මෝහනය / mohanaya (Hypnosis) - 14

මෝහනය ක්‍රියාත්මක වන ආකාර දෙක

බොහෝ දෙනෙකුට ඇතිවන ප්‍රශ්නයක් නම් කෙනෙකුව මෝහනයට පත් කළ පසු කොපමණ කාලයකට එය බලපවත්වනවාද යන්නයි. සමහර මෝහන ප්‍රතිකාර ජීවිත කාලයටම බලපවත්වන අතර, සමහරක් මෝහන ප්‍රතිකාර ටික කාලයක් සඳහා පමණක් ක්‍රියාත්මක වී, එම තැනැත්තා නැවත පරණ පුරුදු තත්වයට ක්‍රමයෙන් පත් විය හැකියි. එම ටික කාලය දවස් කිහිපයක්, සති හෝ මාස කිහිපයක් විය හැකියි. කුමන ජාතියේ ප්‍රතිකර්ම ජීවිත කාලය සඳහාම පවතීද, කුමන ජාතියේ ප්‍රතිකර්ම කෙටිකාලීනව පවතිනවාද යන්න හඳුනාගැනීමද පහසුවෙන් කළ හැකියි.
සමහර ප්‍රශ්න අර්බුද තිබෙනවා යම් දෝෂයක් නිසා හටගන්නා. එම දෝෂය තිබෙන තාක්කල් ප්‍රශ්නයද එලෙසම දිගටම පවතින අතර, දෝෂය ඉවත් කළ වහම ප්‍රශ්නයද ඉවත් වේ. උපමාවකින් එය දක්වන්නේ නම්, ජලය ගලා ගෙන යන කානුවක එක් තැනකින් බාධාවක් යොදා ජලය ගලා යෑම නතර කළ හැකියි. මෙහි ප්‍රශ්නය තමයි ජලය ගලා නොගොස් වතුර පිටාර ගැලීම (හෝ වතුර එක තැන පල් වීම). එම ප්‍රශ්නයට අදාල දෝෂය තමයි කානුවේ යම් තැනැක ඇති වූ ජලය ගලාගෙන යෑමට ඇති වූ බාධාව. දැන් මෙම බාධාව ඉවත් කළ විගස, ජලය සාමාන්‍ය පරිදි ගලාගෙන යෑමට හැකි වීම නිසා, ප්‍රශ්නය ඒ ක්ෂණයෙන්ම විසඳෙනු ඇත.
මෝහන ප්‍රතිකර්ම සඳහා එන අයගේ සමහර ප්‍රශ්නද එබදුය. එම ප්‍රශ්නයට අදාලව පවතින බාධාව ඉවත් කළ විගස, එම ප්‍රශ්නය විසඳෙනු ඇත. එම විසඳීම ජීවිත කාලයටම වලංගු වේ.
එහෙත් එම තැනැත්තා අනාගතයේ වෙනත් හෝ එවැනිම බාධාවක් නැවත ඇති කර ගෙන නැවත ජීවිතයේ ප්‍රශ්න ඇති කර ගැනීමට ඇති ඉඩකඩ එලෙසම පවතින බවද මතක තබා ගන්න. ජීවිතයේ ස්වභාවය එබඳුයි. ඔබව පය ලිස්සා වැටී තුවාලයක් සිදු වූ විට, ප්‍රතිකාර කරගෙන එය සුවපත් වූ පසුව, නැවත දවසක පය ලිස්සා වැටීමට ඇති ඉඩකඩ ඉවත් වන්නේ නැහැ නේද? මානසික ගැටළුද එලෙසම නැවත නැවත ඇති විය හැකියි. මා කියන්නට උත්සහ කළේ එවැනි ගැටළුවකට ප්‍රතිකර්ම කළ පසු එම ප්‍රශ්නය විසඳෙන අතර, ඒ විසඳුණු ප්‍රශ්නය නැවත දළුලා වැඩෙන්නේ නැති බවයි. එනම්, ප්‍රතිකර්මය ජීවිත කාලයටම පවතින බවයි. පසු දවසක ඔහුට නැවත එවැනිම හෝ වෙනස් ලෙඩක් සෑදීමටද හැකි නමුත් එය පැරණි ලෙඩේ මතු වීමක් නොව එය අලුතින් ඇති වූ ලෙඩකි. එවිට එයටද ප්‍රතිකර්ම කර සුව කළ හැකියි. මෙය තමයි ඉහත සඳහන් කළ ආකාරයට පළමු වර්ගයේ මෝහන ප්‍රතිකර්මය. විශේෂයෙන්ම සෑම වර්ගයකම භීතිකාවලට කරන ප්‍රතිකර්ම මේ ගණයට වැටේ. භීතිකාවක් යනු, අනියත භයක් වන අතර, එම භයට හේතුව (එනම්, යටි සිතේ ගබඩා වී ඇති එම අනවශ්‍ය සිතුවිලි රටාව) ඉවත් කළ පසු එම භීතිකාව ඉවත් වේ.
