත්චුම්භක විකිරණය නිසා ඉහල වායුගෝලයේ තිබෙන අංශු අයනීකරණයට ලක් වීමෙන් අයනගෝලය සෑදෙනවා. මෙම අයනගෝලය (අයනගෝලයේ විවිධ ස්ථර) රේඩියෝ තරංගයන්ට බලපෑම් කරන හැටි අප මීට පෙර අධ්‍යනය කළා. එහිදි හමු වූ වැදගත් කරුණු කිහිපයක් නැවත මතක් කරගමු. ඉදිරියේදී මෙම කරුණු දෙක බොහෝම ප්‍රයෝජනවත්ය.

1. යම් ස්ථරයක ආරෝපණ වැඩි නම්, හා ආරෝපණ සමඟම උදාසීන අණුත් බහුලව ඇත් නම්, එවිට අවසංඛ්‍යාත රේඩියෝ තරංග හායනයට ලක් වේ (D ස්ථරයෙන් සාමාන්‍යයෙන් සිදු වූයේ මෙයයි). එහෙත් සංඛ්‍යාතය වැඩි කරගෙන යන විට, එක්තරා සංඛ්‍යාතයකට වඩා වැඩි සංඛ්‍යාතයන් එම ස්ථරය හරහා විනිවිද යෑමට පටන් ගනී. තවද, අයන ප්‍රමාණය වැඩි වන්නට වන්නට (උදාසීන අණුද අධිකව ඇතිව), එය විසින් අවශෝෂණය කරන සංඛ්‍යාත පරාසයද වැඩි වෙනවා (එනම් වෙනදා විනිවිද ගිය අධිසංඛ්‍යාතයනුත් අවශෝෂණය වේ).

2. යම් ස්ථරයක ආරෝපණ වැඩි නම්, හා ආරෝපණ අතර ඇති උදාසීන අණු ප්‍රමාණය ඉතා අඩුයි නම්, එවිට එම ස්ථරය විසින් රේඩියෝ තරංග වර්තනයට (පරාවර්තනයට) ලක් කරනවා (හායනය අඩුවෙන්; උදාසීන අණු අඩුවන තරමට හායනය අඩු වේ). එහෙත් සංඛ්‍යාතය වැඩි කරගෙන යන විට, එක්තරා සංඛ්‍යාතයකට පසුව ඉහල සංඛ්‍යාතයන් එම ස්ථරයත් විනිවිද යනවා. එසේ වුවද, ආරෝපණ ඝනත්වය වැඩි වන්නට වන්නට එසේ වර්තනයට ලක් කරන සංඛ්‍යාත පරාසයද විශාල වෙනවා (එනම් වෙනදා විනිවිද ගිය අධිංසංඛ්‍යාතයනුතු වර්තනය කරනවා); හායනයත් තවදුරටත් අඩු වෙනවා.

සූර්යාගේ චුම්භක ක්ෂේත්‍රය සංකීර්ණය (එය අපි සෙල්ලම් කරන්න ගන්න දණ්ඩ චුම්භකයකින් වටේට ක්ෂේත්‍රයක් සාදන ආකාරයේ සරල එකක් නොවේ). සූර්යා තුල තිබෙන බොහෝ අංශු ප්ලාස්මා ස්වරූපයෙන් (එනම් ආරෝපිත අංශු) තිබෙන නිසා චුම්භක ක්ෂේත්‍රයට එම අංශු අතිසංවේදී වේ. චුම්භක බල රේඛා ඔස්සේ ඒවා කරකැවෙමින් වේගයෙන් ගමන් කරයි.

