Friday, February 17, 2017

තොරතුරු දැනගැනීමේ අයිතිය

ශ්‍රී ලංකාවේ මේ වන විට පුරවැසියාට තොරතුරු දැන ගැනීම මූලික අයිතිවාසිකම හිමි කර දී ඇත. රටේ ඉහළතම/මූලිකම නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මානව හිමිකම් පරිච්ඡේදයේ මෙම නව හිමිකම ඇතුලු කළේ දැනට පවතින යහපාලන ආණ්ඩුවයි. අප කුමන දොස් නැඟුවත්, පොරොන්දු වූ නමුත් තවමත් ඉටු කර නොමැති වටිනා ප්‍රතිසංස්කරණ තවමත් පැවතියත්, තොරතුරු දැනගැනීමේ අයිතිය ලබා දීම හා මේ වන විට එය සක්‍රිය කරවීම පිළිබඳව ජනපති, අගමැති, හා විශේෂයෙන් ජනමාධය අමාත්‍ය ගයන්ත කරුණාතිලකට "දෝත් මුදුන් තබා" ආචාරය කළ යුතුය. එම පනත හා ඊට අනුබද්ධිත රෙගුලාසි කියවා බලන විට, ඇත්තටම ඇඟ කිලිපොලා යන තරමේ ආශ්වාදයක් ලැබීමි. ඊට හේතුව එම රීති හා රෙගුලාසි එතරම් "ශුද්ධවන්ත" හා බලසම්පන්නය. රටේ සියලු දූෂන හා වංචා එක මොහොතින් වාෂ්ප කළ හැකි යැයි කෙනෙකුට සිතිය හැකි තරමට එය බලවත් ආකාරයෙන් පුරවැසියාට හිමිකර දී ඇත. ඉතිං, දැන් පුරවැසියා එම කසය අතට ගෙන, දූෂනය පිටුදැකීමට පෙල ගැසීමට සූදානම් විය යුතුය.

පහත මා දක්වන්නේ මෙම පනත හා රෙගුලාසි ලබා ගත හැකි ලින්ක්ය. ඒවා රජයේ නිල වෙබ්අඩවියක ලින්ක් නිසා නිරවද්‍ය නිල ඒවා බවට ස්ථිර කළ හැකියි. භාෂා තුනෙන්ම ඇති නිසා, යම් හෙයකින් එක් එක් භාෂා පිටපත්වල ඇති වගන්තිවල නොසිතූ ලෙස වෙනස්කම් තිබේ නම්, සිංහල පිටපතේ තිබෙන වගන්ති නිවැරදි යැයි සැලකිය යුතු යැයි එම නීතියේ 44 වන වගන්තියේ සඳහන්ය (ඇත්තටම මෙවැනි වගන්තියක් ඇතුලු කිරීම සම්ප්‍රදායකි).

තොරතුරු දැනගැනීමේ පනත (ඉංග්‍රිසි බසින්)
තොරතුරු දැනගැනීමේ පනත (සිංහල බසින්)
තොරතුරු දැනගැනීමේ පනත (දෙමල බසින්)

තොරතුරු දැනගැනීම සම්බන්ද රෙගුලාසි (ඉංග්‍රිසි බසින්)
තොරතුරු දැනගැනීම සම්බන්ද රෙගුලාසි (සිංහල බසින්)
තොරතුරු දැනගැනීම සම්බන්ද රෙගුලාසි (දෙමල බසින්)
ඉහත රෙගුලාසිවලට එකතු කළ සංශෝධනය (ඉංග්‍රිසි බසින්)
ඉහත රෙගුලාසිවලට එකතු කළ සංශෝධනය (සිංහල බසින්)
ඉහත රෙගුලාසිවලට එකතු කළ සංශෝධනය (දෙමල බසින්)

මා මෙම ලිපියෙන් සරලවත් කෙටියෙනුත් ලියන්නට අදහස් කරන්නේ කොහොමද පුරවැසියා මෙම අයිතිය භාවිතා කළ හැක්කේ කියා පෙන්වීමටය. එහෙත් ඊට පෙර නීති හා රෙගුලාසි ගැන යම් අවබෝධයක් ලබා දීම සුදුසු යැයි සිතේ (ඒ ගැන නොදන්නා අයට).

