මෝහනය / mohanaya (Hypnosis) - 11

නිවැරදිව යෝජනාවලි (scripts) ලියන ආකාරය

මෝහන ප්‍රතිකාරයකදී ඉතා වැදගත් කොටස සුදුසු යෝජනාවලියක් මෝහනලාභියාට කීමයි. විනෝදයට මෝහනයට පත්වන අයට නම් එය අවශ්‍ය නැත. බොහෝ අය තමන්ගේම ස්ක්‍රිප්ට් ලියන්නට දන්නේ නැත. රැකියාවකට තමන්ගේ අයදුම්පතක් සකස් කිරීමට හෝ සාමාන්‍ය ලියුමක් ලියා ගැනීමටත් විවිධ පුද්ගලයන්ට භාර දෙන පිරිස් සිටින සමාජයක එක අතකින් එය පුදුමයක්ද නොවේ. මිතුරන් වෙනුවෙන් ආදර ලිපිවල සිට ආයතනික රහස්‍ය ලියවිලි දක්වා බොහෝ ලිපි ලේඛන මා එලෙස ලියා ඇති නිසා ඒ ගැන මා හොඳින් අත් දැක තිබෙනවා. බොහෝ විට තිබෙන්නේ ලිවීමට ඇති අනවශ්‍ය බියකි; පුරුද්දක් නැති කමකි; එහෙමත් නැතිනම් කම්මැලිකමකි.


මවිසින් ඉංග්‍රිසි බසින් ලියා ඇමසන් හි ප්‍රකාශයට පත් කළ මෝහනය මුල සිට ක්‍රමානුකූලව උගන්වන අත්පොත පහත ලින්ක් එක මත ක්ලික් කර දැන් නිවසටම ගෙන්වා ගත හැකිය.

https://www.amazon.com/dp/B0851MHRSM

මුදලක් ගෙවා හෝ නොමිලේ මෙවැනි ස්ක්‍රිප්ට් ලබා ගත හැකියි. පොත් වශයෙන්ද ලියා ඇත. එහෙත් ඒවා බොහොමයක් ඉතාම දුර්වල හා අකාර්යක්ෂම (ඒ කියන්නේ අවශ්‍ය වැඩේ ‍නිවැරදිව නොකරන) යෝජනාවලි වේ. සමහර විශ්ව විද්‍යාල නාමයන්ගෙන් පිට කළ එවැනි ස්ක්‍රිප්ට් පොත් පවා ඉතාම දුර්වල මට්ටමේ පවතී. ඔබ මා පහත කියන රීතින් ඉගෙන හොඳින් මතක තබාගෙන එවැනි පොත් කියවා බලන්න මා කියන දේහි සත්‍යාසත්‍යතාව සොයා බැලීමට. ඇත්තටම එය සිදු කර බලන්න. එය එක්තරා විදියක අභ්‍යාසයකි. නිර්මාණාත්මක් (creative) හෝ තාක්ෂණික (technical) ලියවිලි සකස් කරන්නට දක්ෂ වූ පලියට ස්ක්‍රිප්ට් ලිවිය නොහැකියි. ඒ සඳහා අනුගමනය කළ යුතු රීති මාලාවක් තිබෙනවා. මොනවාද ඒ රීතින්? එම රීතින් මා දැන් එකින් එක දක්වනවා.

      ·         හැමවිටම සරල වචන භාවිතා කරන්න.
මේ කරුණ මේ වන විට කිහිප වතාවක්ම සඳහන් කෙරුණා. එසේ වූයේ ඇත්තටම එය එච්චරටම වටිනා කරුණක් නිසා. මේ ගැන තරමක් විස්තරාත්මකව දැන් සලකා බලමු.