සූර්ය ලප යනු තවත් ප්‍රතිපල ගණනවාක් ඇති කරන එවැනි ප්‍රබල සූර්ය ක්‍රියාකාරිත්වයකි. පැහැදිලිවම සූර්යලප හා සූර්ය චුම්භකත්වය අතර ඍජු සම්බන්දතාවක් තිබෙන බැවින් සූර්යාගේ හැම “මඟුලකටම” හේතු වන චුම්භකත්ව හැසිරීම ගැන අධ්‍යනයට හොඳම කෙනා පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි සූර්ය ලප වේ. සාමාන්‍යයෙන් සූර්යලප කිහිපයක් එකට ඇති වේ (sunspot group). මේ සෑම සූර්යලප ගෲප් එකක්ම අනන්‍ය අංකයකින් හැඳින්වේ (එවිට ඒවා ගැන කතා කිරීමට පහසු වේ). සූර්යලප (එමඟින් සූර්යාගේ චුම්භක හැසිරීම) පහත ආකාරයට වර්ගීකරණයකට ලක් කොට ඇත. ඇල්ෆා යනු සූර්යලප ක්‍රියාකාරිත්වය අවම අවස්ථාව වන අතර, ක්‍රමයෙන් පහලට යන විට ක්‍රියාකාරිත්වය වැඩි වේ (ඩෙල්ටා යනු උපරිම ක්‍රියාකාරිත්වය වැඩි අවස්ථාවයි).

Classification
Alpha (α)
Beta (β)
Gamma (γ)
Delta (δ)

අංකයක් ලෙස ගත් විට SF අගයෙන් කියන්නේද ඉහත දේමයි. සූර්යලප කිසිවක් නැති විට සූර්යා ඉතාම ස්ථාවර තත්වයකට පත් වන අතර, එවිට SF අගය 70 ට අඩු වන අතර, උපරිම ක්‍රියාකාරිත්වයක් ඇති විට එම අගය 200 වේ (මෙවිට සූර්යලප 100කට වැඩිය පවතිනවා). මා මෙම වාඛ්‍යය ලියන මොහොතේ SF අගය 85.6කි. තත්කාලීනව මෙම අගය බැලීමට හැකියි http://www.spaceweather.gc.ca/solarflux/sx-4-en.php යන වෙබ්පිටුවෙන්.

සූර්යලප ඉතා සක්‍රිය කාලවලදී සූර්යාගෙන් අර ගිනිකඳු පුපුරා යන්නාක් මෙන් විශාල පිපිරීම් ඇති වී ගිනිදැල් සූර්ය පෘෂ්ටයේ සිට ඉතා ඈතට විසි වෙනවා (ඊට හේතුව ප්‍රබල චුම්භක බල රේඛා ඔස්සේ සූර්යාගේ අභ්‍යන්තරයේ පීඩනයට ලක්ව තිබෙන ආරෝපණවලට එකවර එලියට ඒමට මාර්ගයක් පෑදෙනවා). මේවා solar flare (සූර්ය ගිනිදැල්) ලෙස හැඳින්වෙනවා. සූර්ය කුනාටුවක් (solar storm) ලෙසද කැමති නම් එය හැඳින්විය හැකියි. මෙම සූර්ය ගිනිදැල් නිසා විශාල විකිරණයක් ඇති වෙනවා. විශේෂයෙන් එක්ස් කිරණ වැඩි වශයෙන් පිට විය හැකියි. මෙම ප්‍රබල විකිරණයෙන් (එක්ස් කිරණවලින්) අපේ අයනගෝලයේ D ස්ථරය තවත් අයනීකරණයට ලක් කරනවා. එවිට ඉහත කියූ පළමු කරුණ මත, HF තරංග පවා මෙම ස්ථරයෙන් අවශෝෂණය කරාවි. එවිට, සාමාන්‍යයෙන් හොඳින් අයනගෝලයෙන් ප්‍රයෝජන ලබා ගත් HF තරංග පවා බ්ලොක් වේ. කිසිදු රේඩියෝ සංඛ්‍යාතයන්ට අයනගෝලයේ උපකාරය නැතිව යයි. මෙවැනි තත්වයක් propagation blackout ලෙස හැඳින්වේ.



මෙවැනි අවස්ථාවක D ස්ථරය තවත් නරක අතට හැරෙව්වත්, F/E ස්ථරවලට එය සුභදායි ලෙස බලපානවා මොකද එම ස්ථරවලත් අයන ඝනත්වය තවත් වැඩි වෙන නිසා (ඉහත කාරණා දෙකෙන් දෙවැනි කාරණය පවතිනවා). ඒ විතරක් නොව, ඉහල ස්ථරවල මෙලෙස වැඩි වන අයන ඝනත්වය එකවර අඩු වෙන්නේ නැතිව යම් කාලාන්තරයක් අල්ලාගෙන සිටිනවා. එනිසා, රාත්‍රී කාලයේදී (D ස්ථරය නැති නිසා), ඉහල ස්ථර ඉතා හොඳ උදව්වක් ලබා දෙනවා රේඩියෝ තරංගවල ප්‍රචාරණයට.