අභාග්‍යයකට මෙන් ලංකාවේ සාමාන්‍ය (පාසල්) අධ්‍යාපනයේ රටේ නීතිය ගැන කිසිම අවබෝධයක් ලබා නොදේ. එසේ තිබියදීත් නීතිය හැමවිටම කියා සිටින්නේ හා පිලිගන්නේ පුරවැසියා නීතිය දැන සිටිය යුතු බවත් හා දන්නා බවත්ය (ලොව කොතනත් එම පිලිගැනීම එලෙසම තිබේ). ඇත්තටම එතැන නීතියේ වැරැද්දක් නැත; නීතියට එසේ පිලිගැනීමට බල කෙරී තිබෙන්නේ ප්‍රායෝගික කරුණක් නිසාය. එනම්, යම් යම් බරපතල වැරදි සිදු කර "මා එය නීතිවිරෝධි යැයි දැනන් හිටියෙ නැහැ" කියා මිනිසුන් අපරාද කිරීමට පෙළඹීම ඉන් වැලැකේ.

ලංකාවේ නීති සෑදීමේ අනන්‍ය (එකම) බලය තිබෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුවට අලුත් නීති ගෙන ඒමට මෙන්ම, තිබෙන නීති සංශෝධනය කිරීමට, හෝ අහෝසි කර දැමීමට බලය ඇත. මේ තුන් ආකාරයේම නීති සෑදීමේ කාර්යන් සිදු කරන්නේ පාර්ලිමේන්තුවට ගෙන එන නීති කෙටුම්පතකිනි (bill). යම් කෙටුම්පතක් එවිට එහි සිටින මන්ත්‍රින් විසින් වාද විවාද සිදු කොට විවිධ වෙනස්කම් (සංශෝදන) ඇතිව හෝ නැතිව සම්මත කර ගත හැකිය. එසේ සම්මත වූවාට පසුව එය නීති පනතක් (act of parliament) බවට පත් වන්නේ කථානායකගේ අත්සන ලැබුණාටත් පසුවයි.

සාමාන්‍යයෙන් පනතකින් හඳුන්වාදුන් බොහෝ නීති වගන්ති තවදුරටත් විස්තරාත්මක කළ යුුතු අවස්ථා තිබෙනවා. උදාහරණයක් ලෙස, තොරතුරු දැනගැනීමේ පනතම ගමු. එහි තිබෙනවා පුරවැසියෙකු තොරතුරක් ඉල්ලූ විට, අදාල තොරතුරු නිලධාරියා විසින් එම පුරවැසියාට එම ඉල්ලීම ලැබුණු බවට ලිඛිතව දැනුම් දිය යුතුය කියා. ඉතිං පනතේ එම ලිඛිතව දැනුම් දිය යුතු ආකාරය හා ඊට අදාල විස්තර නැත. තවත් උදාහරණයක් ගමු. තොරතුරු දැනගැනීමේ පනතේ තොරතුරු කොමිසමක් පත් කෙරේ. එම කොමිසමට හැකියාව තිබෙනවා පුරවැසියන් විසින් තොරතුරු ඉල්ලා සිටින විට ගෙවිය යුතු මුදලක්/ගාස්තුවක් නියම කිරීමට. ඉතිං එම ගාස්තු පනත අනුමත කරන අවස්ථාවේ නියමිත නැත. මෙන්න මෙවැනි අවස්ථාවලදී තමයි රෙගුලාසි (regulations) අවශ්‍ය වන්නේ.

