Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

ඉලෙක්ට්‍රොනික්ස් පාඩම - 6 (Electronics Lesson)

ඉලෙක්ට්‍රොනික් පරිපථ සමග වැඩ කිරීමට අත්‍යවශ්‍ය උපකරණ
විවිධාකාරයේ ටූල්ස් තිබෙනවා. සමහරක් ලක්ෂ ගණන් මිල අධික වන අතර, සමහරක් අත්‍යවශ්‍යද නොවේ. සමහරෙකුට නම්, පරිපථ සෑදීමට පෑස්සීමට ගන්නා “බවුතයක්” තිබීම පමණක් ප්‍රමාණවත් සේ සිතයි. එහෙත් ආරම්භක අවස්ථාවේදී පහත දැක්වෙන උපකරණ (tools) හා උපයෝගි දේවල් (utilities) තිබීය යුතු යැයි මා යෝජනා කරනවා. සෑම උපකරණයකින්ම යම් කිසි නිශ්චිත කාර්යක් සිදු කරනවා. ඔබ එම කාර්යන්ට අමතරව වෙනත් දේවල් එම උපකරණවලින් කරන්නට යන්න එපා. එය උපකරණය විනාශ වී යෑමට හේතු වෙනවා පමණක් නොවේ, වලක්වාගත හැකිව තිබූ අනතුරුවලටද අත වැනීමකි. උදාහරණ ලෙස, ඉස්කුරුප්පු නියනක මිට තිබෙන්නේ මිටියක් සේ ‍යම් යම් දේවල්වලට තැලීමට නොවේ. අනවශ්‍ය රත් කිරීම්වලට (ගින්දරට), ජලයට, රසායනික ද්‍රව්‍යයන්ට උපකරණ නිරාවරණය කරන්න එපා.
1.       සෝල්ඩරින් අයන් එකsoldering Iron එක තමයි බොහෝ දෙනා “බවුත් එක” යනුවෙන් හඳුන් වන්නේ. විවිධ හැඩවලින් හා විවිධ අමතර උසස් පහසුකම් සමග හා විවිධ මිල ගණන් යටතේ ඔබට සෝල්ඩරින් අයන් එකක් මිල දී ගත හැකිය. සෝල්ඩර් යනු “පාස්සනවා” යන්නට ඉංග්‍රිසියෙන් කියන වචනය වේ. 


ආරම්භයේදී ඔබ රුපියල් තුන් හාරසියකට වඩා අඩුවෙන් තිබෙන වොට් 35ක පමණ බවුතයක් මිල දී ගැනීම ප්‍රමාණවත්ය. බවුතයක් යනු සරල උපකරණයකි. එහි ප්‍රධානම කොටස වන්නේ විදුලිය සැපයූ විට තාපය (උණුසුම) සපයන තාපන දඟරය (heating elementබොහෝ දෙනා මෙය “ඉලෙමන්ට් එක” කියා හඳුන්වනවා.) වේ. 


විදුලිය සපයා තාපය ලබා ගන්නා හොට් ප්ලේට්, ඉස්තිරික්කය, හීටරය වැනි විදුලි උපකරණවලද ඇත්තේ මෙවැනි තාපක දඟරයකි. බවුතයේ වොට් ගණන අනුව මෙම තාපක දඟරයේ ප්‍රමාණය වෙනස් වේ. මෙම තාපන දඟරය වටා යම් විදුලි පරිවාරක ද්‍රව්‍යයක් ඔතා ඇත. එමගින් තාපක දඟරය හරහා යන විදුලි ධාරාව බවුතයේ භාහිර ලෝහමය කොටස්වලට කාන්දු වීම වලකා ඇත. (බවුතයක පමණක් නොව, ඉහත සඳහන් සෑම තාපක උපකරණයකම තාපන දඟරය එවැනි විද්‍යුත් පරිවාරක ද්‍රව්‍යයකින් ආවරණය කළ යුතුමය.) එම පරිවරණය අත්‍යවශ්‍ය වේ, මක්නිසාද යත් ඔබට විදුලිය වැදීම මෙන්ම පාස්සන උපාංග හරහා ධාරාව ගලා ගොස් එම උපාංග පිලිස්සී යෑමද මෙමගින් නතර වේ.

මෙම පරිවරනය කරන ලද තාපන දඟරය බවුතයේ කෙළවර සවි වී ඇති බිට් 
(bit) එකට සම්බන්ද වේ. බිට් එක බවුතයට සවි වී ඇත්තේ නැවත ගලවා සවි කළ හැකි පරිදිය. (එනම්, බිට් මාරු කළ හැකිය.) එවිට තාපන දඟරයේ උපැද්දවෙන තාපය එම බිට් එකට ගමන් කර පෑස්සීමට අවශ්‍ය උෂ්ණත්වය බිට් එක සතු වේ. (කැමැති නම්, ඔබ බවුතයක් සෙමින් ගලවා එම කොටස් හඳුනා ගන්න.)  


බිට් එක ගැනද යමක් කීමට ඇත. පෙන්සිල් ටයිප්, චිස්ල් ටයිප්, බෙන්ට් (අගින් නැමුණු) ආදී ලෙස බිට් වර්ග කිහිපයක් ඇත.
 


රෙසිස්ටර් වැනි උපාංගයක් සර්කිට් බෝඩ් එකට පෑස්සීමට පෙන්සිල් ටයිප් (එනම්, උල් හැඩැති) බිට් එකක් හොඳය. වයර් දෙකක් අමුණා එය ඊයම්වලින් පෑස්සීමට චිස්ල් ටයිප් (එනම්, තුඩ පැතලි) බිට් එකක් හොඳය. තමන්ගේ පහසුව පරිදි බිට් භාවිතා කරන්න.

බවුතයේ වොට් ගණන ගැනද ඔබ දත යුතු දෙයක් තිබේ. බවුතය කුමන වොට් ගණනින් තිබුණත්, එය රත්වන්නේ දළ වශයෙන් (ඊයම් උණුවීමට ප්‍රමාණවත්) එකම උෂ්ණත්වයට වේ. බවුතයේ බිට් එක ලෝහක් මත (හෝ පාස්සන වෙනත් ඕනෑම දේකට) තැබූ විට, බිට් එකේ සිට එම කොටසට තාපය ගමන් කරයි. එවිට එම කොටසද රත් වීමට පටන් ගනී. බවුතයකින් කරන රාජකාරියද එයයි (එනම්, පාස්සන කොටස් රත් කිරීම). එවිට, බවුතයේ බිට් එක සිසිල් වීමට පටන් ගනී. (රත් වෙච්ච දෙයක් තාපය ගලා යා හැකි ලෝහක් වැනි දෙයක් මත තැබූ විට එම රත් වූ දෙය ඉක්මනින් සිසිල් වන බව කවුරුත් දන්නා දෙයකි. දහඩිය දමන දිනයක ඔබේ ශරීරය ගේට්ටුව වැනි ලෝහමය දේකට ස්පර්ශ කළ විට, ඔබට සිසිලක් දැනෙන්නේ ඔබේ ශරීරයේ උෂ්ණත්වය එම ‍ලෝහමය කොටසට ගලා ගොස් සිසිල් වන නිසාය.) බිට් එක තැබූ ලෝහ කොටස විශාල වන විට, බිට් එක වැඩි වේලාවක් එය මත තබා ගෙන සිටීමට සිදු වේ. එහෙත්, තාපන දඟරයෙන් අඛණ්ඩව තාපය බිට් එකට ලබා දේ. බවුතයේ වොට් ගණන වැඩි වන තරමට තාපන දඟරයෙන් උපද්දවන (හා පිටකරන) තාප ප්‍රමාණය වැඩිය. එවිට වැඩි වොට් ගණනක් ඇති බවුතයක් භාවිතා කරන විට, වැඩි වේගයකින් වැඩි තාප ප්‍රමාණයක් පිට කරන බැවින්, ලෝහය මත බිට් එක තබා ගෙන සිටිය යුතු කාලය අඩු වේ.