සූර්යා ගිනිදැල්ද වර්ගීකරණයකට ලක් කර තිබෙනවා පහත ආකාරයට. ප්‍රබලතාව අඩු අගයේ සිට වැඩි එක දක්වා පිලිවෙලින් දකවා තිබේ. එක් ක්ලාස් එකක් මීට පෙර තිබෙන ක්ලාස් එක මෙන් 10 ගුණයක් ප්‍රබලය (එනම් මෙම ක්ලාස් ලඝු පරිමාණයටයි සාදා තිබෙන්නේ). මේ සෑම ක්ලාස් එකක්ම නැවත උපකාණ්ඩ 9කට (1 සිට 9) බෙදනවා (අගය වැඩි වන විට ප්‍රබලතාව ක්‍රමයෙන් වැඩිවීමක් හඟවයි).

Class
Significance
A
ඉතාම දුබලය (සාමාන්‍ය පසුබිම් විකිරණයට ආසන්නය)
B
A ට වඩා දස ගුණයකින් සැරය. එහෙත් මෙයද දුබලයි.
C
B ට වඩා දස ගුණයකින් සැරය. තවමත් මෙය ප්‍රබල මට්ටමක් නොවෙයි.
M
Cට වඩා දස ගුණයක් සැරය. බලපෑමක් ඇති කෙරේ.
X
Mට වඩා දස ගුණයක් සැරය. ඉතා විශාල බලපෑම් ඇති කෙරේ.

C හා ඊට වඩා අඩු පංතියක සූර්ය ගිනිදැල්වලින් අපේ වායුගෝලයට එතරම් බලපෑමක් නැත. M පංතියේ ගිනිදැල්වලින් දුර්වල පෘථිවි චුම්භක ප්‍රබලතාවක් තිබෙන ධ්‍රැව ආසන්න ප්‍රදේශවලට බලපෑම් කරයි (එනම් එම ප්‍රදේශවල වායුගෝල අයන මට්ටම ඉහල යවයි). මින් වඩාත්ම බලපෑම් X පංතියේ ගිනිදැල් විසින් සිදු කරයි. ඇත්තටම X1 සිට X9 දක්වා සාමාන්‍ය ප්‍රබලතාවන් ක්‍රමාංකනය කර තිබුණත් මීටත් වඩා සැර ගිනිදැල් ඉඳහිට ඇති වන අතර, එවිට X20, X28 ආදි ලෙස ඒවා ක්‍රමාංක කෙරේ.

A, B, C, M, X යන සූර්ය දැල් පංතීන් හා ඇල්ෆා, බීටා ආදී චුම්භක වින්‍යාස අතර සම්බන්දයක් තිබේ. එනම් චුම්භක වින්‍යාසය සංකීර්ණ වන විට (එනම් චුම්භක ක්‍රියාකාරිත්වය වැඩි විට) තමයි සූර්ය දැල්වල ප්‍රබලතාවත් වැඩි වන්නේ. ඒ අනුව ඩෙල්ටා වින්‍යාසයකදී X වැනි ප්‍රබලතාවකින් යුතු සූර්ය ගිනිදැල් ඇති වේවි.

සෑම සූර්ය ගිනිදැල්ලක් සමඟම විශාල ආරෝපිත අංශු (පදාර්ථ) ප්‍රමාණයක්ද පිට වෙනවා (විද්‍යුත්චුම්භක විකිරණයට අමතරව) හරියට ගිනිකන්දක් පුපුරන විට ඉන් ලාවා පිටවන්නා සේ. මේවා Coronal Mass Ejection (CME) ලෙස හැඳින්වේ. විකිරණය මිනිත්තු 8කින් පමණ පොලොවට ළඟා වුවත්, cme පොලොවට ඒමට අඩුම ගානේ පැය 24ක්වත් යනවා (තත්පරයට කිලෝමීටර් 1000ක පමණ වේගයෙන් එන නිසා). වේගය අඩුයි නම් දවස් 3ක් දක්වා වුවද ඒවාට පැමිණීමට ගත වේවි.

cme නම් අපිට කරදරයක්මයි. විශේෂයෙන් අහසේ රඳවා තිබෙන චන්ද්‍රිකාවල පරිපථ පිලිස්සිය හැකියි. එසේ නැති වුවත්, එම කාලය තුල චන්ද්‍රිකාවල ඇති සූර්ය පැනල ආදි “අඬුපඬු” හකුලාගෙන අක්‍රියව පවත්වාගෙන යනවා හානිය හැකිතරම් අඩු කර ගැනීම සඳහා.