දෙවැනි වර්ගයේ ප්‍රතිකර්ම - එනම් යම් කාල සීමාවක් දක්වා පමණක් බලපවත්වන ප්‍රතිකර්ම - තමයි බහුල වශයෙන්ම පවතින්නේ. මෙම කාල සීමාව නොයෙක් සාධක මත තීරණය වෙනවා. මෝහනලාභියා සිටි මෝහන මට්ටමේ ගැඹුර, ඔහුට කියන ලද යෝජනාවලියේ ගුණාත්මකබව, ඔහුට ප්‍රශ්නයෙන් මිදීමට සත්‍ය ලෙසම පවතින කැමැත්තේ ප්‍රමාණය හා ඒ සඳහා ඔහු විසින් යොදන කැපකිරීමේ ප්‍රමාණය, ඔහු සිටින පරිසරයේ ස්වභාවය (උදාහරණ ලෙස, ඔහුගේ මිතුරන්, පවුලේ උදවිය ආදියගෙන් ලැබෙන සහයෝගය, ඔහුට එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන්නට තිබෙන සිදුවීම්) ආදිය මේ සාධක අතර වේ.
මෝහන මට්ටම හොඳවන තරමටද, යෝජනාවලිය ගුණාත්මක වන තරමට මෝහන ප්‍රතිකර්මයේ බලපෑම දීර්ඝ වේ. එහෙත් ජීවිතය කියන්නේ ස්වභාවයෙන්ම ඍණාත්මක පැත්තට යොමුවන්නට වැඩි ඉඩකට තිබෙන දෙයක්. ඒකනේ ලෝකයේ මෙච්චර ප්‍රශ්නකාරී වී තිබෙන්නෙත්. අපේ දෙමාපියන්, බිරිඳ, ස්වාමියා, ගුරුවරුන්, මිතුරන් ආදී අප වටා සිටින අපට ආදරය කරන අය පවා හැමවිටම අපට ධණාත්මකව ජීවිතය දකින්නට පොළඹවන දේවල්ම කරන්නේ නැහැ. ඔබේ ජීවිතයේ පැරණි සිදුවීම් ගැන මතක් කර බලන්න. ඔබේ දෙමාපියන් නිසා ඔබ නොසන්සුන් වුණු ඔබේ සිතට ඍණාත්මක හැඟීම් මතු වූ අවස්ථා පවා තිබෙන්නට පුළුවන් (විශේෂයෙන් ආදර සම්බන්ධතා ගැන කාරණාවලදී). ඉතාම හොඳ දෙයක් කරන විට තමන්ට ලැබෙන ප්‍රශංසාවලට වඩා ඉතාම කුඩා නරක දෙයක් කළ විට ලැබෙන ගැරහීම වැඩිය. එනිසා, ජීවිතයේ එදිනෙදා වැඩකටයුතුවලින් අපට ඇති වන යම් ප්‍රශ්නවලට මෝහනයෙන් ප්‍රතිකර්මයක් ලබා ගත් විට, එම ප්‍රතිකර්මය ජීවිත කාලය පුරාම පවතින්නේ නැත්තේ මෙන්න මෙම සමාජ වටපිටාව නිසාය. උදාහරණයක් ලෙස, ඔබ ජීවිතය සැහැල්ලුවෙන් සතුටින් ගත කරන්නට ඕනැකමක් ඇති කර ගෙන ඒ සඳහා මෝහන යෝජනාවලියකින් යටිසිතද සකසාගෙන නැවත යන්නේ පැරණි ඍණාත්මක බව බහුල සමාජයටමයි. ඔබ එලෙස ධණාත්මක බව ඇති කර ගෙන එම සමාජයට ගිය මොහොතේ සිටම, ඔබට දුක, කේන්තිය, කළකිරීම, නොසන්සුන්බව ඇතිකරවන සිද්ධිවලට මුහුණ දීමට සිදු වේ. මෙලෙස කෙටි කාලයක් සිටින විට, ඔබට නොදැනුවත්වම ඍණාත්මක ස්වභාවයන් නැවත ජීවිතයට එකතු වේ. එය සහමුලින්ම නතර කිරීමට ඔබට නොහැකියි. එයද ජීවිතයේ තවත් එක් ස්වාභාවක්. එය තිත්ත ඇත්තක්.