මේ අනුව බැලූ බැල්මට පෙනෙන්නේ වැඩි වොට් ගණනක් තිබෙන බවුතයක් ‍වඩා හොඳ බවයි. එනම්, ඉක්මනින් පෑස්සිය හැකියි. එහෙත් එවැනි වැඩි වොට් ගණනක් ඇති බවුතයකින් විදුලී උපාංගවලට වැඩිපුර තාපය ගමන් කිරීමෙන් පහසුවෙන් එම උපාංග පාස්සන විටම පිලිස්සී යෑමටද ඉඩකඩ වැඩිය. කාර් බැටරි කනුවලට සවිකරන කනෙක්ටර් වැනි විශාල ලෝහ කැබැලි පාස්සන විට වැඩි වොට් ගණනක් සහිත බවුතයක් අත්‍යවශ්‍ය වේ. කුඩා වොට් ගණනක් ඇති බවුතයක් කොතරම් එවැනි ලෝහයක් මත තබා සිටියත් එය අවශ්‍ය ප්‍රමාණයට රත් නොවේ. (ඊට හේතුව ලෝහය විශාල බැවින් උරාගන්නා තාපය ඉක්මනින් භාහිර පරිසරයට හානි වී යෑමයි. එය හරියට හිල් වෙච්ච භාජනයකට වතුර පුරවනවාක් බදු වේ.) ඔබට  විශාල සන්නායක කොටස්ද පෑස්සීමට සිදු වේ නම්, වොට් 
35ක බවුතයකුත් වොට් 60 හෝ 100 ක බවුතයකුත් ලෙස දෙකක්ම මිල දී ගන්න.

සාමාන්‍යයෙන් අඩු වියදමට ඇති බවුතයක උෂ්ණත්වය පාලනය කළ නොහැකිය. මිල තරමක් වැඩි උෂ්ණත්වය පාලනය කළ හැකි බවුතද ඇත. එවැනි බවුතයක ඔබට කැමැති උෂ්ණත්වයකට සෙට් කළ හැකි අතර, එම සෙට් කරපු උෂ්ණත්වයට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් එහි බිට් එක පවතින්නේ නැත. වොට් ගණනද තමන්ට කැමති අගයකට සැකසිය හැකි බවුත්ද ඇත. එවැනි උසස් ක්‍රියාකාරිත්වයන් ඇති බවුත් සෝල්ඩරින් ස්ටේෂන්යන නමින් හැඳින්වෙන විශාල උපකරණයක් ලෙසට පවතී.
 


සාමාන්‍යයෙන් 
SMD උපාංග බවුතයකින් පාස්සන්නේ නැත. ඒ වෙනුවට බහුලව භාවිතා කරන්නේ hot gun (හෝ hot air gun) නම් පෑස්සූම් උපකරණයයි. එහි බ්ට් එකක් නැත. ඒ වෙනුවට ඇත්තේ (ඊයම් උණුවන තරමට) රත් වූ වායු දහරාවක් පිට කරන සිදුරකි (nozzle). ඇත්තටම මෙම උපකරණය තුළද තාපන දඟරයක් ඇත. එම දඟරයට පිටුපසින් ෆෑන් එකක් ඇත. එවිට, එම ෆැන් එකෙන් වාතය අර රත් වූ දඟරය හරහා යවන විට එම වාතය නොසල් එකෙන් එලියට එන්නේ ඉහළ උෂ්ණත්වයකත් සමඟය. බවුතයක බිට් එක මෙන්ම, මෙම නොසල් එක ගලවා සවි කරගත හැකි ආකාරයෙන් පවතී. නොසල් එකේ සිඳුරේ විශාලත්වය ඒ අනුව අපට සුදුසු නොසල් යෙදීමෙන් වෙනස් කළ හැකිය.
            

     
හොට් ගන් එකක් වෙනම මිල දී ගත හැකි වුවත්, බොහොමයක් අවස්ථාවල හොට් ගන් එකද සොල්ඩරින් ස්ටේෂන් එකේම සවි කර තිබේ. එවිට, එක් උපකරණයකින් සෝල්ඩරින් අයන් එකත්, හොට් ගන් එකත් ඇත.  


ඔබ 
SMD උපාංගද භාවිතා කරන්නට සිතනවා නම්, මෙවැනි දෙකම සහිත සෝල්ඩරින් ස්ටේෂන් එකක් ගැනීම යෝග්‍ය වේ. එහෙත්, එය තරමක් මිල අධිකය (රුපියල් හාරපන්දහකට වැඩිය). ඔබට සෝල්ඩරින් අයන් එක හොඳට ඇතට හුරු නම්, හොට් ගන් එකක් නැතිව SMD වුවද පෑස්සීමට හැකි බව මතක තබා ගන්න.


2.       සෝල්ඩරින් වයර්
පෑස්සීමට ගන්නා ඊයම් ලෙස බොහෝ අය සඳහන් කරන්නේ මෙයයි. මේවා රීල් 
(reel) වශයෙන් හෝ මීටර් ගණනට විකිණීමට ඇත. 0.8mm, 1mm ආදි ලෙස විවිධ ගණකම් (ගේජ්) වලින්ද ගත හැකිය. ගණකම වැඩි වන විට, මිලද වැඩි වේ. සාමාන්‍ය භාවිතයේදී ගේජ් එක අඩු solder wire භාවිතා කිරීම පහසුය. ඉක්මනින් ඒවා උණු වන අතර, අනවශ්‍ය තරම් සෝල්ඩර් වැය වන්නේද නැත. (ඔබ ගේජ් වැඩි එකක් භාවිතා කරන විට, යම් උපාංගයක් පාස්සන විට, වැඩිපුරත් එක්ක සෝල්ඩර් වැය වේ.)     

   
මේවාට ඊයම් ලෙස පවසන්නේ මෙම වයර්වල ඊයම් (ලෙඩ්) නම් මූලද්‍රව්‍ය අඩංගු නිසාය. ඊට අමතරව, ටින් යන මූලද්‍රව්‍යද අඩංගු වේ. සෙල්සියස් අංශක 189දී පමණ මෙම සෝල්ඩරින් වයර් උණු වී ද්‍රව බවට පත් වේ. මෙම සෝල්ඩර්වල ටින් සහ ලෙඩ් විවිධ අනුපාතවලටට මිශ්‍ර කර ඇත. ඉලෙක්ට්‍රොනික්ස් වැඩ සඳහා මිල දී ගත යුත්තේ ටින් ප්‍රතිශතය වැඩි (එනම්, ටින් 
60%ක් හා ලෙඩ් 40%ක් සේ මිශ්‍ර කර ඇති) සෝඩරින් වයර් වේ.