මීට අමතරව වායුගෝලයට එම අංශු ඇතුලු වී අවුරෝරා ආදිය ඇති කරයි. වායුගෝලයේ ඉහල ස්ථරවල අයන ඝනත්වයද වැඩි කරාවි.

තවද cme නිසා හා සාමාන්‍යයෙන් නිරන්තරයෙන්ම පවතින සූර්ය සුළං නිසා අයනගෝලයට ධ්‍රැව ඔස්සේ කැරකි කැරකි ඇතුලුවන ආරෝපිත අංශු වේගයෙන් පොලොව වටා ගමන් කරයි. ඔබ දන්නවා ඕනෑම ආකාරයක ආරෝපණයක් ගමන් කරන විට ඊට විදුලි ධාරාවක් කියා කියනවා. ඒ කියන්නේ අයනගෝලයේ නිරන්තරයෙන්ම විදුලි ධාරා ගමන් කරනවා. මේවා ring currents ලෙස හැඳින්වෙනවා. CME නිසා අයනගෝලයේ අතිප්‍රබල විදුලි ධාරා (ඇම්පියර් මිලියනය ඉක්මවා යන) පවා ඇති වේ.

මෙලෙස ධාරා ගමන් කිරීමේදී අලුත් ප්‍රබල චුම්භක ක්ෂේත්‍රද හටගන්නවා (විද්‍යුත්චුම්භකත්වය). මෙවැනි ප්‍රබල චුම්භක ක්ෂේත්‍රවලට හැකියි පොලොවේ හා ඒ ආසන්න ප්‍රදේශවල ඇති ලෝහමය ද්‍රව්‍ය මත විදුලියන් ප්‍රේරණය කරන්නට (එනම් ජෙනරේටර් ක්‍රියාව ඇති වේ). සමහරවිට සැතපුමට වෝල්ට් 10ක් තරම් ප්‍රේරණයක් කිරීමට ඊට හැකිය. එවිට සැතපුම් 200ක් දිග තෙල් හෝ ජලය ගෙන යන පයිප්ප නලයක වෝල්ට් 2000ක වෝල්ටියතාවක් පවතිනු ඇත (කවුරුන් හෝ එය ඇල්ලුවොත් සමහරවිට විදුලි සැර වැදී මියැදෙන්නටත් හැකියි). සන්නායකය/ලෝහය විශාල/දිග වැඩි වන්නට වන්නට ප්‍රේරණය වන විදුලි ප්‍රමාණය වැඩි වේ. එනිසා කිලෝමීටර් සිය දහස් ගණන් ඈතට විහිදෙන විදුලි කම්බි මත අමුතුවෙන් ඇම්පියර් දහස් ගණනක් ප්‍රේරණය වී විදුලි පද්ධතිය බිඳ හෙලිය හැකිය. තවමත් අප හරිහැටි සොයා නොගත් බොහෝ දේවල් සිදු වෙනවාත් ඇති (ඒ ගැන විමර්ෂනශීලීව සොයා බලන්න පර්යේෂකයන් සේ).

තවද, මෙලෙස හටගත් අස්ථාවර චුම්භක ක්ෂේත්‍ර නිසා පොලොවේ සෑහෙන්න පමණකට ස්ථාවර චුම්භක ක්ෂේත්‍රය යම් යම් තැන්වලදී ප්‍රබල කිරීමටත් යම් යම් ස්ථානවලදී දුබල කිරීමටත් හේතු වෙනවා. ඒ කියන්නේ දැන් සම්ප්‍රයුක්ත පෘථිවි චුම්භක ක්ෂේත්‍රය අස්ථාවර වෙනවා (විචලනය වෙනවා). මෙවැනි විචලනයක් අධිකව සිදුවන විට geomagnetic storm (භූචුම්භක කුනාටුවක්) ලෙස හැඳින් වෙනවා.