පාඩම් කිරීමට උද්‍යෝගයක් ඇතිකර ගැනීමට මෝහන ප්‍රතිකර්මයක් කළ පසු, පාඩම්වලට භාහිරව අනේකවිධ කටයුතුවලට සමාජය ඔබව කොතරම් පොළඹවනවාද කියා සිතා බලන්න. සැහැල්ලුවෙන් සියලු දේ ගැන සිතීමට හා වැඩ කිරීමට මෝහන ප්‍රතිකර්මයක් කරගත් පසුද, ඔබේ වැඩපොලෙන් හෝ පාසලින් හෝ ඔබට කරගත නොහැකි ප්‍රමාණයට වැඩපවරන අවස්ථාවකදී එලෙස සැහැල්ලුවෙන් සිටීම අපහසු වේ. සැහැල්ලුවෙන්ම කොහොම හරි ඉන්නවා කියා සිතමින් වැඩ කළ විට, සමහරවිට බැනුම් අසන්නට සිදුවේ. එලෙස බැනුම් අසන්නට කවුරුත් කැමති නැති නිසා, ඉබේම ඔබ නැවත සුපුරුදු ලෙස ඉතා කාර්යබහුල ආකාරයට වැඩ කරන්නට සිදු වේ. මෙලෙස සිතා බැලුවොත් පෙනේවි මෙවැනි කාරණාවලට මෝහන ප්‍රතිකාරයක් කර ගත් පසුවත් ඒවා පවතින්නේ යම් කාල සීමාවක් දක්වා පමණක් බව.
ඇත්තටම, ඉහත පෙන්වා දුන් ආකාරයට ප්‍රතිකර්මය බලපවත්වන කාලය සීමාසහිත වීම මෝහනයේ වරදක් නොවේ. එය ඔබේ ජීවන ශෛලයේ වරදක්ම පමණි. බොහෝ විට, ඊට ඔබද ඍජුවම වගකිව යුතු නැත. බොහෝ කාලයක් මුලුල්ලේම සමාජය ගොඩ නැඟී ඇත්තේ එලෙසයි. ඒකෙන් කියන්නේ නැහැ මෙවැනි ප්‍රශ්න සඳහා මෝහනයෙන් සහනයක් ලැබීමට උත්සහ කිරීම අනවශ්‍ය හෝ නිශ්ඵල බවත්. ඔබට යම් කාලයකට සැරයක් නැවත නැවත මෝහන ප්‍රතිකර්ම සඳහා යොමු විය හැකියි. සිතා බලන්න (විශේෂයෙන් දියුණු රටවල) මිනිසුන් වසරකට දෙවරක් පමණ තමන්ගේ දත්, ඇස් ආදිය පරික්ෂාවකට භාජනය කරනවා නේද? එලෙස වසරකට දෙතුන් සැරයක් මානසික සුවතාව පවත්වාගෙන යෑම සඳහා මෝහන ප්‍රතිකර්මයන් වෙත යොමුවීමද කළ හැකියි.