ඒ අනුව, රෙගුලාසි යනු යම් පනතක (නීතියක) වැඩිමනත් විස්තර සහිත නීති කඩදාසියකි. යම් යම් කාරණා ඉෂ්ට කර ගැනීමේදී පිරවිය යුතු ෆෝර්ම් ආකෘතිය, ලැබෙන කුවිතාන්සිවල ආකෘතිය, ගාස්තු මොනවාද, හා පවතින තත්වයන් අනුව කාලෙන් කාලෙට කඩිනමින් වෙනස් කළ යුතු රීතින් තමයි රෙගුලාසි ඔස්සේ පනවන්නේ.

පනතක් සංශෝධනය කරනවාට වඩා රෙගුලාසි සංශෝධනය කිරීම ඉතාම පහසුය. බොහෝ විට අදාල විෂය භාර ඇමති හෝ වෙනත් රාජ්‍ය අධිකාරියක් විසිනුයි රෙගුලාසි පනවන්නේ. ඇත්තටම නීතිවලට තිබෙන බලයම රෙගුලාසිවල තිබේ. රෙගුලාසි විවිධ ආයතන විසින් පැනවුවත්, ඒවා අවසානයේ පාර්ලිමේන්තුවට යවා සම්මත කරගත යුතු වෙනවා. එනිසා අවසානයේ රෙගුලාසි පවා සම්මත කරන්නේ පාර්ලිමේන්තුවම තමයි.

ඉතිං ඉහත පනත හා රෙගුලාසි කියවා මේ රීති හා රෙගුලාසි ගැන අවබෝධයක් ලබා ගත හැකියි. තොරතුරු නීතිය ගැන හොඳ නිරවුල් අවබෝධයක් ලබා ගැනීමට ඉහත ලින්ක්වල ඇති පනත හා රෙගුලාසි කියවිය යුතු වුවත්, බොහෝ දෙනා එතරම් ඒ සඳහා මහන්සි වේවිදැයි සැක සහිතය. එනිසා, කෙටියෙන් එම අයිතිය අපට භාවිතා කළ හැකි ආකාරය බලමු.

සෑම පුරවැසියෙකුටම මෙම අයිතිය තිබේ. ඔබ ඉල්ලා සිටින තොරතුරු ඔබ මොකටද පාවිච්චි කරන්නේ, ඇයි ඒවා ඉල්ලන්නේ වැනි ඔබට එම තොරතුරු අවශ්‍ය ඇයි යන හේතුව කීමට ඔබ බැඳී නැත. එනිසා බිය නොවිය යුතුයි ඔබේ අභිප්‍රාය කුමක් වුවත්. අදාල නිලධාරිියා ඇසුවෙත් මේ තොරතුරු කුමකටද කියා ඔහුගෙන් ඇසිය යුතුයි "මොන බම්බුවකටද ඒක තමුසෙට" කියා.

එසේ ලබා ගත් තොරතුරු ඔබට කැමති විදියට භාවිතා කළ හැකියි. අවශ්‍ය නම් පොතක් ලෙස පල කිරීම, පත්තරයට හෝ අන්තර්ජාලයේ ලිවීම, හෝ ඕනෑම දෙයක් කළ හැකියි. එනම් එම තොරතුරුවලට බුද්ධිමය දේපල අයිතියක් කා සතුවත් නොමැතිය.

ජනපති, අගමැති, ඇමති/අමාත්‍යංශ, පාර්ලිමේන්තුව, උසාවි, පලාත් සභා, ප්‍රාදේශිය සභා/නගර සභා/මහ නගර සභා යන සියලු පලාත් පාලන ආයතන, සියලුම රාජ්‍ය ආයතන (දෙපාර්තමේන්තු, අධිකාරි, කොමිෂන්, මණ්ඩල, සංස්ථා, ආදි) වල සියලු කටයුතු ගැන තොරතුරු ඔබට ඉල්ලා සිටිය හැකිය.

තවද, යම් සමාගමක/වානිජ ආයතනයක අඩුම ගානේ 25%ක අයිතිය (කොටස්) ඍජුව හෝ වක්‍රව රජය සතු නම්, එවැනි ආයතනද මීට ඇතුලත් වේ (ටෙලිකොම්, එයාර් ලංකා, ලංකා ට්‍රාන්ස්ෆෝර්මර්ස් ලිමිටඩ්, ICTA  වැනි).