චුම්භක ක්ෂේත්‍රයක ප්‍රබලතාව (හා එහි inclination/දිශාව ආදිය) මැනීමට භාවිතා කරන උපකරණ magnetometer (චුම්භකමානය) වේ (Gaussmeter හෝ Teslameter යන නම්වලින්ද සමහරවිට ඒවා හැඳින්විය හැකිය). පොලොව පුරා ස්ථාන කිහිපයක සිට නිල දත්ත වශයෙන් සැලකිය හැකි අගයන් ලබා දෙන චුම්භකමාන සවි කර තිබේ. මේ එක් එක් මධ්‍යස්ථානය විසින් අඛණ්ඩව පොලොවේ චුම්භක ක්ෂේත්‍රය දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මැන දත්ත එකතු කරමින් සිටිනවා.

ඉහත දත්ත පැය 3න් 3(දවසක් තුල කාණ්ඩ 8කට) කඩා, ඒවා විශ්ලේෂණය කරනවා. පළමු “පැය තුනේ කාණ්ඩය” පටන් ගන්නේ ග්‍රිනිච් වෙලාවෙන් 00:00 සිටයි (02:59 දක්වා). දෙවැන්න 03:00ටත් තෙවැන්න 06:00ටත් ආදී ලෙස කාණ්ඩවලට කැඩේ. එම පැය තුනේ කාලයක් තුල එම උපකරණයට සෑම නිමේෂයක් පාසාම විචලනය වන භූචුම්භක ප්‍රබලතාව සංවේදනය වේ (මැන ගැනේ). එසේ පැය 3ක කාලය අවසන් වෙත්ම, එම කාලය තුල සටහන් වූ අවම හා උපරිම විචලන අගයන් දෙකෙහි වෙනස ලබා ගැනේ. මෙලෙස සෑම මධ්‍යස්ථානයකම සිදු කෙරේ.

අක්ෂාංශ දිගේ (එනම් පොලොවේ උඩට පහලට යන විට) භූචුම්භක ප්‍රබලතාව මෙන්ම එහි විචලනයද වෙනස්ය. ධ්‍රැව ආසන්නයට යන විට චුම්භක ක්ෂේත්‍ර ප්‍රබලතාව දුර්වල වන අතර, එහි විචලනය ඉතා වැඩිය (මොකද සූර්යාගේ බලපෑම තදින්ම සිදු වන්නේ දුර්වල ධ්‍රැව ආසන්න ප්‍රදේශවල බැවින්). එනිසා, සමකය ආසන්නයේ තිබෙන මධ්‍යස්ථානයකින් යම් කාල සීමාවක් තුල ලබා ගත් අගයෙත්, එම කාල සීමාව සඳහාම ධ්‍රැව ආසන්න මධ්‍යස්ථානයකින් ලබා ගත් අගයෙත් විශාල වෙනසක් ඇත. අවුරුදු ගණනක් පුරා ලබා ගත් දත්ත අනුව, මෙම අගයන් දෙක සාම්‍ය (equivalent) කළ හැකියි (ඊට “බර තැබීම” - weighting කියා කියනවා).

උදාහරණයක් ලෙස, යම් අවස්ථාවක සමකය ආසන්නයේදී ලබා ගත් අගය 12 නම් හා ඒ අවස්ථාවේදීම ධ්‍රැව ආසන්න මධ්‍යස්ථානයකදී ලබා ගත් අගය 23 නම්, මේ අගයන් දෙකම එකම දෙයක් තැන් දෙකකට පෙනෙන/දැනෙන විදිය කියා සාම්‍ය ලෙස සැලකිය හැකිය (“සමකය අසලදී 12 කියන්නෙත් ධ්‍රැවය අසලදී 23 කියන්නෙත් එකම දේටයි”). මෙලෙස සාම්‍ය කළ පසු ලැබෙන අගයට අප k-index කියා කියනවා. එහි k අකුර ජර්මන් වචනයක් වන Kennziffer (“ලාක්ෂණික අංකය” යන තේරුම ඊට ඇත) වචනයේ මුල් අකුර වන අතර මෙම කේ-ඉන්ඩෙක්ස් ක්‍රමය 1938දී ආරම්භ වූවකි.