වචනයක් යනු නිකංම ශබ්දයක් නොවේ. කනට එය නිකංම ශබ්දයක් ලෙස සංවේදනය වුවද එය මනසට ගිය විට විශාල රසායනික ක්‍රියාවලියක් සිදු වේ. මනසට එය සංඥාවකි; සංකල්පයකි. ඒ සංඥාව හා සම්බන්ධව තවත් විශාල සංඥා ගණනාවක් පවතී. ඒ ඒ සංඥා ගණනාව නැවත තවත් අති විශාල සංඥා ගොන්නකට සම්බන්ධ වේ. මේ ආකාරයට එය මකුළු දැලක් සේ විහිදී යනවා. මකුළු දැලේ මධ්‍යය මෙන් ඔබගේ සිතට යන වචනයෙන් හැඟවෙන සංඥාව පවතී. මෙම ක්‍රියාදාමය ක්ෂණයෙන් සිදු වේ. (දේවල් ඉගෙන ගැනීමට හා වෙනත් කටයුතු සඳහා “මයින්ඩ්මැපින්” නම් ක්‍රමවේදය ඇත්තටම මනසේ මෙන්න මෙම ස්වභාවය තමයි ප්‍රයෝජනයට ගන්නේ.) ඔබට නොදන්නා වචනයක් ඇසුණු විට, මේ ක්‍රියාවලිය සිදු නොවේ. එය නිකංම නන්නාදුනන කෙනෙකු සේ අතරමං වූ කෙනෙකු සේ මනසේ පවතී. ඔබට චීන හෝ වෙනත් භාෂාවක යම් වචනයක් ඇසුණු විට දැනුනු දේ සිහිකර ගන්න.

    ·         හැකි පමණ කෙටි වාඛ්‍ය ලියන්න.
වාඛ්‍ය දිගු වන විට, ඒවා ස්වාභාවයෙන්ම පැටලිලි සහගත වේ. බොහෝ තර්ක කරමින් යම් මහන්සියක් යොදා ඒවායේ ‍තේරුම සොයාගත යුතු වේ. එක් භාෂාවකින් තවත් භාෂාවකට පරිවර්ථනය කිරීමේ යම් අත්දැකීමක් ඇති අයට මේ ප්‍රශ්නය ඉතාම හොඳින් දැනෙනවා. සමහර වාඛ්‍ය පටන් ගන්නා කාරණයෙන් නොව අවසන් කරන්නේ. මේ ප්‍රශ්නය අවම වෙනවා වාඛ්‍ය කෙටි වන තරමට. අනෙක් අතට, ‍දිගු වාඛ්‍ය ලිවීමට ‍හොඳ භාෂා දැනුමක්ද අවශ්‍ය වෙනවා (එසේ භාෂා දැනුමක් නැති අය දිගු වාඛ්‍ය ලියන විට තමයි ඇත්තටම ගැටළු පවා ඇති වන්නේ). එමනිසා සාමාන්‍ය භාෂා දැනුමක් තිබෙන අයට පවා ස්ක්‍රිප්ට් ලියන්නට පුළුවන් කෙටි වාඛ්‍ය වැඩිපුර භාවිතා කරනවා නම්.

    ·         වැරදියට තේරුම් ගත නොහැකි ලෙසට වාඛ්‍ය සකස් කරන්න.
සාමාන්‍ය ව්‍යවහාරයේදී අප කලාත්මකබව වැඩි කිරීමට පණ්ඩිතබව පෙන්වීමට විවිධ වාඛ්‍ය රටා භාවිතා කරනවා. කවි ආදිය ලියන අය ලියන්නේම මේ විදියටයි. එහෙත් යටි සිත සමග “පෙම් කෙලින්නට” හදන්න එපා. කියන දෙයක් කෙලින් “තේරෙන භාෂාවෙන්” කියන්න.

    ·         උපමා උපමේයන්, වෙනත් භාෂා අලංකාර යොදන්න එපා.
යටි සිතට ඒවා තේරෙන්නේ නැත. “ඔබේ මුහුණ මලක් වගේ” කියා උපමාවක් කිව්වොත් යටි සිත ඇත්තටම එය තේරුම් ගන්නේ ඔබේ මුහුණ මලක් කියාය. ඇත්තටම මට සිතා ගන්න බැහැ මගේ යටි සිත එසේ මාගේ මුහුණ මලකි කියා විශ්වාස කරාවිද, එසේ කළා නම් ප්‍රතිඵලය කුමක් වේවිද කියා. කුමක් වුවත්, එවැනි යෝජනාවකින් සිදුවන්නේ අනවශ්‍ය දෙයක්ම පමණි. යටි සිත ව්‍යංග තේරුම් වටහ ගන්නේ නැත.