තවද, හොඳ සොල්ඩරින් වයර් තුළ සිහින් දිගටි නාල (සිදුරු) ඇත. එම නාල තුළ “දුම්මල” හෙවත් ෆ්ලක්ස් 
(fluxනම් ද්‍රව්‍යයක් ගබඩා කර ඇත. මෙම ෆ්ලක්ස් ලබා ගන්නේ විශේෂ ශාකයකිනි. මෙම දුම්මල සෝල්ඩරින් වයර් එක රත් වීමේදී සෝල්ඩර් උණු වීමට මොහොතකට පෙර උණු වී ගලා ගෙන යයි. ඇත්තටම, ඔබ සෝල්ඩර් රත් කරන විට (පාස්සන විට), ඉන් දුමක් දමන්නේ මෙම දුම්මල වාෂ්ප වී යෑමයි. බොහෝ දෙනෙක් සිතා සිටින්නේ, මෙලෙස දුම් දමා පිටවන්නේ ඊයම් කියාය. එය මුසාවකි. ඊයම් හෝ ටින් වාෂ්ප වීමට තරම් උෂ්ණත්වයක් කොහෙත්ම බවුතයක නැත. පහත රූපයේ දැක්වෙන්නේ විශාල කරන ලද ඊයම් වයරයක කෙළවරක් වන අතර, එහි මැද සුදු පාද ‍ළප තුනක් සේ පෙනෙන්නේ මෙම දුම්මල පුරවපු නාල තුනයි. 


මෙම දුම්මලවලට වැදගත් රාජකාරියක් ඉටු කිරීමට ඇත. තඹ, ඇලුමිනියම්, යකඩ, රිදී, හා රත්තරං යන ලෝහ ඉලෙක්ට්‍රෝනික්ස් වලදී සන්නායක ලෙස භාවිතා කෙරෙනවා. මේවා අතරින්, රිදී හා රත්තරං යන ලෝහ දෙක පමණක් සාමාන්‍ය පරිසරයේදී “ඔක්සයිඩ්” 
(oxide) සාදන්නේ නැත. සාමාන්‍ය ව්‍යවහාරයේදී “මල (කඩ) කනවා” යනුවෙන් කියන්නේද ‍‍ලෝහක් ඔක්සයිඩ් සාදන එකටයි. ඔක්සයිඩ් සාදනවා යනු ලෝහයක් (වාතයේ ඇති හෝ වෙනත් අයුරිකින් ලැබෙන) ඔක්සිජන් සමග රසායනිකව ප්‍රතික්‍රියා කිරීමයි. ඒ අනුව, තඹ (කොපර් ඔක්සයිඩ් ලෙසත්), ඇලුමිනියම් (ඇලුමිනියම් ඔක්සයිඩ් ලෙසත්) හා යකඩ/අයන් (අයන් ඔක්සයිඩ් ලෙසත්) “මල කනවා”. මල නොකෑ එවැනි ලෝහයක් සාමාන්‍ය පරිසර‍යට නිරාවරණය කොට තබන විට ක්‍රම ක්‍රමයෙන් ඒවා මල කනවා. තඹ හා පිත්තල (පිත්තල යනු තඹ අඩංගු මිශ්‍ර ලෝහකි) බඩු ටික දවසකින් “මඩ පාටක්” ගන්නේ එම ද්‍රව්‍ය භාහිරෙන් මල කා කොපර් ඔක්සයිඩ් තට්ටුවක් බැඳී පවතින නිසාය. “බ්‍රාසෝ” හෝ එවැනි ද්‍රව්‍යයක් යොදපු රෙදි කැබැල්ලකින් තඹ හෝ පිත්තල බඩුවක් ඇතිල්ලූ විට එය දිලිසෙන “රත්තරං පාටට” පත්වන්නේ එම මලකඩ ඉවත් වීම නිසාය. (පිරිසිදු මල නොකෑ තඹ රත්තරං සේ දි‍ලිසේ.)

ඇලුමිනියම්ද තඹ සේම සාමාන්‍ය පරිසරයේ ඇති විට මල කයි. මල නොකෑ ඇලුමිනියම්ද යම් දිස්නයක් සහිතව පවතී. එහෙත් එය මල කන විට ඉතා තුනී ඇලුමිනියම් ඔක්සයිඩ් පටලයකට භාහිරින් ඇති වන නමුත් තඹවලදී මෙන් එහි දිලිසීම අඩුවක් නොපෙනේ. තඹ හා ඇලුමිනියම් මල කෑවිට එම ලෝහ තවදුරටත් ගැඹුරට මලකෑමෙන් ඇත්තටම ආරක්ෂා වේ. ඊට හේතුව එම ලෝහවල මතුපිට ඒවායේ ඔක්සයිඩ් පටල මගින් වැසී ගොස්, එම ලෝහ ඇතුලට මලකෑම වැලකී යාමයි. යකඩද මල කයි. එහෙත් තඹ හා ඇලුමිනියම් මෙන් නොව, යකඩ මල කන විට, යකඩ ලෝහය ක්‍රමයෙන් විනාශයට (ඛාදනයට) පත් වේ. මලකඩ පොතු සේ ගැලවි ගැලවී ගොස් අවසානයේ යකඩය සම්පූර්ණයෙන්ම ක්ෂය වී යයි (මෙය ඔබ නිතර අත් දැක ඇති දෙයකි).
 



තඹ, ඇලුමිනියම්, හා යකඩ යන තුනෙහිම ඔක්සයිඩ හොඳින් විදුලිය සන්නයනය නොකරයි. එනිසා, මෙම ලෝහවල මල කෑම විශාල ප්‍රශ්නයකි. ඉලෙක්ට්‍රොනික්ස්වල වැඩිපුරම යොදාගන්නේ තඹ නිසා අවධානය ඒ වෙතට යොමු කරමු. (ඇලුමිනියම් හා යකඩ යන අනෙක් ලෝහ දෙකටද මේ කියන දේ වලංගු බව සිහි තබා ගන්න.) එනිසා, තඹ සන්නායක දෙකක් අමුණන විටක හෝ පාස්සන විටක එම සන්නායක දෙකේ මලකඩ ඉවත් කළ යුතුය. තඹ කැබැලි දිලිසෙන පෙනුම එන තෙක් පිහිතුඩකින් ප්‍රවේසමෙන් සූරා දැමීම කළ හැකිය. එහෙත් හැමවිටම එලෙස සීරීම කළ නොහැකිය. ඉහත කතා කළ දුම්මල ප්‍රයෝජනවත් වන්නේ මෙතැනය. රත් වූ එම දුම්මල තඹ සන්නායකයක් මත තැවරූ විට, තඹ ඔක්සයිඩ ඉවත් කිරීමේ හැකියාවක් එම දුම්මල වෙත ඇත.