තවද, සියලුම විශ්ව විද්‍යාල, පාසල්, රෝහල්, සියලුම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන, පෞද්ගලික විශ්ව විද්‍යාල (සයිටම් වැනි) මීට ඇතුලත්ය. ඒ කියන්නේ තමන්ගේ දරුවා යම් පාසලකට ඇතුලත් කිරීමේදී ගැටලු ඇති වේ නම්, ඊට හේතු ලිඛිතව ඉල්ලා සිටිය හැකියි.

තවද, රජයේ යම් බලපත්‍රයක්/ටෙන්ඩරයක්/නියෝගයක්/මුදල් මත රජයේ සංවර්ධන හෝ නියාමන හෝ ඕනෑම කටයුත්තක් සිදු කරන සියලුම පෞද්ගලික කොම්පැනි (උදාහරණයක් ලෙස, රජයේ වියදමින් විශාල ඉඳිකිරීමක් සිදු කරන ඉඳිකිරීම් සමාගමක් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී අරමුදලින් හෝ වෙනත් ආකාරයේ රජයේ මුදලකින් ඔබේ පෙදෙසේ පාරක් ඉඳිකරන කොන්ත්‍රාත්කරුවා) මේ යටතට වැටේ.

තවද, රජයේ මුදල්/අනුග්‍රහය ලැබෙන හෝ විදේශ මුදල් ලැබෙන සියලුම රාජ්‍ය නොවන සංවිධාන (NGO) මේ යටතට වැටේ. බොහෝවිට ඔබේ ප්‍රදේශයේ තිබෙන අවමංගල්‍යාධාර සමිති පවා මේ යටතට ගැනිය හැකිය.

මේ ආදි ලෙස විශාල ආයතන ගණනක් ඔබට තොරතුරු දීමට බැඳී පවතිනවා. එම ආයතනවල රාජකාරිය, සිටින සේවක ගණන, උසස් නිලතල මොනවාද හා ඒ අයගේ වැටුප් හා දීමනා හා විස්තර, කරන ව්‍යාපෘති, ඒ සඳහා වැය කරන මුදල් ප්‍රමාණ, ඒ සඳහා කර තිබෙන සියලු අධ්‍යන හා වාර්තා හා සැලසුම්, එම ව්‍යාපෘති කරන අය/කොන්ත්‍රාත් කරුවන් හා ඔවුන්ට ලබා දෙන මුදල්, අදාල ආයතනය විසින් නිකුත් කර ඇති ලිඛිත වාර්තා, හා ඔවුන් සතුව තිබිය යුතුය කියා හා ඔවුන්ට දිය හැකියි කියා ඔබ සිතන ඕනෑම තොරතුරක් ඉල්ලා සිටීමට ඔබට හැකියාව තිබේ. ඇත්තටම, ඔබ සිතිය යුත්තේ ඔබට අවශ්‍ය තොරුතුරු මොනවාද යන්නයි.

ඉතිං කොහොමද තොරතුරු අයිතිය යොදා ගනිමින් තොරතුරක් ලබා ගන්නේ? ඒ සඳහා තිබෙන යාන්ත්‍රණය දැන් බලමු.

සෑම රාජ්‍ය ආයතනයකම අවම වශයෙන් එක් තොරතුරු නිළධාරියෙකු (information officer) සිටිය යුතුමය. මොහු අවශ්‍යයෙන්ම එම ආයතනයේ උසස් නිලධාරියෙකුම වේ. ඔහුට සාමාන්‍ය රාජකාරිත් තිබෙනවානෙ. එහෙත් පනතේ කියනවා ඔහුට වෙනත් මොන රාජකාරි තිබුණත් තොරතුරු නිලධාරියා වශයෙන් කරන්නට තිබෙන රාජකාරියට ප්‍රමුඛතාව ලබා දිය යුතුය කියා. එනිසා, යම් හෙයකින් එවන් නිලධාරියෙකු කිව්වොත් (පාට් එක දැම්මොත්) අපිට මේක විතරක් නෙමෙයි තවත් වැඩ තියෙනවා කියා, උගේ කනින් අල්ලා හෝ කනට ගසා හෝ නීතිය මතක් කර දීම ඔබේ වගකීමයි.