    ·         “එපා”, “නැහැ” (හෝ ඊට සමාන) වචන භාවිතා කරන්න එපා.
ඇත්තටම මෙය අභියෝගයක්. බොහෝ විට මෝහන ප්‍රතිකාරයක් කරන්නේ නරක පුරුද්දක්/ජීවන රටාවක් වෙනස් කරන්නයි. එවිට අහවල් දේ කරන්න එපා එපා එපා කියා බොහෝ විට කියන්නට අවශ්‍ය වෙනවා. එහෙත් මෙම රීතිය නිසා ඒ විදියට නිශේධාත්මක
(negative) වාඛ්‍ය ලිවිය නොහැකි වෙනවා. උදාහරණයක් ලෙස නියපොතු හපන පුරුද්ද නැති කර ගැනීමට අවශ්‍ය කෙනෙකුට “මෙතැන් සිට ඔබ නියපොතු සපන්නේ නැහැ” කියා කීමට අවශ්‍ය වුවත්, මෙහි “නැහැ” යන කොටස අපට භාවිතා කරන්නට අවසර නැහැ. එවිට ඔබට ඇති විකල්පය කුමක්ද? මදක් සිතා බලන්න.

ඔබට ඒ වෙනුවට කිව හැකියි “නියපොතු සැපුවහම ඇඟිල්ල කැත වෙනවා ඔබටම පේනවා”, “ඔබ නියපොතු සපනවා දැක්කහම වෙනත් අයට ඔබ ගැන පිළිකුලක් ඇති වෙනවා හා එය ඔබව බොහෝ අපහසුතාවකට පත් කරනවා”, “නියපොතු සපන පුරුද්ද ඉතා අප්‍රසන්න හැඟීමක් ඔබට ඇති කරනවා” වැනි වාඛ්‍යය.

ඇත්තටම එලෙස නිශේධාත්මක වචන ‍කිහිපය යොදන්නට එපා කියන්නේ ‍හේතුවක් ඇතිවයි. සාමාන්‍යයෙන් ඔබට යම් දෙයක් එපා හෝ නැහැ කියා කී විට ඇතිවන තත්වයක් තිබෙනවා. උදාහරණයක් ලෙස, ඔබ සෙල්ලම් කරන්න ආසයි යැයි සිතන්න. දැන් කවුරු හරි කියනවා “ඔයා සෙල්ලම් කරන්න” කියා. එය ඔබේ සිතේ ප්‍රබෝධයක් ඇති කරාවි. එහෙත් ඔහු “ඔයා සෙල්ලම් කරන්න එපා” යැයි කී විට අසතුටක් සිතේ ඇති කරාවි. සතුට හෝ අසතුට ඇති කළේ “එපා” කියන වචනය නේද? ඔව්. වචනය ඉතා කුඩා වූවාට ඉන් සිතේ ඇති කරන තත්වය විශාලයි. තර්ක කිරීමේ හැකියාව පවතින්නේ උඩු සිතේ නිසා උඩු සිත තමයි එම වචනයට වටිනාකම ලබා දෙන්නේ. එහෙත් ඔබේ යටි සිතට “එපා”, “නැහැ” ආදි වචන වලින් කියන එවැනි තත්වයක් ඇති කිරීමට ඇති හැකියාව අඩුයි. මෝහන නිද්‍රාවේ ගැඹුර වැඩි වන්නට වන්නට එම වචනවල ශක්තිය අඩු වී යනවා. ඉතා ගැඹුරු මෝහන තත්වයකදී එම වචනවල බලපෑම සම්පූර්ණයෙන්ම වුවද ඉවත් වන්නට පුළුවන්. එවිට “ඔබ මෙතැන් සිට සිගරට් බොන්න එපා” කියූ විට එය යටි සිත මතක තබා ගන්නේ “ඔබ මෙතැන් සිට සිගරට් බොන්න” කියා විය හැකියි.

ඇත්තටම, ඉහත සංසිද්ධිය සිදුවීමට ‍මීට පෙර සඳහන් කළ දෙයක් උපකාරී වෙනවා. ඒ කියන්නේ වචන යනු සංඥාය යන අදහස. “සිගරට් බොනවා” යනු යම් යම් තවත් සංඥා රාශියක් (මකුළු දැලක් සේ) එකිනෙකට සම්බන්ධ කරගත් ප්‍රබල සංඥාවක් ලෙසයි මනසේ පවතින්නේ. එයට ව්‍යාකරණ රීතින් වචනය හරියට ශබ්ද කළාද නැද්ද යන දේවල් වැදගත් නැහැ. එවිට “සිගරට් බොන්න එපා” කියා කිව්වත් “එපා” යන්න යටි සිතට දැන් නොදැනෙන නිසා තමයි “සිගරට් බොන්න” වැනි සංඥාව යටි සිතට ඉබේම ඇති වන්නේ.

