පුරවැසි සංවිධාන හා ඒවායේ නළුවන්

ඊයේ සිරසේ සටන වැඩසටහන අවසන් භාගය බැලූ විට අපේ පුරවැසි සංවිධාවල තිබෙන කල්ලිවාදය, බටහිරට ඇති ගැතිකම හා බටහිර සංකල්පවලට ඇති වහල්භාවය, කුහකත්වය මොනවට පැහැදිලි වේ.

බොහෝ රටවල පැවති (බොහෝ විට අතීතයේ පැවති) පුරවැසි හෝ සිවිල් සංවිධාන එම සමාජය දේහය විසින්ම සුජාත කරන ලද, තම පුරවැසියාගේම අව්‍යාජ ඕනෑ එපාකම් සපුරනු වස් ඇති වූවත්, ලංකාවේ (මා දන්නා තරමින්) එතෙක් මෙතෙක් ඇති වූ එවැනි සංවිධාන නම් අපට භාහිරින් බලෙන් උගන්වන, අපේ පොලොවට උචිත ලෙස නොව වෙනත් පොලොවක පැල වීමට සුදුසු බීජ වපුරන, අවංකවම තමන්ට නැති මහා දේශපාලන සමාජ ආර්ථික "මහෝෂධ පාණ්ඩිත්‍යයක්" පෙන්වන පුහු මිනිසුන් ගොඩකි.

නව දැනුම නිර්මාණය කිරීමෙහිලා බටහිර රටවලට විශාල ප්‍රශංසාවක් හිමි විය යුතු වුවත්, කිසිම නිවැරදි විචාරයකින් තොරව එවැනි සංකල්ප පරම සත්‍ය ලෙස පිළිගැනීමම එක් එක් පුද්ගලයාට තනි තනිවම ස්වභාව ධර්මයාගෙන් ලැබී ඇති බුද්ධියට කරන නිගාවකි. සන්දර්භයෙන් පිට උපුටා දැක්වීම් හා සංඛ්‍යා ලේඛන දැක්වීමට ඇති වීරත්වය ඔවුන්ගේ ශාස්ත්‍රයන් ඉගෙන ඇති ප්‍රමාණයේ පිළිබිඹුවකි. (මෙය කීමට සිදු වන්නේ, ගාමිණි වියන්ගොඩ මරණ දඬුවම මගින් අපරාධ වැලැක්විය නොහැකියි යනුවෙන් කරපු ප්‍රකාශය හා ඒ ඔප්පු කිරීම සඳහා තමන් ගාව සංඛ්‍යාලේඛන දත්ත ඇති බවට කියූ ප්‍රකාශයයි. ඔහුගේ එම දත්ත අපද කියවා ඇති අතර, එහෙත් ඔහු විසින් නිසි වෙලාවකදී එම දත්ත ඉදිරිපත් කිරීමකදී එම දත්තවල හා දත්ත යොදාගැනීමේදී සිදු කර තිබෙන බරපතල විද්‍යාත්මක වැරදි පෙන්වා දීමට කැමැත්තෙන් සිටිමු.)

අනෙක් පසින්, ගාමිණි වියන්ගොඩ විසින් රතන හිමියන් හා කුඩු අතර සම්බන්ධතාවක් ගොඩනැඟීමට දැරූ අධම උත්සහයද පිළිකුල් සහගතය. රතන හිමිගේ පොදු දේශපාලන භාවිතාව හා දර්ශනයට අප තදින්ම විරුද්ධය. ඒ දෙස මැදහත්ව බලව විට, නැට්ට විසින් බල්ලා වනනු ලබන තත්වයක් සිහි වේ. එහෙත් උන්වහන්සේ රටේ මත් උවදුර හා කෘෂි රසායනික උවදුර සම්බන්ධයෙන් ඉතා විශාල කැපවීමක් කරපු හා තවමත් කරන කෙනෙකි. එයට නිසි ප්‍රශංසාව අනිවාර්යෙන්ම උන්වහන්සේට හිමි විය යුතුය. ළඟදී උන්වහන්සේ සමීපයෙහි සිටි පුද්ගලයකු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් වීම වෙනමම කාරණයකි. සමහරවිට හෙට වෙලේ සුදා මගදී මුණ ගැසී මා සමග මිතුරු වුවහොත් ඒ කාලකන්නියාගේ හැඩරුව ගැන මතකයක් නැති මට ඔහු සමග කාලය ගත කරනු ඇත. එය මාගේ වරදක් නොවේ. එලෙසම දේශපාලකයකු ළඟට පැමිෙණන ඇසුරු කරන දහස් සංඛ්‍යාත මිනිසුන් ප්‍රමාණයම ගැන සොයා බැලීමට ප්‍රායෝගිකව බැරිය. අඩුම ගානේ ගාමිණි වියන්ගොඩ හෝ වෙනත් කෙනෙකුට මා කියන්නේ තමන්ගේ බිරින්දෑ අනියම් පුරුෂයකු සමග සබඳතාවක් තිබෙනවාද කියා සොයා ගැනීමටත් පහසු නැති බවයි. එය නොදන්නා තරමට වියන්ගොඩ බබෙකු නොවේ. ඔහුගේ සංවිධානය සමග හිටපු සක්කිලි අග්‍රවිනිසුරු සිල්වා සිටීම ගැනත් අපට අවශ්‍ය නම් චෝදනා එල්ල කළ හැකියි. වෙලේ සුදාගෙන් සල්ලිගත් බවට චෝදනලා ලැබූ කලා කරුවන් පිරිස වෙනුවෙන් කතා කරන්නේද වියන්ගොඩගේ සංවිධානයේ ප්‍රධාන පෙලේ සාමාජිකයන්මය. ඒ අනුව කෙලින්ම කුඩු සමග ඔහුට සබඳතාවක් ඇති බවට අපට චෝදනා කළ හැකියි. එහෙත් අප දන්නවා ඔහු කුඩුවලට එවැනි සබඳතාවක් නැති බව. රතන හිමි ගැනත් අපට ඇත්තේ එවැනිම සුපසන් දැනීමක් (කුඩු සම්බන්දයෙන්). එහෙත් වියන්ගොඩගේ ඉතා නිර්ලජ්ජිත ලෙස අත්ලෙන් මුලු නිරුවතම වසා ගැනීමට තැත් කිරීමක් අප ඊයේ සිරස සටන වැඩසටහනේදී දුටුවා.

ඇත්තටම පෞද්ගලිකව මා හට ඔහු සුපිරිසිදු අරහත් වහන්සේ නමක්ද, කට්ට කෛරාටිකයෙක්ද කියා ගැටළුවක් නැත. එහෙත් ගැටළුව වන්නේ, වාසනාවකට හෝ අවාසනාවකට සමකාලීනව ගොඩ නැඟී ඇති පුරවැසි හා සිවිල් සංවිධාන අතරින් නිතර නම කියැවෙන හා සක්‍රීය කාර්ය භාරයක් හිටුකළ සංවිධානයක ප්‍රධානිත්වය ඔහු විසින් දරන නිසා, ඔහුගේ මෙම පෞද්ගලික පහත් හැසිරීම එම සංවිධානය හා එවැනි පුරවැසි සංවිධාන කෙරෙහි මහජනයා ගොඩනඟාගෙන යන විශ්වාසය පළුඳු වීමට හැකියාවක් තිබේ.

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

දෛශික (vectors) - 1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1