ඔබ යම් තොරතුරක්/තොරතුරු ඉල්ලීමට එම ආයතනේ ලබා දෙන RT01 නම් පෝරමයක් පුරවා දිය හැකියි. එම පෝරමය ඔබට නොමිලේ ලබා දිය යුතුය. නැතහොත් අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කර ප්‍රින්ට් කරගෙන පුරවා දිය හැකිය. ලිවීමට නොහැකි කෙනෙකු නම්, කටින් වුවද ඔබට අවශ්‍ය දේ ඉල්ලා සිටිය හැකියි (එවිට අදාල තොරතුරු නිලධාරියා එම ෆෝර්ම් එක පුරවා එය ඔබට කියවා ඔබේ අත්සන හෝ ඇඟිලි සලකුණ ගත යුතුය). ඔබට එය පිරවීමට අපහසු නම් නොමිලේම එය පිරවීමට ඔහු උදව් කළ යුතුය ("පුරවන්නට බැරි නම් අපේ කාලය නාස්ති නොකර යන්න" කියා කිව නොහැකිය).

එලෙස ඔබ අදාල ඉල්ලීම සිදු කළ පසු, එවෙලෙහිම ඔබ එවන් ඉල්ලීමක් කළ බවට කුවිතාන්සියක් (රිසිට් එකක්) ඔබට දිය යුතුය. අනිවාර්යෙන්ම එය ලබා ගන්න. ඔබ ඉල්ලීමක් කළ බවට තිබෙන සාක්ෂිය එයයි. එය අදාල නිලධාරියාගේ අත්සනින් ලබා දිය යුතුය.

තොරතුරක් ඉල්ලා දින 14ක් ඇතුලත එම තොරතුර දිය හැකිද නොහැකිද යන වග ඔබට ලිඛිතව දැනුම් දිය යුතුය.

ඔබ කැමති භාෂාවකින් (සිංහලෙන් හෝ දෙමලින්) ඔබට එම තොරතුරු ලබා දීමට ඔවුන් බැඳී සිටී.

ලබා දිය හැකි යැයි දැනුම් දුන් පසු, ඔබට තවත් සති 2ක් පමණ කාලයක් ලබා දෙනවා එම තොරතුර නිල වශයෙන් ගොස් ලබා ගන්නට. ඔබට හැකියාව තිබෙනවා අදාල මුල්/ඔරිජිනල් ලියවිලි කියවා බලන්නට, ඉන් නෝට් ගසා ගන්නට, හා අවශ්‍ය නම් පිටපත් ලබා ගන්නට. ෆොටෝකොපි ලෙස හෝ සීඩී හෝ පෙන්ඩ්‍රයිව් එකකට හෝ ඒවා කොපි කර ගත හැකියි. ෆොටෝකොපි සඳහා එක කොලයකට රුපියල් 4ක් (කොලයේ එක පැත්තක් පමණක්) හෝ 8ක් (කොලයේ දෙපැත්තම) අය කරාවි.

සමහර අවස්ථාවලදී අදාල තොරතුරු එක්රැස් කිරීමට කල් ගත වීමට හැකිය (තොරතුරු විවිධ ඔෆිස්වල තිබේ නම්). එවන් අවස්ථාවල දින 14 වෙනුවට දින 21ක දීර්ඝයක් ලබා ගත හැකිය. එවිට, තමන්ට දින 21ක දීර්ඝයක් අවශ්‍ය බව තොරතුරු නිලධාරියා ඔබට ලිඛිතව දැනුම් දිය යුතුයි (දීර්ඝය අවශ්‍ය වන්නේ ඇයිද යන්නත් දැක්විය යුතුයි).