ඔබ සාමාන්‍ය ජීවිතයෙත් යටි සිතේ මෙම සංසිද්ධියට නිතරම මුහුණ දෙනවා. උදාහරණයක් ලෙස, ඔබ පෙම්වතා (හෝ පෙම්වතිය) සමග දුරකතනයෙන් කතා කරමින් සිටින විට පෙම්වතාගේ පැත්තෙන් නිකං හෝ ගැහැණු කට හඬක් ඇ‍සුණේ නම්, එය සමහරවිට ප්‍රශ්නයක් කර ගනීවි. ඔබට සිතෙන්නේම ඔහු තවත් යුවතියක් සමග සිටිනවා ලෙස විය හැකියි. ඇයි ඔබට සිතෙන්නේ නැත්තේ ඇය අහල පහල කෙනෙකු හෝ නෑදෑ කෙනෙකු කියා. ඇත්තටම සැක නොකර එසේ සිතන අයත් සිටින්නට පුළුවන්. ඔබේ සිතේ සංඥා ගබඩා වී ඇති ආකාරය අනුව ඒ දේ තීරණය වෙනවා. මෙලෙස අසම්පූර්ණ තත්වයන් (සංඥා) පවා සම්පූර්ණ කර ගන්නට මනස සමත්. එමනිසා, නිශේධාත්මක කොටස් ඉවත් කළ පසු ඇතිවන අසම්පූර්ණ වාඛ්‍ය සම්පූර්ණ කර ගන්නට මනසට පුළුවන්.

එහෙත් මෙහි තවත් පැතිකඩක් තිබෙනවා. මෝහන ප්‍රතිකාරය තුළ මෝහනවේදියා හා මෝහනලාභියා අතර සංවාදද පවතිනවා. මෝහනවේදියා ස්ක්‍රිප්ට් එකක් කියාගෙන යන එකට අමතරව එලෙස සංවාද කිරීමට අවශ්‍ය අවස්ථා තිබෙන්නට පුළුවන්. උදාහරණයක් ලෙස “ඇඟට වැහුණු යක්ෂයන් ප්‍රේතයන් පලවා හැරීම” එවැනි අවස්ථාවක්. එවැනි සංවාද බොහෝ විට ඉතා ගැඹුරු මෝහන මට්ටමක් තුළ නොවේ පවතින්නේ. එලෙස සංවාදයේ යෙදෙන විට නම්, සාමාන්‍ය පරිදි නිශේධාත්මක වචන භාවිතා කරන්නට පුළුවන්. “‍මේ මොහොතේ සිට මේ ශරීර කූඩුවට ඔබට ඇතුළු වෙන්නට බැහැ” (මෙය යක්ෂයාට කියන දෙයකි. එනම්, ආතුරයාට කියන දෙයක්.) වැනි වාඛ්‍ය කිව හැකියි. එහෙත් ස්ක්‍රිප්ට් ලියන විට පුළුවන් තරම් නිශේධාත්මක වචන නොයෙදීම වඩා සුදුසුය.

    ·         මෝහනලාභියා දකින/දැනෙන ආකාරයට වාඛ්‍ය ලියන්න.
මෙය මා උදාහරණයක් ආශ්‍රයෙන් පෙන්වා දෙන්නම්. ඇත්තටම මෙම උදාහරණය මා මීට පෙර කරුණ තුළත් ඇතුළත්ව තිබෙනවා. “ඔබ නියපොතු සපනවා දැක්කහම වෙනත් අයට ඔබ ගැන පිළිකුලක් ඇති වෙනවා” යන වාඛ්‍ය ගන්න. මෙය බැලූ බැල්මට හොඳ යෝජනාවක්. එහෙත් මෙහිදී පිළිකුළ ඇතිවන්නේ අනිත් අයටයි. ඊට අමතරව එලෙස වෙනත් අයට පිළිකුළ ඇතිවීම මෝහනලාභියාට ගැටළුවක් අපහසුවක් ඇති වන බවක් ඉන් හඟවන්නේද නැහැ. යටි සිත, උඩු සිත මෙන් තර්ක කර කර “හා අනිත් අයට මං නියපොතු සපන එක පිළිකුළක් එය මගේ තත්වයට හොඳ නැහැ... එමනිසා මා එය නතර කරන්න ඕන” ලෙස සංඥාවක් ඇති කර ගන්නේ නැහැ. එහෙත් එම වාඛ්‍ය “ඔබ නියපොතු සපනවා දැක්කහම වෙනත් අයට ඔබ ගැන පිළිකුළක් ඇති කරනවා; එනිසා ඔබට ලොකු අපහසුවක් ලැජ්ජාවක් ඇති කරනවා” වැනි වාඛ්‍යයක් කී විට එහි බලපෑම තමන්ට දැනෙන දෙයක් බවට පත් කර ඇත.