අවශ්‍ය නම් රුපියල් සියයකට වඩා අඩු මිලකට එවැනි ෆ්ලක්ස් වෙනම මිල දී ගත හැකිය. ඇත්තටම ඔබ එලෙස ෆ්ලක්ස් එකක් මිල දී ගන්න. සෝල්ඩර් වයර් තුළම මෙම දුම්මල ගබඩා කර තිබීමෙන් පෑස්සීමට අමතරව එම සන්නායකවල ඔක්සයිඩ ඉවත් කිරීමට ඉබේම සිදු වේ. එනම්, ඊයම් උණුවීමට මොහොතකට පෙර එතුල ඇති දුම්මල උණු වී සන්නාය මතට වැටී ඒවායේ ඔක්සයිඩ ‍ක්ෂණිකව ඉවත් වේ. ඒ සමගම ඊයම් උණු වී වැක්‍ කෙරේ. (මෙය ඇත්තටම ඉතා කදිම උපක්‍රමයක්.)

මෙහිදීම තවත් කාරණයක් සඳහන් කරන්නට කැමැතියි. ඕනෑම ලෝහක් රත්වන විට සාමාන්‍යයෙන් සිදුවනවාට වඩා ඉක්මනින් ඔක්සයිඩ් සාදයි. (ඉහත උපක්‍රමය නිසා, මෙම තාපය වැඩි විට ඉක්මනින් ඔක්සයිඩ් සෑදීමට ඇති හැකියාවත් නැති වී යයි.)

 

3.       සයිඩ් කටර්
side cutter යනු වයර් කැපීමට, රෙසිස්ටර්, ට්‍රාන්සිස්ටර් ආදියේ (පෑස්සුවට පසු) වැඩිපුර ඇති කූරු කොටස් කැපීමට පමණක් භාවිතා කළ යුතු අත්‍යවශ්‍යම උපකරණයකි.   

      

අල්ලන කොටස් ලිස්සන සුලු නොවන 
(non-skidding හෝ anti-slippery) රබර් හෝ වෙනත් පරිවාරකයකින් ආවරණය කළ සයිඩ් කටර් එකක් මිල දී ගන්න. ඉබේම අඬුවේ කට (jaws) හැරෙන විදියට ස්ප්‍රිං එකක් හෝ එවැනි වෙනත් උපක්‍රමයක් යෙදූ එකක් නම්, තවත් පහසුය. වෙන කිසිදු තද ද්‍රව්‍යයක් කැපීමට මෙය භාවිතා නොකරන්න.
 
4.       ලෝන් නොස් ප්ලයර්ස්
උල් අඬුව යන නමින් හැඳින්වෙන්නේ මෙම 
long-nose pliers එක වේ. මේවා විවිධ සයිස්වලින් පවතී. ඔබේ අතට පහසුවෙන් අල්ලාගත හැකි ප්‍රමාණයේ එකක් (හෝ විවිධ සයිස් දෙක තුනක් හෝ) මිල දී ගන්න. වයර් නැමීම, ‍උපාංගවල පින් නැවීමට ආදිය මෙය අත්‍යවශ්‍ය වේ. මෙයද පෙර කීවා සේම, අතින් අල්ලන කොටස් ලිස්සන සුලු නොවන පරිවාරකයකින් ආවරණය කරපු එකක් විය යුතුය. (විදුලිය සමග කටයුතු කරන නිසා, අතින් අල්ලන කොටස් හැමවිටම පරිවරණයක කර තිබිය යුතුය. එය දහඩියට ලිස්සන්නේ නැති ද්‍රව්‍යයක් වීමද වැදගත්ය.) 



5.       කම්බිනේෂන් ප්ලයර්ස්
සාමාන්‍යයෙන් අඬුව යනුවෙන් හඳුන්‍වන්නේ මෙයයි. (පෙර සේම අල්ලන කොටස පරිවරණය කර තිබිය යුතුය.)
 



6.       ට්වීසර්ස්
නට්, ඇන, හා වෙනත් කුඩා උපාංග ආදිය එසවීමට (ඇල්ලීමට) ගන්නා සරල උපාංගයකි. මෙහි අග්‍ර නැවී පවතින (
bent tweezers) ආකාරයෙන් හා අග්‍ර නොනැමී පවතින (straight) ආකාරයෙන්ද යන දෙයාකාරයෙන්ම මිල දී ගන්න. තවද, මෙහි තුඩ සිහින් හෝ පැතිල් විය හැකිය. සාමාන්‍ය ඒවා තද කිරීමේදී තුඩු ළං වන අතර, තද කළ විට තුඩු ඈත් වෙන වර්ගයේ ඒවාද ඇත. මෙහිද අල්ලන කොටස පරිවරණය කර තිබිය යුතුය.  


 
7.       පේපර් කටර්
කොල කැපීමට භාවිතා කරන පිහියකි. සන්නායකවල මලකඩ ඉවත් කිරීමට සීරීමටද මෙය භාවිතා කළ හැකිය. වයර්වල පරිවාරක කොටස් ඉවත් කිරීමටද මින් පුලුවන්. මෙහි මිට ලෝහවලින් සෑදූ හොඳ බරකින් යුතු එකක් නම් වඩාත් යෝග්‍ය වේ. ප්ලාස්ටික් වලින් නිම කර ඇති ඒවා පහසුවෙන් කැඩී යයි. කටරය සමගම අමතර තල පැකට් එකකුත් (එම පැකට් එකක තල දහයක් ඇත. ඒවා මල නොකන පරිදි තබා ගැනීමට ප්ලාස්ටික් භාජනයක්ද ලැබේ. තල හැමවිටම එය තුළ දමා තබන්න.)
   


8.       මැග්නිෆයින් ග්ලාස්
යම් දෙයක් විශාල කර බැලීමට භාවිතා කරන උපකරණයකි. මෙය ලූප් 
(loupeයන නමින් හැඳින්වෙන ස්වරූපයෙනුත් ගත හැකිය. දළ වශයෙන් පසු හය ගුණයක්වත් විශාලනය කළ හැකි (6හෝ 10X  හෝ ලෙස එම විශාලනය කිරීමේ හැකියාව සංඛේතවත් කෙරේ.) එකක් ලබා ගන්න.   


9.       ඉන්සියුලේෂන් ටේප්
නැතිවම බැරි දෙයකි. 
Insulation tape ඉලෙක්ට්‍රිෂියන්ස් ටේප් (electrician’s tapeයනුවෙන්ද හැඳින්වෙනවා. වයර් දෙකක් සම්බන්ද කළ විට එය විදුලිය පිටතට කාන්දුවීම/වැදීම වැලැක්වීමට ‍භාවිතා වේ. කළු, රතු ආදි ලෙස වර්ණ කිහිපයකින්ම ලබා ගත හැකිය.  