ඔබට එම තොරතුර ලබා දිය නොහැකි යැයි දැනුම් දුන්නොත්, හෝ නියමිත දින ගණන ඇතුලත ඔබට කිසිම ප්‍රතිචාරයක් නොදැක්කුවොත්, එම ආයතනයේම තවත් උසස් නම්කළ තොරතුරු නිලධාරියෙක් සිටිනවා (designated officer) ඔබට අභියාචනා කළ හැකියි. දින 14ක් ඇතුලත නම් කළ නිළධාරියාට අභියාචනා කළ හැකියි.

නියමිත දින ගණන තුල තොරතුරු ලබා නොදීම හෝ කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම, වැරදි හෝ විකෘති හෝ අසම්පූර්ණ තොරතුරු ලබා දීම, තොරතුරු ලබා දීමට නොහැකියි යැයි කීම, නියමිත ගානට වඩා අයකිරීම, තමන් ඉල්ලූ භාෂාවෙන් හෝ ආකාරයට තොරතුරු ලබා නොදීම හෝ ඔබේ අයිතිය ගණන් නොගෙන කටයුතු කිරීම වැනි ඕනෑම හේතුවක් නිසා ඔබට අභියාචනා ඉදිරිපත් කළ හැකියි.

පළමු තොරතුරු නිලධාරියාගෙන් සෑහිමට පත් නොවී ඉහත ආකාරයට නම්කළ නිළධාරියාට අභියාචනා කළ පසු, ඔහු දින 3ක් ඇතුලත එම අභියාචනාව සැලකිල්ලට ගත් බව ඔබට දැනුම් දිය යුතුය. නම්කළ නිලධාරියාත් සති 3ක් ඇතුලත ඔබට ඔහුගේ ප්‍රතිචාරය දැක්විය යුතුය. එක්කෝ ඔබට සාධාරණය ඉෂ්ඨ වේවි. නැතහොත් ඔබ සෑහීමකට පත් නොවන තීන්දුවක් ඔහුත් ලබා දේවි. මෙවිට ඔබට තොරතුරු කොමිසමට අභියාචනා කළ හැකිය.

නම්කළ නිළධාරියාගේ ප්‍රතිචාරය ලැබී මාස 2ක් ඇතුලත හෝ නම්කළ නිළධාරියාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබ මාස 2ක් ඇතුලත තොරතුරු කොමිසමට අභියාචනා කළ හැකිය. සාමාජිකයන් 5 දෙනෙකුගෙන් සැදුම්ලත් තොරතුරු කොමිසට ඔබේ අභියාචනය ලැබී දවස් 30ක් ඇතුලත ඔබට ඔවුන්ගේ ප්‍රතිචාරය දැක්විය යුතුය. කොමිසමට පූර්ණ බලතල තිබෙනවා ඔබට තොරතුරු ලබා දෙන ලෙස අදාල ආයතනයේ තොරතුරු නිලධාරියාට නියෝග කරන්නට.

තොරතුරු කොමිසමට අභියාචනා කිරීමේදී ඔබට හැකියි නීතිඥයකු හෝ වෙනත් ඕනෑම පුද්ගලයකු/සංවිධානයකු ඔබ වෙනුවෙන් කතා කරන්නට අවසර ලබා දෙන්නට.

යම් හෙයකින් ඔබ තොරතුරු කොමිසමේ තීරණය සමඟත් එකඟ නොවේ නම්, එම තීරණය ලැබී මාසයක් ඇතුලත අභියාචනාධිකරණයට අභියාචනා කිරීමේ හැකියාවත් ඔබට ලබා දී තිබේ (එවිට එය තරමක බරපතල කාරණාවකි).