    ·         කොම්පවුන්ඩිං උපක්‍රමය භාවිතා කරන්න.
compounding යනු මෝහන තත්වයක් තුළ යටි සිතේ පවතින ලක්ෂණයකි. එනම්, යටි සිතට එකින් එක යෝජනා ගොන්නක් (විනාඩි ගණනක් පුරාවට) දිය යුතුය (හෝ හැකිය). එහිදී පළමු යෝජනාව ලබා දී දෙවැනි යෝජනාව ලබා දුන් විට, ඉන් පළමු යෝජනාවේ බලය/සැර වැඩි වේ. තෙවැනි යෝජනාව ලබා දුන් විට, ඊට පෙර ලබා දුන් දෙවැනි යෝජනාවේ බලයද, ඊටත් පෙර ලබා දුන් පළමු යෝජනාවේ බලයද නැවත වැඩි වේ. ඒ කියන්නේ පසුව දෙන සෑම යෝජනාවක්ම හේතු කොට ගෙන ඊට පෙර යෝජනාවල බලයන් වැඩි වේ. මෙය එක්තරා විදියට “වැල් පොලී” ක්‍රමයට කියාත්මක වන තත්වයක්. (ඔව්, බොහෝවිට ඔබ දන්නවා ඇති වැල්පොලියට ඉංග්‍රිසියෙන් කියන්නේ compound interest කියා බව.)

බොහෝ මෝහනවේදීන් පවසනවා යෝජනා කොම්පවුන්ඩ් වීමේදී තිබූ මට්ටමට වඩා දෙගුණයක් සැර වැඩිවන බව. ඒ කියන්නේ පළමු යෝජනාව කියා දෙවැනි යෝජනාව ඉදිරිපත් කළ විට, පළමු යෝජනාව තිබුණු බලයට වඩා දෙගුණයක බලයක්/සැරක් අත්කරගන්නවා. තෙවැනි යෝජනාවක කළ විට, දෙවැනි යෝජනාව දැන් දෙගුණයක සැරක්ද පළමු යෝජනාව හතර ගුණයක් සැරක්ද (ඒ කියන්නේ එය තිබූ මට්ටමෙන් දෙගුණයක්. තෙවැනි යෝජනාව දෙන විට, පළමු යෝජනාව තිබුණේ දෙගුණයක බලයකිනි.) වෙනවා. හතරවැනි යෝජනාව ‍දුන් පසු පළමු යෝජනාව නැවත දෙගුණ වී අටගුණයක් සැර වැඩි‍ වෙනවා. මෙලෙස එකලොස් වැනි යෝජනාවට පසුව පළමු යෝජනාව දහස් ගුණයක බලයක්/සැරක් හිමි කර ගන්නවා.

ඇත්තටම, මා නම් එම මෝහනවේදින්ට එකඟවන්නේ නැත. අනිවාර්යෙන්ම සෑම යෝජනාවකටම පසුව සැර වැඩි වන එක සත්‍යයක්. එහෙත් එය දෙගුණයක් තරම් විශාල මට්ටමකින් සිදු විය නොහැකි බවයි මාගේ හැඟීම. හරියටම කොච්චරක්ද කියා කිසිවෙකුට කිව නොහැකිය. එය මෝහනලාභියා හා ඔහු සිටින මෝහන මට්ටම අනුව වෙනස් විය හැකියි. දළ වශයෙන් එය සියයට එකේ සිට දහය දක්වා ප්‍රමාණයක සැර වැඩි වීමක් ලෙස මා සිතනවා. එයද සුළු පටු නැහැ. විනාඩි ගණනක් තුළ අප යෝජනා සිය ගාණක් ඉදිරිපත් කරනවා. එවිට මෙම කුඩා ප්‍රමාණයෙන් සැර වැඩි වුවත්, එය අවසානයේ වැල්පොලී ක්‍රමයට ක්‍රියාත්මක වීම ‍හේතුවෙන් ඉතා විශාල බලය වැඩි වීමකට ලක් වෙනවා. ගණිතයේ මෙවැනි වැඩි වීම් “ඝාතීයව”
(exponentially) සිදුවෙනවා කියා පවසනවා.