සමහරුන් සෙලෝටේප් (ස්කොට්ච් ටේප් ලෙසද හැඳින්වෙන්නේද සෙලෝටේප්ය.) හෝ මාස්කින් හෝ රෙදිපටි වලින් හෝ පොලිතින්වලින් මේ වෙනුවට යොදා ගන්නවා. එය ඉතා මෝඩ වැඩකි. මෙම ටේප් මගින් භාහිරයට විදුලිය කාන්දු වීම වැලක්වීම පමණක් නොවේ සිදු කරන්නේ. ටික මොහොතකට පෙරත් පැවසුවා සන්නායක ඔක්සයිඩ් සාදන බව. යම් කම්බි දෙකක් අමුණා ඉන්සියුලේෂන් ටේප් නොයෙදුවොත්, එම සම්බන්දක වයර් මල කෑමට පටන් ගන්නවා. එවිට, එම සම්බන්දය දුර්වල වී (ප්‍රතිරෝධය ඉහළ ගොස්) එතැන රත් වන්නට ගන්නවා. සමහර විට, ගිනි ගැනීමට තරම් එතැන රත් වීමට පුලුවන්. එහෙත් ඔබ ඉතා තදට හෝ හොඳට ඉන්සියුලේෂන් ටේප් යෙදුවේ නම්, එම සන්නායකවලට භාහිර වාතය වැදීමට ඇති අවස්ථාව අහිමි වී මල කෑමට නොහැකි වෙනවා. එවිට අසාවි සෙලෝටේප් හෝ මාසිකින් යෙදීමෙන්ද එය කළ හැකි බව. එහෙත් මතක තබා ගන්න, සෙලෝටේප් හෝ මාස්කින් ටේප් සාදා ඇත්තේ එම අරමුණ සඳහා නොව. සෙලෝටේප් පහසුවෙන්ම පළුදු වෙනවා. ඒ විතරක් නොවේ, වැඩි විදුලියක් සහිත සම්බන්දයකදී සෙලෝටේප්වලින් අවශ්‍ය කරන ආරක්ෂාව අඩු වෙනවා. (යම් කිසි අවස්ථාවක ‍ඉන්සියුලේෂන් ටේප් නැතිම විටක, මෙවැනි උපක්‍රමයක් යෙදුවාට වරදක් නැත. එහෙත් හැකි ඉක්මනින් එය නිවැරදි කළ යුතු බව මතක තබා ගන්න.)

ඉන්සියුලේෂන් ටේප්වලින් කරන වැඩයම ඊට වඩා ලස්සනටත් ආරක්ෂාකාරිවත් සිදුකළ හැකි ක්‍රමයකි හීට්ශ්‍රින්ක් ටියුබ් (heat shrink tubes) යෙදීම. මේවා රබර් බට මෙන් පෙනුමක් පවතින අතර, විවිධ වර්ණයන්ගෙන්, විවිධ මහතවල්වලින් ඇත. මීටර් ගණනට මේවා විකුණනු ලැබේ. ‍ඔබ ආවරණය කිරීමට යන වයර් එකට වඩා තරමක් මහත අවශ්‍ය දිග ප්‍රමාණයට කපාගන්න. ඉන්පසු වයර් ඇමිනීමට පෙර මෙය වයර් එක තුළින් ඇතුලු කර වයර් අමුණා, ඉන්පසු එය වයර් අමුණපු සන්නායක කොටස් මතට ගෙනෙන්න. ඉන්පසු, ලයිටරයක් පත්තු කර එම ටියුබ් කෑල්ල මතට ළං කරන්න. එවිට එය හැකිලෙනු (shrink) ඇත. තාපයට හැකිලෙන නිසයි එයට එම නම ලැබී ඇත්තේ. මෙම හැකිලීම නිසා, එය ඉතා ‍හොඳින් කමිබිවලට සවි වේ.   





10.   හෙවි ඩියුටි ස්කෲ ඩ්‍රයිවර් (heavy duty screw drivers)
දණ්ඩ දිග, සවිමත් මිටකින් ඇති ඉස්කුරුප්පු නියන්ය. හැකි නම්, දණ්ඩද කෙළවර දක්වා පරිවරණය කරන ලද ඒවා මිලට ගන්න. මල් 
(Phillips) හා ෆ්ලැට් (flat) යන දෙයාකාරයේම දෙකක් මිලට ගන්න. 



11.   චබි ස්කෲ ඩ්‍රයිවර් (chubby screw drivers)
දණ්ඩ ඉතා කුඩා එහෙත් අත්ලට පහසුවෙන් අල්ලාගත හැකි විශාල මිටක් සහිත ඉස්කුරුප්පු නියන්ය.  මල් හා ෆ්ලැට් යන දෙයාකාරයෙන්ම දෙකක් මිලට ගන්න. ලොකු නියන් දැමීමට නොහැකි වැඩි ඉඩකඩක් නැති තැන්වල ඇති ඇන ගැලවීමට මෙය නැතිවම බැරිය. නියන මිටි වුවත්, මේවායේ තුඩවල් ඉහත හෙවි ඩියුටි ඒවායේ ප්‍රමාණයෙන්ම විය යුතුය.
 



12.   වොච් ස්කෲ ඩ්‍රයිවර්
ඔරලෝසු සාදන අය නිතර භාවිතා කරන ඉතා කුඩා තුඩවල් සහිත ඉස්කුරුප්පු නියන්ය. මේවා එක “සෙට් එකක්” සේ තනි ප්ලාස්ටික් පෙට්ටයක පැමිණේ. ශක්තිමත් වොච්මන් ස්කෘ ඩ්‍රයිවර් සෙට් 
(watch screw drivers)එකක් ගන්න. 



13.   ස්කෲ ඩ්‍රයිවර සෙට් එකක්
මල් 
(Phillips)ෆ්ලැට් (flat හෝ slotted)ටෝර්ක්ස් (torx)හා හෙක්ස් (hex) හෙවත් ඇලන් (Allen) යන ප්‍රධාන ආකාර හතර ඇතුලු තවත් වර්ගවල ස්කෲ (ඉස්කුරුප්පු ඇන) ඇත.

 


ඇත්තටම ඉස්කුරුප්පු ඇනයේ හිසේය (head) මෙම වෙනස තිබෙන්නේ. ඒ විතරක් නොවේ, විවිධ සයිස්වලින්ද එම ස්කෲ හෙඩ් පවතිනවා.

 


මෙවැනි ඉස්කුරුප්පු ඇන ගැලවීමට ඔබට ඉස්කුරුප්පු නියන් රාශියක් අවශ්‍ය වන බව පේනවා නේද? තනි තනිව විවිධ සයිස්වල මල්, ෆ්ලැට්, හෙක්ස්, හා ටෝර්ක්ස් ආදි ඉස්කුරුප්පු නියන් මිල දී ගත හැකි නම්, එය වඩාත්ම පහුසය (එහෙත් වියදම වැඩිය. නියන් හතලියක් පමණ ගැනීමට සිදු වනවා.) එලෙස මිල දී ගන්නවා නම්, ශක්තිමත් හා මිට පරිවරණය කරපු නියන් මිලදී ගන්න. එහෙත් එම ක්‍රමය මිල අධික නම්, එකම මිටකට විවිධ වර්ග හා සයිස් වල නියන් හිස් සවි කළ හැකි පරිදි සැකසූ නියන් සෙට් එකක් මිල දී ගන්න.
 


අදාල ඉස්කුරුප්පු ඇනයට වර්ගයෙන්ද සයිස් එකෙන්ද ගැලපෙන ස්කෲ ඩ්‍රයිවර් එකක් හැමවිටම භාවිතා කරන්න. ලොකු හිසකට කුඩා නියනක් හෝ කුඩා හිසකට විශාල නියනක් හෝ භාවිතා කිරීමෙන් ඔ‍බේ නියනත් ඇනයත් දෙකම නාස්ති විය හැකියි. බොහෝ උපකරණ විනාශ වන්නේ ඒවා වැරදි ලෙස භාවිතාවේ යොදන නිසාය.