මේ පනතේ ප්‍රකාරව නිසි අයුරින් ක්‍රියා නොකර වංචනික අයුරින් ක්‍රියා කළ (වැරදි තොරතුරු සැපයීම, ලිපිලේඛන විනාශ කිරීම, අභියාචනා ක්‍රියාවලියේදී ඉහල අධිකාරිවල තීරණ සමග අවනත නොවී සිටීම වැනි) අයට අවුරුදු 2ක සිරදඬුවම් හා/හෝ රුපියල් 50,000ක දඩයකට යටත් කළ හැකියි මහෙස්ත්‍රාත් උසාවියක පැවරූ නඩුවක් මඟින්. ඔබ මේ ගැනත් දැන සිටීම හොඳයි මොකද යම් නිලධාරියෙක් ඔබට පාට් දමන විට මේ බැව් උන්ට මතක් කර දිය යුතුයි.

මේ පනතින් ඔබට ලබා දිය නොහැකි තොරතුරු ප්‍රමාණයක්ද ඇත. රටේ ආරක්ෂාවට හා භෞමික අඛණ්ඩතාවට බලපාන, රටේ ජාතික ආර්ථිකයට තදින් බලපාන, රටවල් අතර පවතින සම්බන්දතාවලට හා ජාත්‍යන්තර නීතිවලට බලපාන තොරතුරු ලබා දීමේදී සීමා තිබේවි. තවද, කෙනෙකුගේ පෞද්ගලික තොරතුරු (ඔහුගේ රහස්‍යභාවය නැති වන අයුරින් ඇති), කෙනෙකුගේ ලෙඩ රෝග වැන සෞඛ්‍යමය තොරතුරු ලබා ගැනීමටද නොහැකියි එම තොරතුරුවලට අදාල පුද්ගලයාගේ ලිඛිත අවසරයක් නැති නම්.

සෑම ආයතනයකම මහජනයාට පෙනෙන අයුරින් එම ආයතනයේ තොරතුරු නිළධාරින් හා නම්කළ නිලධාරියා කවුරුන්ද, ඔවුන්ගේ දුරකතන හා ලිපින, ඔවුන් සිටින ස්ථාන පැහැදිලිව දර්ශනය කළ යුතුය (බෝඩ් එකකින්). අද තොරතුරු නිලධාරියා නැහැ, එයා දැන් සීට් එකේ නැහැ වැනි හේතු කියා ඔබට තොරතුරු නිලධාරියාව මුන නොගැසෙන සේ කටයුතු කිරීම නීති විරෝධි වේ. එවන් අවස්ථාවලදී ඔබට තොරතුරු කොමිසමට පැමිනිලි කළ හැකිය.

තොරතුරු ඉල්ලා සිටින පෝරමය ඉතාම සරලය. එහි ඔබේ නම, ලිපිනය, දුරකතන අංකය (කැමැති නම්), ඊමේල් එක (කැමති නම්), තොරතුරු ඉල්ලා සිටින්නේ කුමන ආයතනයෙන්ද යන වග, තොරතුරු අවශ්‍ය සිංහලෙන්ද දෙමලෙන්ද යන වග සටහන් කළ යුතුය. ඉල්ලා සිටින තොරතුරු මොනවාද යන්න පැහැදිලිව සටහන් කිරීමට වග බලා ගන්න. එය එච්චරටම පහසු පෝරමයකි. මෙම පෝරමයේ (හා අනෙකුත් පෝරම හා ලේඛනවල) ආකෘති ඉහත රෙගුලාසිවල ඔබට දැකගත හැකියි.

මා පෞද්ගලිකව මෙම අයිතය භාවිතා කරමින් මට අවශ්‍ය තොරතුරු ප්‍රමාණයක් ලබා ගන්නට යන්නේ විදුලිසංදේශ නියාමන කොමිෂම් සභාවෙනි. සිදුවන මතුවන ඕනෑම බාධා මැද මෙම අයිතිය ඔබ ඉතා හොඳින් භාවිතා කරන්න. අවශ්‍ය නම් තොරතුරු ලබා දෙන්න අදිමදි කරන හෝ පාට් දමන එකෙක්ගෙ දෙන්නෙකුගේ කන පැලීම දක්වා ගමන් කර වුවද එය දැඩිව භුක්ති විඳිය යුතුය.

No comments:

Post a Comment