අප මෙම මනසේ හැකියාව අපේ වාසියට හරවා ගත යුතුමයි. මෝහන ප්‍රතිකාරය කිරීම සාමාන්‍යයෙන් වරකට එක් වෙනස්කමක් සඳහා පමණයි සිදු කරන්නේ. ප්‍රශ්න දෙක තුනකට එකම සැසිය තුළ සිදු කිරීම නුසුදුසුයි. උදාහරණයක් ලෙස, සිගරට් බොන එක නතර කිරීම, කරුවලට තිබෙන බිය ඉවත් කිරීමට යන දෙක සඳහාම එකම මෝහන සැසිය තුළ සිදු නොකළ යුතුයි. ඒ සඳහා සැසි වෙන වෙනම පවත්වන්න. මෙලෙස එක් ප්‍රශ්නයක් පමණක් සලකා බලන නිසා, ඔබට පුළුවන් එම ප්‍රශ්නය පමණක් අරමුණු කරගෙන එක් ප්‍රබල ප්‍රධාන කුඩා යෝජනාවක් නිර්මාණය කරන්නට. උදාහරණයක් ලෙස, සිගරට් බොන එක නතර කිරීම සඳහා නම්, “මෙතැන් සිට ඔබ දුම්බීම අප්‍රිය කරනවා; දැන් සිටම දුම් බීම නතර කරනවා” වැනි වාඛ්‍යයක් සෑදීමට. මෙන්න මෙම වාඛ්‍යය ස්ක්‍රිප්ට් එකේ පළමු වාඛ්‍යය ලෙස කියන්න. අනෙක් සියළුම වාඛ්‍යය නිසා මේ ප්‍රධාන වාඛ්‍යය ප්‍රබල වෙනවා. එලෙස එතැන් සිට තිබෙන අනෙත් වාඛ්‍යද ඒවායේ වැදගත් බව සලකා පෙළගස්වන්න.

ඔබට මෙලෙසත් කළ හැකියි. ඇත්තටම මෙය වඩා උචිත විය හැකියි. පළමු යෝජනාව ලෙස “ඔබ පිට කරන සෑම හුස්මක් පාසාම ඔබ සිටි මට්ටමට වඩා සැහැල්ලු ගැඹුරු මට්ටමකට පත් වෙනවා” යන වාඛ්‍යද, දෙවැනි වාඛ්‍යය ලෙස ඉහත ඡේදයේ කියූ ලෙස ඒ ඒ අවස්ථාවට උචිත ප්‍රධාන වාඛ්‍යය කියන්න. මෙවිට මෝහනලාභියා ක්‍රමයෙන් ගැඹුරු මෝහනයටද පත් වෙනවා ඔබ ස්ක්‍රිප්ට් එක කියාගෙන යන විට. එවිට ඔබ කියන යෝජනා වඩා වඩාත් ප්‍රතිඵලදායක වෙනවා.

   ·         විවිධ වචන හා වාඛ්‍ය රටා හැකි පමණ යොදන්න.
ඉහතදී පැවසුවා එක සැසියකදී එක ප්‍රශ්නයක් පමණක් සලකන්න කියා. ඒ කියන්නේ එක සැසියක කියන්නේ එක ස්ක්‍රිප්ට් එකකි. උදාහරණයක් ලෙස, මත්වතුර බොන එක නතර කිරීමට කරන මෝහන සැසියකදී, ඔබ දෙන යෝජනා ඊට අදාල ඒවා විය යුතුයි. සමහරවිට එවැනි යෝජනා දහයක් දොළහක් පමණ කුඩා ප්‍රමාණයක් පමණක් ඔබට ලිවීමට හැකි වේවි. එච්චර කුඩා වාඛ්‍ය ප්‍රමාණයක් කීමට ඔබට වැඩිම වුණොත් විනාඩි දෙකක් ගත වේවි. එවිට එම මෝහන යෝජනාවලිය එතරම් ඵලදායි නොවනු ඇත. මෙය ගැටළුවකි. අනෙක් අතට, කොම්පවුන්ඩිං කිරීමට යෝජනා සිය ගණනක් තිබීමටද අත්‍යවශ්‍ය වේ.