 

14.   මිටියක් (hammer)
විවිධ මිටි වර්ග ඇත. ඒ සෑම මිටියකම එක පැත්තක් අනිවාරයෙන්ම “තැලීමට” භාවිතා වෙන “ගුලිය” වැනි කොටස ඇත. (ඇත්තටම මිටිය යන නම ලැබී ඇත්තේද එම කොටස නිසාය.) එහෙත් මිටියේ අනෙක් පස කොටස වෙනස් විය හැකිය. සමහරක් මිටිවල එම කොටසේ ඇත්තේ ඇන ගලවන උපක්‍රමයකි. එවැනි මිටි 
claw hammer ලෙස හැඳින්වේ. තවත් සමහරක එම කොටසේද ඇත්තේ තවත් ආකාර‍යක තලන ගුලියකි. එවැනි මිටි ball-peen hammer යනුවෙන්ද හැඳින්වේ. කළුගල් හෝ එවැනි තද දෙයකට තැලීමට භාවිතා කරන කුලුමිටි (sledge) ද තිබේ. ඔබට හැකි නම් මේ කිහිපාකාරයේම මිටි මිලදී ගන්න. විවිධ වැඩ සඳහා තවත් විවිධාකාරයේ මිටි පවතිනවා. 


සාමාන්‍යයෙන් මිටය තනා ඇත්තේ තද ලෝහකින්ය. එහෙත් සමහර මිටිවල හිස කොටස ලී හෝ රබර්වලින්ද තනා ඇත. යමකට හානි නොකර යම් පීඩනයක් එල්ල කිරීමට මෙවැනි මිටි භාවිතා කෙරේ. ඒවැනි මිටි malletයන නමින් හැඳින් වේ. කුමන මිටියක් වුවත් කමක් නැහැ, එහි මිට ශක්තිමත් විය යුතු අතර, දහඩියට ලිස්සා නොයන රබර් එකකින් මිට ආවරණය කර තිබීම වැදගත්ය. තවද, විවිධ බරින් යුතුවද මිටි ඇත. ඔබට පහසු බරකින් යුතු ඒවා මිලදී ගන්න.
 
15.   හැක්සෝ (hacksaw)
    යකඩ කපන කියතක්. සර්කිට් බෝඩ් කැපීමට හා ලෝහ කැපීමට හා විවිධ වර්ගයේ ද්‍රව්‍ය කැපීමට මෙය අත්‍යවශ්‍ය වේ. විවිධ හැඩ හා ප්‍රමාණවලින් ඇත. දිග අවශ්‍ය ප්‍රමාණයට එහා මෙහා කරගත හැකි (adjustable) එකක් ගන්න.

කියත් පටි 
(hacksaw blades) සාමාන්‍යයෙන් එක අඟලකට තිබෙන දැති (teeth) ගණන (අඟලකට ඇති දැති ගණන tpi (teeth per inch) යනුවෙන් සඳහන් ‍වේ.) අනුව වර්ග කෙරේ. යමක් කැපීමට දැති වැඩි ගණනක් ඇති එකක් ගත් විට, එය කැපීමට වැඩි වේලාවක් ගත වේ. එහෙත් ඒ කපන ද්‍රව්‍යය සුමටව කැපිය හැකිය. අඩියට ඇති දැති ගණන අඩු විට, ඉක්මනින් කැපිය හැකි වුවත්, කැපු පසු එම දාර රළු ස්වභාවයක් (rugged) ගනී. 



16.   ඩිසෝල්ඩරින් පම්ප් (desoldering pump)
පාස්සා ඇති උපාංග ඉවත් කිරීමට නම්, ඒවා පාස්සා ඇති ඊයම් ඉවත් කළ යුතුය. මෙම සරල උපකරණයෙන් (රුපියල් දෙසියකට අඩුවෙන් මිල දී ගත හැකි) එය පහසුවෙන් කළ හැකිය. 



17.   පීර (files)
යම් යම් දාර සුමට කිරීමට මේවා භාවිතා වේ. රවුම් හැඩයට, ත්‍රිකෝණාකාර හැඩයට, හා වෙනත් හැඩ වලින් මේවා ඇත. හැඩ කිහිපයකින්ම මේවා දෙක තුනක් මිලදී ගන්න.
 


පීරෙන් කරන රාජකාරියම වැලිකඩදාසිවලින් (sand papers) කළ හැකිය. එම වැලිකඩදාසිවල ඇති සූරන වැලිකැටවල ස්වභාවය අනුව එම වැලිකඩදාසි වර්ග කරනවා. ගොරෝසුවට ඇති වැලිකඩදාසිවලින් අතුල්ලන විට, ඉතා ඉක්මනින් පිරිසිදු වුවත්, ඉන් ඇතිවන මතුපිට රළු ස්වභාවයක් ගන්නවා. ‍සමහරුන් පළමුව ගොරෝසු කඩදාසියකින් අතුල්ලා ඉන් පසු සිනිදු කඩදාසියකින් අතුල්ලනවා. එවිට ඉක්මනින් පිරිසිදු වීමත් මතුපිට සුමට කර ගැනීමත් දෙකම සිදු ‍කරගත හැකියි. පීරවල් ගැනීමට නොහැකි නම්, මෙවැනි වැලිකඩදාසි කිහිපයක්වත් ගන්න.

18.   පින්සල් කිහිපයක් (brush) හා පිරිසිදු කාරක කිහිපයක්
     පාසල්වල දියසායම් චිත්‍ර ඇඳීමට ගන්නා පින්සලක්, ලීබඩු පොල්ෂ් කරන්නට යොදාගන්නා පින්සලක් ලබා ගන්න. දත් බුරුසුවක්ද ගන්න. ඇඟ ඇතිල්ලීමට ඇති කොහුවලින් සාදා ඇති බ්‍රෂ් එකක්ද ගන්න. හැකි නම්, පහත රූපයේ පෙන්වන විශේෂ (anti-static හෝ ESD ලෙස හැඳින් වෙන) බ්‍රෂ් සෙට් එකක් ලබා ගන්න. 


ෆාමසි එකකින් iso-propyl acohol (සර්ජිකල් ස්ප්‍රිට්) කුඩා බෝතලයක් මිල දී ගන්න. භූමිතෙල්, සබන්, විම් හෝ එවැනි ඩිටර්ජන්ට් එකක්, සබන් වැනි දේද අවශ්‍ය වේ. යම් යම් දේවල් පිරිසිදු කර ගැනීමට මේවා ප්‍රයෝජනවත්ය.