එහි අගය 0 සිට 9 දක්වා වේ. 0 යනු භූචුම්භක ක්ෂේත්‍රය ස්ථාවරව කැළඹිලි නැතිව තිබෙන බවයි. අගය ඉහල යන විට කැළඹිලි ගතිය වැඩි බව කියැවේ. පහත දැක්වෙන්නේ එක් ප්‍රදේශයක් සඳහා මැග්නෙටෝමීටරයෙන් ලබා ගත් අගයන්ට k-index අගයන් ලබා දෙන ආකාරයයි.

චුම්භක ප්‍රබලතාව nT (නැනෝටෙස්ලා) ඒකකයෙන් K-index අගය
0-5 0
5-10 1
10-20 2
20-40 3
40-70 4
70-120 5
120-200 6
200-330 7
330-500 8
>500 9

දැන් ලෝකයේ ඕනෑම මධ්‍යස්ථානයකින් ලබා දෙන කේ-ඉන්ඩෙක්ස් අගය දළ වශයෙන් සමානය. දළ වශයෙන් සමාන යැයි කියූ දේ තවදුරටත් පැහැදිලි කිරීමට අවශ්‍යයි. පොලොවේ භූචුම්භක ක්ෂේත්‍රය හැමතැනම සමාන නැත. එය අක්ෂාංශ ඔස්සේ යම් වෙනස්වීමක් තිබෙනවා. සූර්යාගේ බලපෑම ශූන්‍ය යැයි සිතුවොත් මෙම වෙනස්වීම දිගුකාලීනව ස්ථාවර එකකි (අපට පුරෝකථනය කළ හැකි එකකි). එවිට එහි කෙටිකාලීන වෙනස්කම් නැත. මෙවැනි තත්වයකදී ධ්‍රැව ප්‍රදේශයක 10 අගයද සමකාසන්න ප්‍රදේශයක 14 අගයද තිබේ නම්, දිගු කාලයක් එලෙසම තිබේවි. ඉතිං, ධ්‍රැව ප්‍රදේශයට 10 පොදු වන අතර, සමක ප්‍රදේශයට 14 පොදු යැයි සැලකිය හැකිය. කෙනෙකුට අර්ථ දැක්විය හැකියි “පොදු අගය” යනුවෙන් දර්ශීය අගයක්. ඒ ඒ අක්ෂාංශකවලට පොදු අගය සංඛ්‍යාත්මකව වෙනස් වුවත්, එය “පොදු අගයයි”. එවිට, අගයෙන් අසමාන වුවත්, සංකල්පයෙන් සමාන වේ. මෙන්න මෙවැනි තත්වයක් තමයි ඉහතදී දළ අගය ලෙස සලකන්නේ.

එහෙත් ප්‍රායෝගිකව සූර්යාගේ බලපෑම ශූන්‍ය නැහැ. පොලොවේ තැනින් තැන අවිනිශ්චිත විචලනයන් එය විසින් ඇති කරනවා. එනිසා එක් එක් මධ්‍යස්ථානවලදී මැනෙන්නේ ඒ ඒ ප්‍රදේශවල තත්කාලීනව තිබෙන තත්වයයි. එම වෙනස්කම් ඉහත k-index තුල මතු වෙනවා (ඒ අනුව මෙහිදී සලකා බලන්නේ විචලනය වේ; උදාහරණයක් ලෙස, ඔබ මට රුපියල් 100ක් දෙනවා, මා ඔබට 120ක් දෙනවා, හුවමාරුවේ වෙනස හෙවත් විචලනය 20යි). ඒ නිසා, එක් එක් මධ්‍යස්ථානයකින් ලැබෙන අගයන් සමාන නැති වීමට පුලුවන් (සමාන නම් ඉතිං මධ්‍යස්ථාන කිහිපයක් තබා ගන්න එකේ තේරුමකුත් නැහැනෙ).