ඉහත ගැටළු දෙකමට හොඳ යෝජනාවක් ඇත. එනම්, එකම යෝජනාව කිහිප සැරයක් කීමයි. උදාහරණයක් ලෙස, විවිධ යෝජනා දහයක් පමණක් ඇති නම්, එකම යෝජනාව දහ සැරයක් ගානේ කියන විට සම්පූර්ණ යෝජනා ප්‍රමාණය 100ක් පමණ වේ.

එහෙත් එකම වාඛ්‍යය කිහිප සැරයක් කියන විට, එය කියන ඔබටද අසන මෝහනලාභියාටද නීරස වේ. එය වැලැක්වීමට එකම වාඛ්‍ය වෙනස් වෙනස් වචන යෙදීමෙන් හා වෙනස් වාඛ්‍ය රටාවන්ට ලිවීමෙන් කළ හැකියි. ඔබේ හඬ සුදුසු පරිදි වෙනස් කරමින් ඒවා කිව හැකියි. මෙලෙස විවිධත්වයක් ලබා දෙන්න.

   ·         හැඟීම්බරව ලියන්න.
යටි සිත හැඟීම්වලට සංවේදී ඒවා ගබඩා කර ගන්නා මනසයි. එනිසා හැඟීම් දනවන ආකාරයට යෝජනා කිහිපයක් හෝ සකස් කරන්න. ලියන වචන පමණක් නොව, කියන විදියෙනුත් හැඟීම් ඇති කළ හැකි බව මතක තබා ගන්න. උදාහරණයක් ලෙස මත්පැන් නතර කිරීමට කියන යෝජනාවලියක සමහර යෝජනා හදන්නට පුළුවන් මත්පැන් ගඳ ගහන අප්‍රිය සහගත දෙයක් ලෙස. එය අසූචි ගොඩක් සේ පිළිකුල් කිරීමට යෝජනා කළ හැකියි. ඒවා කියන විටත් අප්‍රියජනක දෙයක් කියන ආකාරයට කියන්න. එය මෝහනලාභියාට දැනෙනවා. ඒ වගේමයි සභාවක් ඉදිරියට යෑමට බියක් ඇති අය සඳහා ලියන ස්ක්‍රිප්ට් එකක වීරෝධාර බව වැඩි වන ආකාරයට වාඛ්‍ය ලියන්න. ඒවා කියන විටත්, එම හැඟීම් උත්දීපනය වෙන පරිදි කියන්න (අර සමහර චිත්‍රපටි හා නාට්‍යවල නළුවන් අපේ ඇ‍ඟේ රෝම කෙලින් වෙන විදියට කතා කරන්නාක් මෙන්).

   ·         හොඳ හා නරක දෙකම ලියන්න.
බොහෝ විට, යම් ජීවන රටාවේ වෙනසක් ඇති කිරීමට සාදන ස්ක්‍රිප්ට් එකක දෙවර්ගයක යෝජනා අවශ්‍ය වේ. එකක් නම්, එම දැනට පවතින වෙනස් කළ යුතු දේ තුළ පවතින නරක කිව යුතුය. ඊළඟට ඒ වෙනුවට ඇති වන අළුත් ජීවන රටාවේ ‍හොඳ කිව යුතුය. මෙවැනි දෙවර්ගයේම යෝජනා මිශ්‍රව ස්ක්‍රිප්ට් එක සාදන්න.