අයිසොප්‍රොපිල් ඇලකොහොල් ශරීරයේ යම් කැපුමක් සිදු වූ විට පුළුං කැබැල්ලක් මින් පොඟවා කැපුම් ස්ථානය පිරිසිදු කිරීමටද යොදා ගන්නවා. තෙල්, තීන්ත (පර්මනන්ට් පෙන්වලින් ලියපුවා හා වෙනත් වර්ගයේ තීන්ත), යැවීමට අමාරු (සෙලෝටේප් ස්ටිකර් වැනි ඒවා ගැලවූ විට ඉතිරි වෙන) කුණු 
(dirt) ආදිය ඉවත් කිරීමට මීට පුලුවන්. ඔබේ ඇඟිලිවල ස්වාභාවිකවම යම් තෙල් ස්වභාවකයක් පවතිනවා. සමහර විට ඔබට එය පියව ඇසට පෙනෙන්නේ නැහැ. ඔබ යම් උපාංග ඇඟිලිවලින් අල්ලන විට, එම තෙල් එම උපාංග මත තැවරෙනවා. සමහරක් අවස්ථාවල මෙවැනි (ඇසට පෙනෙන හා නොපෙනෙන) තෙල් හා කුණු ඉවත් කළ යුතු වෙනවා. ඒ සඳහා සර්ජිලක් ස්ප්‍රිට් භාවිතා කළ හැකිය. තවද, වීදුරු (glass), කන්නාඩි/දර්පන (mirror) හා කාච (lens) ආදියද පිරිසිදු කිරීමට භාවිතා කෙරෙනවා. විෂබීජ නාෂක ගුණයක් මෙහි පවතින නිසා, ජලය සමග මිශ්‍රකර (ජලය කොටස් එකකට ස්ප්‍රිතු කොටස් එක යන 1:1 අනුපාතයට) මුදු, කරාබු, මාල වැනි පලඳනා හෝ දොරවල්වල අතින් අල්ලන නොබ්, නිතර නිතර අල්ලන ටීවී ‍රිමෝට්, කොම්පියුටර් මවුස් ආදියද මෙමගින් පිරිසිදු කළ හැකිය. ethanol (ethyl alcohol) යන ස්ප්‍රිතු වර්ගයද මේ සඳහා භාවිතා කළ හැකිය. මත්වතුරවල ඇත්තේ මෙම මත් ගතිය ඇති කරන ස්ප්‍රිතු වේ. මෙම සියලු ස්ප්‍රිතු ඉක්මනින් වාෂ්ප වන අතර, වහම ගිනි ගන්නා සුළු වේ. එමනිසා, අධික තාපයකට හෝ ගින්දරක් අසල භාවිතා කරන විට ප්‍රවේසම් වන්න. rubbing alcohol යන නමින් හැඳින්වෙන ස්ප්‍රිතුද එක්කෝ සර්ජිකල් ස්ප්‍රිතුය; නැතහොත් එතනෝල්ය. කාබන් ටෙට්‍රා‍ක්ලෝරයිඩ් නමින් තවත් සප්‍රිතු වර්ගයක් ඇති අතර, එයින්ද ඉහත කාර්යන් කළ හැකිය. එහෙත් ඒවා ශරීරයට (අක්මාවට ආදිය) ඉතාම අහිතකර බැවින් කිසිවිටෙක එය භාවිතා කරන්න එපා.

ඉහත ස්ප්‍රිතුවක් භාවිතා කර අඩුම වශයෙන් මසකට දෙවරක් හෝ ඔබේ නිවසේ විෂබීජ ගැවසිය හැකි (දොරගුලු, රිමෝට් ආදිය) ස්ථාන පිස දමන්න. ඔබ භාවිතා කරන ඉස්කුරුප්පු නියන්, බවුතය ආදී ටූල්ස්ද පිස දමන්න.

WD40 යන සුප්‍රසිද්ධ වෙළඳ නමින් හැඳින්වෙන ස්ප්‍රේ එකක් ‍වෙළඳපොලේ තිබෙනවා. එමගින් තද වුණු මලකාපු නට් ආදිය බුරුල් කරගැනීමට පුලුවන්. එහෙත් සමහර ප්ලාස්ටික් වර්ග මෙම ස්ප්‍රේ එකෙන් උණු විය(blister) හැකි බවද මතක තබා ගන්න.මෙය ශරීරයටද අහිතකර නොවේ. (ඇත්තටම ඕනෑම ද්‍රව්‍යයක් ශරීරයට අහිතකර විදියට බලපෑ හැකිය. ජලය වුවද ඉතා වැඩිපුර ශරීරයට ඇතුලු වුවොත් ශරීරයට අහිතකරය. එමනිසා, සෑම ද්‍රව්‍යයක්ම පරිස්සමින් භාවිතා කරන්න. එනම් ඒවා කටින් නාසයෙන් ස්පර්ශයෙන් ආදී ක්‍රමවලින් ශරීරය තුළට ඇතුලුවීමට ඇති අවස්ථා හැකි පමණ අඩු කරගන්න.)
 

19.   නියෝන් ටෙස්ටර්
ටෙස්ටර් එක යනුවෙන් බොහෝ දෙනා හඳුන්‍වන්නේ මෙම Neon tester එකයි. විදුලිය ඇති නැති බව සෙවීමට මෙය භාවිතා කෙරේ. (ඇත්තටම මෙම උපකරණය එතරම් ආරක්ෂිත නොවේ. මෙය වෙනුවට පහත රූපයක පෙන්වා ඇති ආකාරයේ ඉතා ආරක්ෂිත උපකරණ නිපදවා තිබෙනවා. හැකි නම්, එවැනි උපකරණයක්ද මිල දී ගන්න. මා මෙම ටෙස්ටරයක් මිලදී ගැනීමට යෝජනා කරන්නේ, මෙයද නැති වුවහොත් අතින් අල්ලා විදුලිය ඇති නැති බව සෙවීමට කෙනෙකු පෙළඹිය හැකි නිසාය.)
 



20.   වර්ක් බෙන්ච් පවර් සප්ලයි
ඔබ පරිපථ සාදන විට, එම පරිපථවලට විදුලිය ලබා දීමට සිදු වෙනවා. හැමවිටම වාගේ පරිපථවලට ලබා ‍අවශ්‍ය කරන්නේ ඩීසී විදුලිය වේ. එයද, 
1.5V, 3V, 4.5V, 5V, 6V, 9V, 10V, 12V, 15V, 18V, 20V, 24V, 30V ආදී ලෙස විවිධ පරිපථ සඳහා විවිධ වෝල්ටියතාවන් අවශ්‍ය කෙරෙනවා. මෙම ලබා දෙන වෝල්ට් ප්‍රමාණයන් පල්සේටිං නොවන සුමට (පිරිසිදු) ආකාරයෙන් වීමද වැදගත්. ඒ විතරක් නොවේ, සමහර වෙලාවට ඉහත වෝල්ටියතාවන්ම ඍණ විදියටත් ලබා දීමට සිදු වෙනවා. (තමන්ටම මෙවැන්නක් සාදාගත හැකියි. අන්තර්ජාලයේ ඕනෑ තරම් උපදෙස් හා සර්කිට් සටහන් තිබෙනවා මේවා සාදාගන්නා අයුරු.) 

මෙම අවශ්‍යතාව සපුරාගැනීමට workbench power supply එකක් අවශ්‍ය කෙරෙනවා. විවිධ හැකියාවන් තිබෙන මිල අධික වර්ගයේ ඒවාද තිබෙනවා. අලුතින් එකක් මිල දී ගැනීමට හෝ අන්තර්ජාලයෙන් හෝ වෙනත් ක්‍රමයකින් ඔබේම (ලාබදායි) එකක් සාදා ගන්න. දැනට මෙවැනි එකක් නැති නම්, අඩුම ගානේ වෝල්ටියතාව වෙනස් කළ හැකි හොඳ පවර් පැක් (power pack) එකක්වත් තිබිය යුතුය.