මේ සමාජය නරකයි නම්, එහි පවත්වාගෙන යනු ලබන සාම්ප්‍රදායික පිළිවෙත් හා ජීවන රටාවන් හිතකර නොවන්නේ නම්, ඒවා වෙනස් කිරීමට ඔබ යම් උත්සහක් දැරීම සුදුසුය. ඒවා ඔබ අප විසින් වෙනස් කර ගන්නේ නැතිනම්, පිටසක්වලින් පැමිණ වෙනස් කරන්නේ නැත. කවුරුත් කරන දේවල් අප කළ යුතු නැත. කවුරුත් කියන දේවල් අපත් කිව යුතු නැත. සතුට හා නිදහස අනෙක් සියල්ලටම උඩින් වැදගත් කොට සලකන්නට පුරුදු වීම මෙම වෙනස ඇති කර ගැනීමට ඇති හොඳම ක්‍රමයයි. (කායික හෝ මානසික හෝ) ලෙඩ සාදාගෙන, කාලයත් ධනයත් නාස්තිකර ගෙන ඒවාට ප්‍රතිකර්ම ගන්නට (මෝහන හෝ වෛද්‍ය හෝ වෙනත් ආකාරවලින්) සිතන එකත් ඇත්තටම මෝඩ කමකි. තරගයක් සේ නොසන්සුන්ව ජීවිතය ගත කරන විට සතුට නිදහස නැත්තාක් සේම, ප්‍රතිකර්මවලට යොමු වීම හා ඒ අනුව කැපවීමෙන් කටයුතු කිරීමත් සතුට නිදහස නැති වීමකි. එනිසා, මේ දෙයාකාරයෙන්ම පවතින ප්‍රශ්න විසඳීමට ඇති හොඳම ක්‍රමය ජීවන ශෛලයේම අවශ්‍ය වෙනස් කම් සිදු කර ගැනීම නොවේද?
අපට අවශ්‍ය ආකාරයට සමාජයත් පෞද්ගලිකවම තමනුත් යහපත් ආකාරයට ගැටළු අවම ජීවන රටාවන්ට හුරුවන තෙක්, මෝහනයෙන් බොහෝ ප්‍රයෝජන ගත හැකියි. ඉතා පහසුවෙන් විසඳාගැනීමට හැකියාව තිබියදීත් ප්‍රශ්නවලින් ජීවිතය නාස්ති කර ගැනීම අපට මින් වළක්වාගත හැකියි. විවිධ වයස් මට්ටම්වල අයටත්, විවිධ සමාජ ස්ථරවල සිටින අයටත් එක සේ ඒ ඒ අයට ඇති නොයෙක් ආකාරයේ ප්‍රශ්නවලට මෙහි ප්‍රතිකර්ම ඇත. සාර්ථකත්වයට, සතුටට, සැනසීමට හේතුව මනස වන අතරම, බොහෝ ප්‍රශ්නවලට මුලත් මනසම වේ. කෙනෙකුගේ මනසේ ඇතිවන එක් සිතුවිල්ලකින් තමන්ට පමණක් නොව මුළු ලෝකයටම බලපෑමක් එල්ල කළ හැකියි. යම් සිතුවිල්ලක් නිසා නොවේද යුද්ධ හටගන්නේ. යම් සිතුවිලි නිසා නොවේද ලෝකයටම වටිනා නව නිර්මාණ නිපදවන්නේ. එනිසා පුද්ගලයකුගේ සිතුවිලි තමයි ඔහුගේ සියලු දේවල් විනිශ්චය කරන්නේ. තමන්ගේ දෛවය නිර්මාණය කරන සර්වබලධාරි දෙවියන් තමන්ගේ සිතයි. එය යහපත් ආකාරයට මෙහෙයවන්නට පුරුදු කිරීමේ හැකියාවක් මෝහනයට තිබේ.

Hypnosis (mohanaya) ...

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

දෛශික (vectors) - 1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1