   ·         සම්පූර්ණ ක්‍රියාවලියම (පැතිකඩ සියල්ල) සැලකිල්ලට ගන්න.
‍හොඳ ස්ක්‍රිප්ට් එකක මෙම ලක්ෂණය තිබිය යුතුමයි. බොහෝ වෙනස්කම් හුදු තනි එකක් නොවේ. උදාහරණයක් ලෙස, දුම්බීම නතර කිරීම සඳහා වැදගත් පැතිකඩ රාශියක් ඇත. ඉන් ඇතිවන මුදල් වැය වීම, ලෙඩ රෝග ඇති වීම, අවලක්ෂණ වීම, තමන්ගේ දරුවන් හෝ ‍අහල පහල සිටින අයව රෝගී කිරීම, දුසරිතින් යුතු මිතුරන් (ඇත්තටම උන් මිතුරු‍ වෙසින් සිටින පසමිතුරන්ය) නිසා දුම්බීම ප්‍රවර්ධනය වීම හා ඉන් වැළකී සිටීමට නොහැකි තත්වයක් ඇති වීම, පාටියකදී හෝ වෙනත් තැනකදී නොමිලේ සිගරට් එකක් දුන් විට බොන්නට සිතීම ආදී විවිධ පැතිකඩ ස්ක්‍රිප්ට් එක විසින් ආවරණය කළ යුතුය. තවත් උදාහරණයක් ගමු. සභාවක් ඉදිරියේ කතා කිරීමට ඇති බිය ඉවත් කිරීමට සාදන යෝජනාවලියක් ගමු. එහිදී නිකංම කතා කිරීමට උනන්දු කරවීම විතරක් ප්‍රමාණවත් නැහැ. කතාවට අදාල තොරතුරු අනලස්ව සොයාගෙන ඒවා සංවිධානාත්මකව සකස් කරගන්නට, කතා කරන විට සභාවේ අයගේ ඇස් දිහා ඍජුව බලන්නට හැකිවීම, තමන්ගේ නම කතා කරන විට හා අත්පුඩි ගසන විට ඇතිවිය හැකි තිගැස්ම නතර කිරීමට හා ඒ වෙනුවට ඊට ආශාවක් ඇති කිරීමට, තමන්ට සිදුවිය හැකි කුඩා කුඩා අතපසුවීම් නිසා තමාගේ ධෛර්ය අඩපණ වීම වැලැක්වීම ආදී නොයෙකුත් පැතිකඩ එහි ඇත.

මෙලෙස, අදාල ප්‍රශ්නයට සම්බන්ද විවිධ පැතිකඩ සියල්ලම හෝ බොහෝ ගණනක් ආවරණය නොකළොත් ඉන්ද මෝහනය අසාර්ථක ව්‍යායාමයක් පමණක් වේවි.



    අනෙක් අතට, සෑම දෙයක්ම මෝහනය කළ පමණින් සාර්ථක නොවේ. උදාහරණයක් ලෙස, ජීවිතය පුරාම සාමාන්‍ය පරිසරය තුළ වුවත් රසවත්ව බුද්ධිමත්ව කතා කිරීමට නොදන්නා කෙනෙකු මෝහනයට පත් කර “ක්ෂණික නූඩ්ල්ස්” වගේ දක්ෂ කථිකයකු කළ නොහැකිය. ඇත්තට කළ නොහැක්කක් නොමැත. ජීවිතය කාලය පුරාම තමන් අදක්ෂ කථිකයකු නම්, පළමුව දක්ෂ කථිකයකු වීමට අවශ්‍ය කුසලතාව වැඩි දියුණු කරගත යුතුයි. අනෙක් දක්ෂ අය කතා කරන විදිය ‍විමසා බලන්න. පොත පත කියවන්න. පුරුදු වෙන්න. ඒ සමගම අවශ්‍ය නම්, මෝහනය වන්න. මෝහනය යනු කෝකටත් තෛලය නොවේ. ඊට කළ හැකි හා නොකළ හැකි දේ තිබේ.

    ඉහත පෙන්වා දුන් රීතින් අනුගමනය කර ඔබට ලෝකයේ ඉතා අනර්ඝතම ස්ක්‍රිප්ට් ලිවිය හැකියි. මා මුලිනුත් පැවසූ ආකාරයට බොහෝ අය ස්ක්‍රිප්ට් ලියන්නේ එක්කෝ මුදල් සෙවීමටයි; නැතිනම් කිසි හැඟීමක් නොමැතිවයි. අනුන්ගේ ස්ක්‍රිප්ට් නොව, තමන්ගේම ඒවා ලියන්නට පුරුදු වෙන්න. ඉහත කරුණු අඩංගු කර ස්ක්‍රිප්ට් එකක් ප්‍රායෝගිව ලියන ආකාරය මා උදාහරණයක් ආශ්‍රයෙන් පෙන්වා දෙන්නම්.

  
    Hypnosis (mohanaya) ...

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

දෛශික (vectors) - 1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1