21.   හොඳින් ආලෝකය ලැබෙන මේස ලාම්පුවක් (table lamp). පරිපථ සමග වැඩ කරන විට, ‍ඒ දෙසට හොඳ ආලෝකයක් අවශ්‍ය කෙරේ. සමහර විට, කාමරයේ ඇති සාමාන්‍ය බල්බය ඊට ප්‍රමාණවත් නැත. LED බල්බවලින් සෑදූ ටේබල් ලෑම්ප් එකක් භාවිතා කරන්න. (ඔබටම මෙය සාදා ගත හැකිය.) හැකි නම්, ලාම්පුවේ දණ්ඩ හෙවත් බෙල්ල අවශ්‍ය දිශාවට (රබර් එකක් සේ) නැමිය හැකි විදියේ (adjustable neck) එකක් ලබා (හෝ සාදා) ගන්න. එවිට, වැඩය කරන විට, ආලෝකය අවශ්‍ය දිශාවට පහසුවෙන් යොමු කළ හැකිය. 


හොඳ තියුණු ආලෝකයක් ලබාගත හැකි ටෝච් එකක්ද තිබීම පහසුය. (නැවත චාජ් කළ හැකි එකක් නම් වඩා හොඳයි.)

22.   සර්කිට් වයර්
පරිපථ පෑස්සීමේදී වයර් භාවිතා කිරීමට සිදුවන බව කවුරුත් දන්නවා. බොහෝ විට ඉලෙක්ට්‍රොනික් පරිපථවල ඇත්තේ අඩු ධාරාවන් නිසා එම වයර් ගෙවල්වල වයරින් කිරීමට ගත් වයර් මෙන් මහත නැති වයර්ය. විවිධ වර්ණවලින් මෙම 
circuit wire මිලදී ගත හැකිය. 


23.   ‍මල්ටිමීටරයක්
බවුතයට පසුව අත්‍යවශ්‍යම උපකරණය 
multimeter එකයි. මෙය ඉලෙක්ට්‍රොනික්ස්වල විවිධ දේවල් මැනීමට ගන්නා උපකරණයයි. (මල්ටි යන ඉංග්‍රිසි පදයේ තේරුම “විවිධ දේ” යන්නයි. මෙයට මල්ටිමීටරය යන නම ලැබී ඇත්තේද විවිධ දේවල් මැනීමට මෙය භාවිතා කරන නිසාය.) 


සාමාන්‍යයෙන් ඕනෑම මල්ටිමීටරයකින් ධාරාව, වෝල්ටියතාව, ප්‍රතිරෝධය යන තුන මැනිය හැකිය. (Ampere, Volt, Ohms යන අගයන් තුනම මැනිය හැකි නිසා මෙයට AVO meter කියාද පැවසිය හැකිය.) මල්ටිමීටරය හා ඉන් වැඩ ගන්නා විදිය ගැන පසුව විස්තර කෙරේ. රුපියල් දහසක පමණ සාමාන්‍ය ඩිජිටල් මල්ටිමීටරයක් මිලදී ගන්න. පසුවට හොඳ ඉලෙක්ට්‍රොනික්ස් දැනුමක් ලබාගත් පසු ඉතා හොඳ වර්ගයේ එකකුත් මිලදී ගන්න.

කොහොම නමුත් සාමාන්‍ය මල්ටිමීටර් දෙකක් තුනක් පමණ තිබෙන එක ප්‍රයෝජනවත්ය. ඔබ ඉලෙක්ට්‍රොනික්ස් කරනවා කියා දැනගත් විට අසල්වාසින් හා මිතුරන් ඔබෙන් මල්ටිමීටරයක් ටිකකට ඉල්ලීමට පුලුවන්. එවිට ඔබේ මිල අධික මල්ටිමීටරය් දීම කිසිසේත් සුදුසු නැත. එකක් නුදුන්නොත් අමනාප වනු ඇත. එවිට, ඔබට එක් මිල අඩු මල්ටිමීටරයක් දිය හැකියි. (එයින් ඔබේ අසල්වාසින්/මිතුරන් අමනාප නොකර තබා ගැනීමට හැකියි.) තවද, සමහර වැඩ සඳහා මල්ටිමීටර කිහිපයක් තිබීම පහසු වේ.


24.   මීට අමතරව, පරිපථ සෑදීමේදී රෙසිස්ටර්, කැපෑසිටර්, නිතර ප්‍රයෝජනයට ගැනෙන ඩයෝඩ, ට්‍රාන්සිස්ටර්, අයිසී වර්ග, බැටරි, ඇණ, නට්, වොෂර්, ස්විච, බල්බ ආදී නොයෙකුත් ලොකු කුඩා (වටිනා නොවටිනා) බොහෝ දෙවල් කාලයත් සමග ඔබ සතුව ගොඩ ගැහෙනු ඇත. සමහරවිට, තඹ දොයිතුවක්වත් නොවටිනා දෙයක් ඔබට අවශ්‍ය වනු ඇත; එහෙත් කඩ සිය ගණනකට ගියත් එම නොවටිනා දේ ඔබට ලබාගත නොහැකි අවස්ථා ඇත.

එමනිසා, බොහෝ දේවල් විසි නොකර කොහේ හෝ මුල්ලක ගබඩා කර තබා ගන්න. මා නම්, ටෙලිෆෝන් බිල ගෙවූ විට ලැබෙන රිසිට් එක පවා නිකරුනේ විසි කරන්නේ නැත. එහිද යම් කෙටි කාලීන නෝට් එකක් දමා ප්‍රයෝජනයට ගැනීමට උනන්දු වේ. යම් යම් නිර්මාණ කිරීමට විවිධ අමුද්‍රව්‍ය ළඟ තිබීම සම්පතකි. නැතිනම් සුලු දෙයක් නොමැති වීමෙන් ඔබව අධෛර්යමත් විය හැකිය. එමනිසා, අවට ඇති දේවල් ගැන මීට වඩා සැලකිලිමත් වන්න. මිතුරෙකු හෝ අසල්වාසියෙකු සමහරවිට ඉවත් කිරීමට යන දෙයක් ‍ඔබට වැදගත් විය හැකියි. එවැනි දේද ඉල්ලාගත්තාට වරදක් නැත. එය ඇත්තටම පරිසර දූෂනයද අවම කිරීමට හේතුවක් වනු ඇත. පරණ උපකරණවලින් අවශ්‍ය උපාංග ගලවා ගැනීම (ඉංග්‍රිසියෙන් එය 
salvage ලෙස පැවසේ.) මගින් සමහරවිට කඩෙන් මිල දී ගැනීමට අපහසු උපාංගද සපයා ගත හැකියි.
ඉහත ඉස්කුරුප්පු නියන් ගැන තව දෙයක් කීමට ඇත. එනම්, සමහර විට නියනකින් ‍ඇන ආදිය ඇලවී පැවතීමට තරමක් කාන්දම් ගතිය තිබීම වැදගත්ය. සමහර වෙලාවට මෙම කාන්දම් ගුණය ප්‍රශ්නයකි. මෙනිසා අවශ්‍ය වෙලාවට කාන්දම් කිරීමටත් අවශ්‍ය වෙලාවට කාන්දම් ගතිය නැති කිරීමටත් හැකි කුඩා උපාංගයක් ඇත. එම උපාංගයේ ලොකු සිදුරු දෙකක් ඇති අතර, එක සිදුරකට නියන දමා ටික වෙලාවකින් ගත් විට එය කාන්දම් වන අතර, අනෙක් සිදුරට (දැනටමත් කාන්දම් ගුණ ඇති) නියනක් ඇතුලු කළ විට එම කාන්දම් ගුණය මැකී යයි.
  

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,