ඉහත එක් එක් මධ්‍යස්ථානයෙන් ලැබෙන විවිධ k-index අගයන් සියල්ල කැටි කොට සම්මත එක් කේ-ඉන්ඩෙක්ස් අගයක් මුලු පෘථිවියේ සෑම තැනම සඳහා පොදුවේ ලබා දෙනවා සෑම පැය 3කට සැරයක්ම. ඊට planetary k-index (Kp) ලෙස කියනවා. මෙම කේපී අගය වැඩි වන වෙනවා යනු භූචුම්භක ක්ෂේත්‍රයේ කැළඹිලි වැඩි බවයි. මෙම අගය 5ට වැඩි විට geomagnetic storm තත්වයක් ඇති බව කියයි. මෙම අගයන් තත්කාලීනව බලාගත හැකියි http://www.swpc.noaa.gov/products/planetary-k-index වැනි වෙබ්අඩවියකින්.


තවත් ඉන්ඩෙක්ස් එකක් සාදා ගන්නවා k index එකෙන් (එක් එක් මධ්‍යස්ථානය සඳහා වෙන වෙනම). ඒ තමයි A-index කියන්නේ. මෙම ඉන්ඩෙක්ස් එකෙන් පැය 24ක් තුල තත්වය කියනවා. කේ ඉන්ඩෙක්ස් අගයන් දන්නවා නම් අපටම ඒ-ඉන්ඩෙක්ස් අගය සෙවිය හැකියි. පළමුවෙන්ම පහත වගුවට අනුව, 0 සිට 9 දක්වා වූ කේ අගයන් (සෑම පැය 3ක් සඳහා) a-index අගයන් බවට පත් කරන්න (මෙහි කැපිටල් A අකුර නොව සිම්පල් a අකුර ඇති බව මතක තබා ගන්න; a-index හා A-index දෙක සමාන නැත).

K-index a-index
0 0
1 3
2 7
3 15
4 27
5 48
6 80
7 140
8 240
9 400

උදාහරණයක් ලෙස, යම් දිනයක් තුල යම් මධ්‍යස්ථානයකින් ලබා ගත් කේ අගයන් වූයේ 3 4 6 5 3 2 2 1 නම්, එහි A-index එක සොයමු. පළමුවෙන්ම මේ එක් එක් කේ අගයන් a-index අගයන් බවට පත් කරගමු - 15 27 80 48 15 7 7 3. දැන් මෙම අගයන් එකතු කර 8න් බෙදන්න (ඇවරේජ් කරන්න) – (15+27+80+15+7+7+3)/8 = 25.25 වේ. මෙම 25.25 තමයි එදින A-index අගය එම මධ්‍යස්ථානය අවට ප්‍රදේශය සඳහා.

මධ්‍යස්ථාන කිහිපයකින් ලබා ගත් K index අගයන්ගෙන් පෘථිවියටම පොදු තනි Kp index අගයක් සාදා ගත්තා සේම, මධ්‍යස්ථාන කිහිපයකින් ලබා ගත් A index අගයන්ගෙන් පෘථිවියටම පොදු තනි Planetary A index (Ap) සාදා ගත හැකියි. මෙහිදී එකළඟ පැය තුනේ අගයන් 8ක් ගෙන මේ අවසානයට ලබා ගත් අගයට වැඩි බරක්ද (වැදගත්කමක්ද), එතැන් සිට ආපස්සට ඇති අගයන්වලට පිළිවෙලින් ක්‍රමයෙන් අඩු බරක් ලැබෙන සේයි මෙම මධ්‍යන්‍ය අගය ගණනය කරන්නේ (ඊට ගණිතයේදී moving average යන නම ව්‍යවහාර කෙරේ). එක් එක් ප්‍රයෝජන නිසා තවත් ජාතියේ ඉන්ඩෙක්ස් වර්ග සාදා තිබෙනවා කේ ඉන්ඩෙක්ස් එක පදනම් කර ගෙන. මෙම කේ අගයන්, හා වෙනත් බොහෝ විස්තර https://www.spaceweatherlive.com/en/ වැනි වෙබ්පිටුවලින් තත්කාලීනව බැලිය හැකිය. K හෝ A ඉන්ඩෙක්ස් අගයන් වැඩි වන්නට වන්නට රේඩියෝ තරංග ප්‍රචාරණය අස්ථාවර (unstable propagation) වේ.

සූර්යාට භ්‍රමණය වීමට දවස් 27ක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ පොලොවේ සිට යම් සූර්ය ලපයක් මේ මොහොතේ දකී නම්, දවසකින් දෙකකින් එය නොපෙනී ගොස් නැවත දවස් විසි ගාණකට පසුයි එය දර්ශනය වන්නට පටන් ගන්නේ. මෙම දවස් විසි ගණන තුල බොහෝ දේවල් සිදු වී තිබිය හැකියි. පොලොවට මුලින් පෙනෙන අවස්ථාවේදී වඩා එය වඩා සක්‍රිය වී තිබිය හැකියි. නැතහොත් දුබල වී තිබිය හැකියි. නැතහොත් එතරම් වෙනසක් නැතිවම තිබිය හැකියි. මේ ආකාරයට සූර්ය භ්‍රමණයද සූර්ය ක්‍රියාකාරිත්වය අපට දැනෙන විදිය වෙනස් කළ හැකියි.

UV කිරණවලට වඩා ශක්තියක් soft x-ray වලට ඇති නිසා uv කිරණවලට වඩා විනිවිද යෑමේ හැකියාවක් ඊට ඇත. මේ දෙකටම වඩා ශක්තියක්ද එබැවින් විනිවිද යෑමේ හැකියාවක්ද hard x-ray වලට ඇත. ඉතිං සූර්යාගෙන් පිටවන මේ තුන් ආකාරයේම විකිරණ අපේ අයනගෝලයට බලපාන්නේ වෙනස් ආකාරවලටයි. පාරජම්බූල කිරණ ඊට පළමුවෙන්ම හමුවන F ස්ථරයේ අයන ඝනත්වය වැඩි කරන අතර, මෘදු එක්ස් කිරණ F ස්ථරයද අයනීකරණය කරමින්ම එය විනිවිද ගොස් දෙවැනියට තිබෙන E ස්ථරයේ අයන ඝනත්වය වැඩි කරන අතර, දෘඪ එක්ස් කිරණ ඉහත ස්ථර දෙකම අයනීකරණය කරමින් මුල් ස්ථර දෙකම විනිවිද ගොස් D ස්ථරයේ අයන ඝනත්වය වැඩි කරයි.

සූර්යලපවලින් වැඩිපුරම පාරජම්බූල කිරණ නිකුත් වන නිසා, සූර්යලප වැඩි කාලයන් F ස්ථරයට සුභය. එම ස්ථරයේ muf වැඩි කරනවා (එනම් එම ස්ථරයෙන් පරාවර්තනය කරන සංඛ්‍යාතය තවත් වැඩි වෙනවා). සූර්ය ගිනිදැල් (විශේෂයෙන් M හා X ක්ලාස්) නම් හැමවිටම වාගේ අහිතකරයි මොකද ඉන් වැඩිපුර එක්ස් කිරණ පිට වෙන නිසා, ඉන් D ස්ථරයේ අයන ඝනත්වය වැඩි කර, අවශෝෂනය වැඩි කරනවා.

ඉහත විස්තර කල පරිදි සූර්යා හා අභ්‍යවකාශයේ සිදුවන විවිධ වෙනස්කම් හා සංසිද්ධි හරියට පොලොවේ කාලගුණ වෙනස්වීම වගෙයි (වෙලාවකට වහිනවා; අකුණු ගහනවා; හැම වැස්සකදීමත් අකුණු ගහන්නේ නැහැ; සුළං හමනවා; සුලි කුනාටු හමනවා; …). සූර්යාගේ හා අභ්‍යවකාශයේ ඇති වන තත්වයන්ගෙන් සමහර ඒවා කාලාවර්තව (periodically) සිදු වෙනවා (ඒවා පුරෝකතනය කළ හැකියි); සමහර ඒවා අහඹු ලෙස සිදු වන්නේ. එනිසා එම සමස්ථ ක්‍රියාවලිය space weather (අභ්‍යවකාශ කාළගුණය) ලෙස නම් කරනවා. අප මෙතෙක් බොහෝ වේලාවක් ඉගෙන ගනිමින් සිටියේ මෙම ස්පේස් වෙදර් ගැන තමයි. තවද, සමකය ආසන්නයේ සිටින ලංකාව වැනි රටවලට ඇත්තටම ඉහල අක්ෂාංශක (higher latitude) ප්‍රදේශවල මෙන් විශාල ස්පේස් වෙදර් තත්වයන්ට මුහුන දෙන්නට සිදු වන්නේ නැත.
 

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,